මාලා ගමටම සිටි ඇහැට කනට පේන සුරූපීම තරුණියයි. ඇය රෝස පැළ කිහිපයකට වතුර දමමින් සිටින බව දකින සරත් මාලාට පොරොන්දු වන්නේ සුදු රෝස පැළයක් ගෙනැවිත් දෙන බවයි. සරත් එතනින් මාලා සමඟ හිතවත්කමක් ආරම්භ කිරීමේ සලකුණක් සනිටුහන් කර ගනී. සුදු රෝස පැළයේ කතාවෙන් පසු සරත් දැන් අර අදින්නේ මාලාගේ සිත තුළ තවත් පැළයක් රෝපණය කරන්නටය. එය සරත් සිතනා තරම් ලෙහෙසි වන්නේ නැත. එහෙත් යම් යම් තැන්වලදී මාලාද ඔහුගේ බහට නොනැමෙන්නේ ද නොවේ.
වරක් ඔහු මඟ රැක සිට මාලාට පේර ගෙඩියක් ගෙනත් දෙන්නේ හිතවත්කම තවත් වර්ධනය කර ගැනීමටයි. අවාර කාලයේ පීදුණු පේර ගෙඩිය සම්බන්ධයෙන් මාලාගේ සිතේ ඇති වූයේ විහිළුවක් මිසක් අනිකක් නොවේ. ඒ අතරවාරයේ ද සරත් අසන්නේ සුදු රෝස පැළය සම්බන්ධයෙනි. කෙසේ හෝ සරත් ඇයට සුදු රෝස පැළයක් ගෙනත් දෙයි. ඒ අතරවාරයේ සරත්ගේ කතාව ද අමුතු වෙයි. මේ අතරවාරයේදී සරත් ලොකු කතාබහකට වැටී සිටින්නේ ගමේ සිටින ඔහුට හිතවතෙකු වූ උපාලි සමඟය. ඒ අතර ද ඔහු බත් අම්මා සහ මාලා ගැන කතා කරන අතරතුර ඔහුට රෝස පැළේ කතාව ද කියයි. ඔවුන් දෙදෙනාගේ කතා බහ යන අතරතුර එතැනට පැමිණෙන්නේ කෙටි ගවුමකින් සැරසුණු මාලා ය. ඇය සරත් පිළිබඳව කිසිදු තැකීමක් නොකර උපාලි සමඟ කතාබහට වැටේ. එතැනදී මාලා සමඟ සරත් කතාවට වැටෙන්නේ වෙනම ආකාරයකටය.
“මොකද මාලා ඔයා කොට ගවුම් අඳින්නෙ. මට පෙන්නන්න බැරි එකක් තමයි ඔය සංකර ගවුම්කොට. බලන්නකො රෙද්දයි හැට්ටෙයි ඇන්දම කොච්චර ලස්සනද කියලා. ගවුම් පඩංගු වලට වැඩිය කොච්චර විනීත ද”
දිනක් සරත් මාලාගෙන් ප්‍රශ්න කරන්නේ බත් අම්මාගේ වෙළෙඳ සැලට ආහාර ගැනීමට ආ අතරතුරය. ඒ මොහොතේ දී ඔහුගේ එක් ජයග්‍රහණයක් ලබන්නට සූදානම් විය. එනම් මාලාගේ කටින් පිට වූ සරත් මහත්තයා යන්න ළඟ සමීපකමක් දැනෙන ආකාරයට සරත් ලෙසින් කෙටි කරවා ගැනීමට සමත්වීමත් සමඟිනි. මාලාට ද දැන් ඇය සරත් මහත්තයා නොවේ සරත් ය. ඒ අතරවාරයේ යළිත් කතාව ඇති වන්නේ මේ අයුරිනි.
“ඔයා කතා කරනකොට ඔයාගේ මූණෙන් පේන්නේ හරිම අහිංසකකමක්. ඉතින් කෙල්ලෝ ඔයාගේ පස්සේ එනවා ඇති.. කෙල්ලො ඔයාට විහිළුවක් වගේ. මම ඔයාගේ චරිතය හොඳට අඳුනනවා. ඒකයි මට ඔයා ගැන කෙළින් හිතන්න බැරි. ඒ මම ඔයා ගැන හොඳටම දන්න හින්දා.”
සරත්ගේ හිත රිදෙන කතා මාලාගේ මුවින් පිටවන විට ලොරි භාගයෙන් පැමිණෙන්නේ විල්සන්ය. ඇය මහත් සන්තෝෂයෙන් විල්සන්ව පිළිගත්තාය. ඔහු පැමිණියේ හිස් අතින් නොවේ,ඔහු පැමිණියේ මාලාට රෝස පැළයක් ද රැගෙනය.
“ආ... විල්සන් අයියේ.. එන්ජිම නතර කරන්නෙ නැද්ද...? එන්ජිම නතර කරලා බහින්න.
