ලක් ඉතිහාසයේ සුවිශේෂ පරිච්ඡේදයක් සනිටුහන් කළ ශ්‍රේෂ්ඨ නරපතියෙක් ලෙස දුටුගැමුණු රජතුමා සඳහන් කළ හැකිය. ක්‍රි.පූ. 161 - 137 අතර කාලයේ අනුරාධපුරය රාජධානිය කරගෙන ලක්දිව පාලනය කළ එතුමා සම්බන්ධ සබැඳි ග්‍රාම නාමකරණ ජන කතා කිහිපයක්ම වෙයි. මේ ඒ අතුරින් කිහිපයක් පිළිබඳ ලියැවෙන සටහනකි.
ඇතිමලේ
දුටුගැමුණු රජතුමා ලක්දිව බලයට පත් වුණේ අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කර, එහි සිට ලක්දිව පාලනය කරමින් සිටි එළාර නම් චෝල රජතුමාට එරෙහිව සටන් කර, ජයග්‍රහණය කිරීමෙන් පසුවය. එම නිසා රාජ්‍යත්වය ලබා ගැනීම සඳහා වසර ගණනාවක් එතුමාට සේනා සංවිධානය කරමින් විශාල කර්තව්‍යයක් කිරීමට සිදු විය. සේනා සංවිධානය කර අතරතුර රටේ විවිධ ප්‍රදේශවල වගා කටයුතු කරවීමටත් එතුමා කටයුතු කළේය. ඒ අනුව ඌව - වෙල්ලස්ස රාජ්‍යයේත් ස්ථාන කිහිපයකම වගා කටයුතු සිදු වුණි. දිනක් මේ වගා කටයුතු අධීක්ෂණය කිරීම සඳහා දුටුගැමුණු රජුගේ බාල සොහොයුරා වන තිස්ස කුමාරයා ඒ ප්‍රදේශයට සැපත් විය. තිස්ස කුමාරයාත් වගාකරුවන් සමඟ ගොවිතැන් කටයුතු කාර්යක්ෂමව සිදු කිරීමට උනන්දුවෙන් කටයුතු කරන අතරතුර, ඒ ප්‍රදේශයට දුටුගැමුණු කුමාරයා ද පැමිණියේය. එහිදී එම ප්‍රදේශයේ අස්වැන්නෙන් සශ්‍රීකව පැවති ආකාරය ගැමුණු කුමාරයාට දැක ගත හැකි විය. එහිදී ගැමුණු කුමාරයා සිය සහෝදරයා අමතා ‘‘දැන් නම් ඇති මලේ ඔය වගා කළා. ඕනෑවටත් වැඩිය තියෙන්නේ ඔය’’ යැයි ප්‍රකාශ කළේය. ඒ අන්දමින් ගැමුණු කුමාරයා කළ ප්‍රකාශය නිසා මේ ප්‍රදේශය ඇතිමලේ නමින් නම් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.
සෙල්ල කතරගම
එළාර රජුට එරෙහිව සේනා සංවිධානය කරන කාලයේ දුටුගැමුණු රජතුමා රුහුණු රාජධානියේ එක්තරා කැලෑබද ප්‍රදේශයකින් ගමන් කළේය. එහිදී ඔහුට එක්තරා පුද්ගලයෙක් මුණගැසුණි. ඔහුගේ සිරුරේ කිසියම් ආලෝක ධාරාවක් විහිදෙමින් පැවතුණි. දුටුගැමුණු රජතුමා ඔහු සමඟ කතාබහ කළේය. එහිදී එම පුද්ගලයා මෙසේ කියා සිටියේය. “මම නුඹට ඔය සටන්වලින් දිනන්න උදවු කරනවා. හැබැයි නුඹ මට උපකාරයක් කරන්න වුවමනායි. මම මගේ අතේ තියෙන මේ හෙල්ල ඈතට විසි කරනවා. මේ හෙල්ල වැටෙන තැන මට දේවාලයක් තනවා දෙන්න ඕනෑ.’’ යැයි ඔහු අත වූ හෙල්ල විසි කරමින්, එම පුද්ගලයා අතුරුදන් විය. එම පුද්ගලයා කතරගම දෙවියන් බවද ඔහුට අවබෝධ විය. දෙවියන්ගේ කීම අනුව හෙල්ල වැටුණු තැන දේවාලයක් ඉදි කරන්න දුටුගැමුණු රජතුමා කටයුතු කළේය. ඒ අනුව හෙල්ල වැටුණු තැන ඉදි කළ කතරගම දේවාලය පිහිටි මේ ප්‍රදේශය සෙල්ල කතරගම ලෙස ව්‍යවහාර විය.
