නීතියට පිටින් දඩ බාල කළ ගාල්ලේ හිටපු මහේස්ත්‍රාත්වරියට සිරදඬුවම් | දිනමිණ

නීතියට පිටින් දඩ බාල කළ ගාල්ලේ හිටපු මහේස්ත්‍රාත්වරියට සිරදඬුවම්

7,500ක දඩය රු.1500 කරලා

විදෙස්ගත විත්තිකාරිය අල්ලන්න වරෙන්තු

පොදු දේපළ පනතේ අධිචෝදනාවන් හතරකට වරදකාරිව වසර පහ බැගින් සිරදඬුවම් නියම වූ ගාල්ල හිටපු මහේස්ත්‍රාත්වරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව විත්තිකාරිය නොමැතිව මෙම නඩුව විභාග කළ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා අනුව විත්තිකාරිය විදේශගතව ඇති බවට රජයේ අධිනීතීඥවරයා කළ දැනුම් දීම අනුව මෙම වරෙන්තුව නිකුත් කළේය.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ 2000 වසරේ විභාග වූ නඩු දෙකක විත්තිකරුවන්ට නියම කළ රුපියල් 7,500ක දඩය රු.1500 ලෙස හා රුපියල් 5000ක දඩය රු.2500 ලෙස වෙනස් කර සටහන් කිරීමෙන් පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් 2009 වසරේදී මෙම නඩු දෙක පවරා ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වන වගන්තිය ප්‍රකාරව විත්තිකාරිය නොමැතිව මෙම නඩු දෙක විභාග කළ මහාධිකරණය අධිචෝදනා හතරට වසර පහ බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 22500 දඩ නියම කර ඇත. අදාළ දඩ නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත සිරදඬුවම් ද නියම කර ඇත.

මෙලෙස දඬුවම් නියම වූයේ ගාල්ල හිටපු මහේස්ත්‍රාත් ඩී. එස්. මෙරෙන්චිආරච්චි නමැති තැනැත්තියටය.

නව අදහස දක්වන්න