සිස්ටම් චේන්ජ් එකකට ක්‍රීඩා සභාව සූදානම්: තොරතුරු නොදුන් සංගම් 40කට වැඩ වරදී | දිනමිණ

සිස්ටම් චේන්ජ් එකකට ක්‍රීඩා සභාව සූදානම්: තොරතුරු නොදුන් සංගම් 40කට වැඩ වරදී

ප්‍රින්ස් ගුණසේකර
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

ක්‍රීඩා පරිපාලනයේ මෙතෙක් පැවැති ක්‍රමවේදයේ අඩුපාඩු සොයා බලා යුගයට ගැළපෙන නව ක්‍රමවේද ක්‍රීඩා ඇමැතිතුමාට යෝජනා කිරීම ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රතිපත්තිය බවත් ඉදිරි කාලයේදී එය යථාර්ථයක් වනු ඇති බවත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි. ක්‍රීඩා කණ්ඩායම් දේශීය හා විදේශීය තරගාවලිවලට එක්වීමේදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්තීන් හඳුන්වාදීමට ජාතික ක්‍රීඩා සභාව දැනටමත් කටයුතු කර ඇති අතර, මුදල් ඉතිරි කර ගැනීම හා වැඩි ප්‍රතිඵලයක් ගැනීමේ ක්‍රමවේද පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම මෙහි ප්‍රතිපත්තිය බව ඒ මහතා පැවසීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියා ක්‍රීඩා උලෙළේදී හා දකුණු ආසියා ක්‍රීඩා උලෙළේදී පදක්කම් දිනාගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 178ක් කාණ්ඩ 4ක් යටතේ කාණ්ඩ ගත කොට ඇති අතර, ඔවුන්ට මාසිකව මූල්‍ය ප්‍රතිපාදන හා පෝෂණ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ද සඳහන් විය. ජාතික ක්‍රීඩා සභාව පත්වී මාස 3ක ප්‍රගතිය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවක් ඊයේ ජාතික ක්‍රිඩා සභා කවුන්සිල ශ්‍රවණාගාරයේදී පැවති අතර, එයට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ අමල් එදිරිසූරිය, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, එහි ලේකම් සුජානී බොගොල්ලාගම, මේජර් ජෙනරාල් රජිත අම්පේමොහොට්ටි හා නලින්ද ඉලංගකෝන් යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ.

ඉහළ දක්ෂතා පුහුණු සංචිතයක් පවත්වා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර, සෑම ක්‍රීඩාවකින්ම තෝරා ගත් මෙරට දක්ෂයන් තව තවත් ඉදිරියට ගැනීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් වර්ෂයකට රුපියල් බිලියන 4.2ක් වෙන්වී ඇතැයි ද පැවසීය.

එහෙත් මේ පුහුණු සංචිත සැකසීමේදී ක්‍රිඩා සංගම් 20කින් තොරතුරු දුන්න ද සංගම් 40ක් සිය වගකීම් පැහැර හැර ඇතැයි මේ මාධ්‍ය හමුමේදී සඳහන් විය. ඔවුන්ට එරෙහිව ගත යුතු කියා මාර්ත පිළිබඳ නිර්දේශ ක්‍රීඩා අමැතිතුමා වෙත ඉදිරිපත් කරන බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා පැවසීය. ඉහළ දක්ෂතා පුහුණු සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාසික මුදල් දීමනාවක් පිරිනැමෙන අතර, ආහාර හා විටමින් වර්ග ඇතුළු අවශ්‍යතා ද සම්පූර්ණ කෙරේ. ඉහළ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවක් ක්‍රීඩා සංගම්වලින්, ක්‍රීඩා අමාත්‍යාංශය ගෙන එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා විශ්ලේෂණයෙන් පසු ප්‍රධාන කාණ්ඩ 4කට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙන්කොට මේ ඉහළ දක්ෂතා පුහුණු සංචිතය පවත්වා ගනු ඇත.

පළමු කණ්ඩයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19ක් අයත්වන අතර, ඔවුන් වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂය බැගින්, දෙවැනි කණ්ඩයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු ඇතුළත් වන අතර, ඒ සඳහා මාසිකව රුපියල් ලක්ෂ 75,000 බැගින්, තෙවැනි කාණ්ඩයට ක්‍රීඩකයකු ඇතුළත් වන අතර, ඔහුට මාසිකව රුපියල් 50,000 බැගින් හා සිවුවැනි කාණ්ඩයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 49ක් ඇතුළත්වන අතර, ඔවුන්ට මාසිකව රුපියල් 25,000 බැගින් වැය කිරීමට ඇස්තමේන්තු සකසා ඇත. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳ වරින් වර සොයා බලන අතර, දක්ෂතා අඩු වුව හොත් එයට හේතු සොයා දක්ෂතා වැඩි කිරීමේ ක්‍රමවේද සකස් කිරීමට ද වැඩපිළිවෙළක් සකස් කොට ඇත.

 

නව අදහස දක්වන්න