වාඩිගල
ගැමුණු කුමාරයා යුද්ධ කිරීම සඳහා සටන් පුහුණු වීමට ලක්දිව විවිධ ස්ථානයන් කරා ගමන් කළේය. එහිදී එක්තරා ගල් තලාවක් සහිත ස්ථානයක සටන් පුහුණුව සිදු කළ ගැමුණු කුමාරයා, විඩාව නිවා ගැනීම සඳහා එම ගල්තලාව මත නිතරම වාඩි ගන්නට පුරුදු විය. ගැමුණු කුමාරයා විවේක ගැනීම සඳහා වාඩි වුණ මේ ගල් තලාව මත අන් කිසිම පුද්ගලයෙක් වාඩි නොවීමට වග බලා ගත් අතර, කාලයත් සමඟ එම ගල් තලාව, වාඩිගල නමින් නම් විය. එම ගල් තලාව පිහිටි ප්‍රදේශයම පසුකාලීනව වාඩිගල ලෙස ව්‍යවහාර විණි.
හාල්මැහිකඳුර
දුටුගැමුණු රජතුමා, එළාර රජු හා යුද වැදීමට ලක්දිව පුරාම සේනා සංවිධානය කළේය. මහියංගණයේ ද සේනා පුහුණු කඳවුරු කිහිපයක් තිබුණි. දිනක් ගැමුණු කුමාරයා මහියංගණයේ සේනා සංවිධානය සඳහා ගමන් කළේ, සිය බත් මුලක් ද රැගෙනය. එම බත්මුල මහවැලි ඉවුරේ තබා ලෙහා බැලූ විට, එහි හාල්මැස්සන් වෑංජනයක්ද තිබෙන අයුරු ගැමුණු කුමාරයා දුටුවේය. ගැමුණු කුමාරයා එහිදී සුවිශේෂ ප්‍රාර්ථනාවක් සිතා ගත්තේය. ‘‘හාල්මැස්සන් ගඟට දැමූ විට මේවා ගෙඟේ ඉහළට ගමන් කළොත් තමන් නියත වශයෙන්ම යුද්ධයෙන් ජය ගන්නා බව’’ ඔහුගේ ප්‍රාර්ථනාව විය. කුමාරයා සිතා ගත් පරිදි ප්‍රාර්ථනාව ඉෂ්ට වූයේය. එසේ හාල්මැස්සන් පාවී ගොස් නැවතුණු තොටුපොළ හාල්මැහිකඳුර ලෙස නම් විණි.
රඹෑව
රුවන්වැලිසෑය, දුටුගැමුණු රජතුමා විසින් සාදවන ලද විශිෂ්ටතම විහාර කර්මාන්තයකි. රුවන්වැලිසෑය සෑදවීමට ලංකාවේ විවිධ පළාත්වලින් විවිධ අමුද්‍රව්‍ය රැගෙන ආවේය. ඒ අන්දමින් රුවන්වැලිසෑයේ කටයුතු සඳහා අවශ්‍ය රන් තොගයක් ගැල් මඟින් රැගෙන ආවේය. එසේ පැමිණෙන අතරතුර රාත්‍රී වූ නිසා, ගැල්වලින් රත්ත්‍රන් ඉවත් කර, ආරක්ෂිත ස්ථානවල තැන්පත් කරන්න කටයුතු යෙදිණි. ඒ අන්දමින් රන් බෑව ස්ථානය රඹෑව ලෙස ව්‍යවහාර වී තිබේ.
තඹවිට
දුටුගැමුණු රජතුමා ලක්දිව පාලනය කරන සමයේ එක්තරා ප්‍රදේශයක කූඹුරු යායක ඕවිටක් විය. එම ඕවිට පුරා විවිධ එළවළු, පලා වර්ග වැවී තිබුණි. දිනක් ගැමියෙක් එම ඕවිටට ගියේ පලා කොළයක් නෙළා ගැනීමටය. ගැමියා එහි යන විට මුළු ඕවිට පිහිටි බිමිකඩම දිලිසෙමින් පැවතිණි. හොඳින් පරීක්ෂා කළ විට එම බිම්කඩින් තඹ මතුවී ඇති බව දැක ගන්න හැකි විය. ගැමියා වහාම රජතුමාට ඒ බව සැළ කළේය. මේ සමයේ රුවන්වැලිසෑයේ වැඩ කටයුතු සිදු කෙරෙමින් තිබුණි. ඉන් පසුව රජු එම ඕවිටින් ලබා ගත් තඹ, රුවන්වැලිසෑයේ කටයුතු සඳහා භාවිත කරන්න නියෝග කළ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එසේ තඹ මතු වූ ඕවිට සහිත ප්‍රදේශය තඹවිට නමින් කල් යත්ම ව්‍යවහාර විය.
පසිඳු මිහිරාන් රැටියල
නව අදහස දක්වන්න