වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාව ඕෂන් ලංකා සමාගම දිනා ගනී | දිනමිණ

වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාව ඕෂන් ලංකා සමාගම දිනා ගනී

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා සමාගම 2022 වසරේ දී පැවැත්වුණු 9වන වෙළෙඳසේවා වොලිබෝල් ශූරතාව දිනාගනී. . මෙම තරගාවලියේ පිරිමි අවසන් මහා තරගයේ දී 3 – 2 ක් ලෙස මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් කණ්ඩායම පැරදවීමට ඕෂන් ලංකා කණ්ඩායම සමත් විය. මෙවර වෙළෙඳ සේවා ශූරතාවලිය මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

වඩාත් තරගකාරී වූ අවසන් මහා තරඟයේ දී පළමු වටය (25-22), තුන් වැනි වටය (25-20) සහ පස් වැනි වටය (15-11) ඕෂන් ලංකා කණ්ඩායම ජය ගත් අතර, මැලිබන් සමූහය දෙවැනි (25-23) සහ සිවුවැනි (25-22) වට ජයග්‍රහණය කිරීමට සමත් විය. ශූරතාවට අමතරව ඕෂන් ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙකු සිය පෞද්ගලික දක්ෂතා වෙනුවෙන් සම්මාන හිමි කර ගත්හ. එහි දී ඕෂන් ලංකා කණ්ඩායමේ අශේන් පීරිස් දක්‍ෂතම ග්‍රාහකයා ලෙස ද, සඳුන් ශ්‍රීමාල් හොඳ ම පන්දු යවන්නා ලෙස ද, ශ්‍රීපරත් අරුචුනෙන් හොඳ ම අවහිර කරන්නා ලෙස ද, මොහොමඩ් මීසාන් තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබූහ.

ඕෂන් ලංකා වොලිබෝල් කණ්ඩායම් කළමනාකරු රුවන්සිරි මල්ලිකාආරච්චි මහතා මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, "මෙම ශූරතාවලිය වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් අපගේ කැපවීම සහ අපගේ දක්ෂතා ඇගයෙන උච්චතම අවස්ථාව විදියට හඳුන්වා දීමට පුළුවන්. අපගේ පුහුණුකරුවන්, සහායක කාර්ය මණ්ඩලය වගේ ම ඕෂන් ලංකා කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අපට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඔවුන් සියලු ම දෙනාට ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා." යනුවෙන් පැවසුවේ ය.

 

නව අදහස දක්වන්න