“බහින්න බෑ කෙල්ලෙ.. මම මේ රෝස පැළේ දෙන්නයි නැවැත්තුවේ”
චිත්‍රපටයේ කතාව ගොඩනැඟෙන්නේ වෙනත් තැනකිනි. සරත් මාලාගේ පසුපස ප්‍රේමය අයදිමින් පැමිණෙන කළ විල්සන් තමා එකතු කළ මුදල්වලින් අලුතින්ම ලොරියක් ගෙන පැමිණෙන්නේ බත් අම්මාගේ කඩයටයි. ඔහු දැන් නිකංම විල්සන් නොවේ, ජේ.වී. විල්සන් ප්‍රවාහන සේවයේ අයිතිකරුය. ඔහුගේ අදහස වන්නේ එදින රාත්‍රියේ මෙහි නවාතැන් ගෙන පසුවදාම බත් අම්මා, මාලා සහ තම ගෝලයා වූ මිල්ටන් සමඟින් කතරගම කිරිවෙහෙරට යාමටයි. මෙතෙක් ගලාගෙන ආ චිත්‍රපටයේ හැරවුම් ලක්ෂ්‍යය සිදු වන්නේ විල්සන් සහ මාලා කතරගම කිරිවෙහෙර වටා ඇවිද යන විටයි. කතාවට ඉස්සර වන්නේ විල්සන්ය.
“මාලා කෙල්ලේ.. මට උඹ ගැන යමක් හිතුණා.. මමත් වයසට යනවා මිසක්කා ආයෙ ඉලන්දාරියෙක් වෙන්නේ නෑ නොවැ. මටත් හිතුණා පෙළවහක් ගන්න කියලා. මගේ හිතේ උඹ ගැන ලොකු පැහැදීමක් ඇති වෙලා තියෙනවා. මාත් එක්ක දීග යන්න උඹේ අකමැත්තක් නැත්නම් අම්මගෙන් අහලා මට අදම උත්තරයක් දීපන්.. මේ ගැන උඹේ හිතේ මනාපයක් නැත්නං මම අහපු ප්‍රශ්නෙ එතනින්ම අමතක කරලා දාපන්.. ඒ ගැන හිතන්න ඕන නෑ. අපි වෙනදා වගේ ඉමුකෝ”
විල්සන්ගේ කෙළින් කතාවට මාලා සිටියේ නිහඬවය. නිහඬතාවයෙන් ඉඩහසර සැලසුණේ විල්සන්ගේ කතාවට මාලාගේ මනාපය ලැබෙන පරිදිය. දැන් මාලා විල්සන්ගේ පෙම්වතිය නොවේ බිරියයි. එහෙත් මේ වන විට සරත් සිටින්නේ උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිවය. ඔහුට ඔහුගේ දුක පවසන්නට සිටියේ උපාලි පමණි. ඔහු තම දුක උපාලිට පවසයි..සවන් දෙයි..නොයෙකුත් කතන්දර කියයි.
“ගෑනියි කියන සතා මේ පිරිමි අපිව තේරුම් ගන්නෙත් නෑ තේරුම් ගන්න පුළුවන් ජගතෙක් මතුවට පහළ වෙන්නෙත් නෑ” යනුවෙනි
කෙසේ වෙතත් මාලාගේ ගමේ මිතුරිය වූ කමලා මාලාව බැහැ දකින්නට ඔවුන්ගේ නිවෙසට යන්නේ තවත් අලුත් ආරංචි ද සමඟිනි. මාලාට අවැසි වන්නේ ද ඒවා දැන ගැනීමට ය. එහෙත් ඇය එක එල්ලේ සරත් ගැන නොවිමසා වටින් ගොඩින් වෙනත් වෙනත් දේ විමසන්නේ එතනට පැමිණීමටය. කමලාද එය නොදන්නවා නොවේ. අවසානයේ කමලා පවසන්නේ සරත් ආගිය අතක් නොමැති බවත් ඔහුගේ ඇඳුම් ගැනීමට වත් ඔහු තම කූඩාරමට නොපැමිණි බවත්ය. එතැන් සිට මාලාගේ ජීවිතයේ සියලු වෙනස්වීම් සිදු වීමට පටන් ගනී. විල්සන් කිහිප වරක්ම මේ සම්බන්ධයෙන් ඇයගෙන් විමසුවද ඇය පවසා සිටියේ කිසිත් නොමැති බවය
“මං හිතන්නේ ඔයාට කම්මැළි ඇති නේද මේක අස්සෙ රිංගගෙන ඉන්න එක.. ඇයි ළමයො එදා මුල්ගල් තියෙන එකට යන්න මම කතා කරා , මාකට් එක විවෘත කරන එකට යන්න මම කතා කරා.... ඉතින් කොහෙවත් යන්න ඔයා එනවයැ ඉතින් අහන්න දෙයක්යැ මනුස්සයෙක්ට මේක අස්සෙ රිංගගෙන ඉන්නකොට මහන්සි වෙනවා”
මේ කයි කතන්දරවලින් පසුව විල්සන් පාසිකුඩා ගමනක් යොදා ගන්නේ මාලාගේ හුදකලා බව ඒ සියලු කතා කතන්දර සමාධි කෙසේ වෙතත් මාලාට දැන් නිතර නිතර සිහි වන්නේ සරත්වය. ඔහු කොහේ ඇති දැයි ඇය නිතර නිතර සිහි කරන්නට පටන් ගනියි. තවත් දින ගණනාවක් යන විට විල්සන් සිතන්නේ මාලා එවන් දුකකින් සිටින්නේ හෙට දරුවකු පිළිසිඳගෙන නොමැති නිසා බව ය. එම නිසා ඔවුන් දෙදෙනා වෛද්‍යවරයකු හමුවීමටද කාල වේලාවක් යොදා ගත්තේය. කෙසේ වෙතත් ගෙදර ආරවුල් ඇති වෙන්නේ මෙවන් පසුබිමකය. මාලා මනසින් දුබල වීම සම්බන්ධයෙන් කරුණු කාරණා දැන ගන්නා විල්සන් එක්තරා රාත්‍රියක ඇයව නිවෙසින් පිටමං කිරීමට කටයුතු කරන්නේ ඔහු තවමත් නිකම්ම නිකන් ලොරි කාරයෙක් නොව සමාජයේ ඉහළ මිනිසුන් ආශ්‍රය කරන ව්‍යාපාරිකයකුගේ මට්ටමේ සිට ය. විල්සන්ගෙ නිවෙසින් පිටව ආ මාලා දැන් කැදැල්ලෙන් පිටමං වූ කිරිල්ලියකි. එහෙත් ඇය සන්තෝසෙන් එහා මෙයා සැරිසරන්නියක් නොවේ. ඇයගේ දැන් එකම බලාපොරොත්තුව වී තිබෙන්නේ සරත්ව සොයාගැනීමයි. ඒ ඇයගෙන් සිදුවූ අතපසුවීමට ප්‍රතිඋපකාරයක් කරන්නට මෙනි. සයුරේ ධීවරයන්ට මග පෙන්වමින් ආලෝකය සපයන ප්‍රදීපාගාරය ගොඩබිම වෙසෙන්නන්ට පොල් රුප්පා ඉහළින් ඇදීයන ආලෝකයක් සැපයූවා මිස මං මාවත් එළිය කළේ නැත. එහෙත් මාලා හුදකලාව සයුර ආසන්නයේ තිබූ ප්‍රදීපාගාරයෙන් දුටුවේ තම සිතට සහනය සලසන ආලෝක කදම්බයකි. ඇය වෙනුවෙන් මහත් බලාපොරොත්තු තබා ගෙන හුන් සරත්, කිසිවකුටත් සොයා ගැනීමටවත් බැරිව සිටි සරත්, තම රැකියාව පවා අතැර දමා වසන් වෙමින් සිටි සරත් සොයා ගැනීමට හැකි වූයේ ද මාලාටය. එහෙත් මාලා ප්‍රදීපාගාරයේ මුරකරුවකුව සිටි සරත්ව දුටුවේ එදා ජැන්ඩියකු මෙන් සිටිය ආකාරයට නොවේ. එදා ප්‍රේම කතා කතාබහ කළ සරත් නොවේ. ඔහු සිටියේ ඔහුට වූ ප්‍රේමයේ අලාභය සුරාව සමඟ බෙදා හදා ගනිමිනි.
මාලාව දුටු පමණින් සරත් වික්ෂිප්තව පැමිණ ඇයව බදා වැලඳ ගත්තේ නැත. ඔහු මාලාව තුට්ටුවකටවත් මායිම් නොකර තමා වාසය කරන කුටියට වැදුණේය. අපිළිවෙළ වූ කාමරය සරත්ගේ ජීවිතය ද කවරාකාරයෙන් අපිළිවෙළ කිරීමට සමත්ව තිබුණේදැයි මාලාට හැඟිණි.
“සරත් මාව අඳුරන්න පුළුවන්ද?”
සරත්ට ඇයව හඳුනාගැනීමට හැකියාව තිබූ නිසාම ඔහු ඉවත බලා ගත්තේය. මාලා නැවත නැවත කීප වරක්ම සරත්ව බැලීමට ප්‍රදීපාගාරයට පැමිණියද ආදරයේ සුබ ආරාධනාව නැවතත් චිත්‍රපටය පුරා ගලාගෙන ගියේ නැත. මාලා පුෂ්පලතා, විල්සන් සහ සරත් හුදකලා චරිත වන විට චිත්‍රපටයේ සියලු තැන් අවසන එක්තැන්වූයේ ගුණදාස කපුගේ ගයන ගීතයත් සමඟිනි. සියලු දෙනාට එය ප්‍රේමයේ විරහව ම විය. හිමි නොවූ ප්‍රේමය අවසන නතර වූයේ බිඳී විසිරෙන සයුරු රළ මානයේ ඇති එක්ටැම් ගෙයක් තුළයි.
දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ...
රජිත බස්නායක
නව අදහස දක්වන්න