වටිනාම යෝජනා රැසක් ඇති අය-වැයක් - මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ගණකාධිකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය | දිනමිණ

වටිනාම යෝජනා රැසක් ඇති අය-වැයක් - මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ගණකාධිකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

ඉදිරි වර්ෂය සඳහා ඉදිරිපත් වූ අය වැයේ සාධනීය යෝජනා අන්තර්ගතද? අය වැයෙන් ජනතාව බලාපොරොත්තු වූ යම් දෙයක් හෝ ඉටු වේ යැයි බලාපොරොත්තු තැබිය හැකි ද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අය වැය යෝජනා ක්‍රියාත්මක තත්ත්වයේදී ප්‍රායෝගික ඒවාද යන්න සම්බන්ධයෙන් මේ දිනවල සෑම තැනකම පාහේ ඇත්තේ කසුකුසුය. ඇතැම්මු ඒ සම්බන්ධයෙන් විවේචන හා විශ්ලේෂණ ඉදිරිපත් කරති. ඒ සියල්ල අතරේ මේ විෂය සම්බන්ධ උගතුන් අතරින් ද විවිධ මත ඉදිරිපත් වෙයි. මේ සාකච්ඡාව දිගහැරෙන්නේ ද මෙවර අය වැයේ තතු විත්ති සමාලෝචනයක් සිදු කරමිනි.

අප බලාපොරොත්තු වූ ආර්ථික පරිවර්තනයට යන්න පුළුවන්

අපේ සංචාරක කර්මාන්තය ගැන ලෝකයේ අවධානය යොමු වෙලා

 ඝෘජු හා වක්‍ර බදු, බඩු මිල, ණය සීමාව උපරිමයෙන් ඉහළ ගොස් ඇති වාතාවරණයක් යටතේ ඉදිරිපත් වූ මෙවර අය වැය විශ්ලේෂණයේදී ජනතාවාදී බවක් පෙනෙනවාද?

මේ අය වැයේ ව්‍යුහය ගත්තොත් රටේ මේ වන විට ක්‍රියාත්මක කළ යුතුම කරුණු යෝජනා වී තිබෙනවා. ලංකා‍ ඉතිහාස‍යේ ඉදිරිපත් වූ බරපතළම අය වැය තමයි මේ. මොකද ඉතිහාසයේ කවදාවත් අය වැයක් ඉදිරිපත් කරද්දි මේ වගේ ආර්ථික, සමාජ අර්බුදයක් තිබුණෙ නෑ. මෙවර අය වැය ඉදිරිපත් කරන්නෙ එක් පැත්තකින් රට බංකොලොත් වූ, ණය උපරිමයෙන් හිර වීම තුළ කොහෙන්වත් ණය ගැනීමට නොහැකි වූ, උද්ධමනය නිසා ජනතාව ඉතාම අසරණ තත්ත්වයකට පත් වූ, IMF එකෙන් දැඩි කොන්දේසි එළිපිටම දමා ඇති වාතාවරණයකයි. ඒ නිසා මේ අය වැය ඉතා සුවිශේෂියි. අය වැය සම්බන්ධයෙන් පොදු මතයක් ඉදිරිපත් කළොත් මෙහෙම දෙයක් කියන්න පුළුවන්. රටේ කිසිදා බලාපොරොත්තු නොවූ පරිදි සිදු කෙරුණු අරගලයෙන් ජනතාව දේශපාලන හා ආර්ථික යන දෙඅංශයේම පරිවර්තනයක් බලාපොරොත්තු වුණා. මේ ආර්ථික පරිවර්තනයට යන්න කාලයක් තිස්සේ සිටි නායකයො උත්සාහ කළත් බය වුණා. නමුත් ඒ ආර්ථික පරිවර්තනයට අප යා යුතුමයි. ආර්ථික විද්‍යාව සම්බන්ධ උගතුන් වුණු හර්ෂ ද සිල්වා වැනි අය පවා කිව්වෙ මේ යෝජනාවලියට කැමැතියි කියල. කිසිම කෙනෙක් කලින් මේ මේ දේවල් පෞද්ගලීකරණය කරනවා කියලා නම් වශයෙන් කිව්වෙ නෑ. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම වගේ ආයතනයක් පෞද්ගලීකරණය කරනවා කියන්න පාලකයො බය වුණා. ඒ අනුව මම දකින පළමු දේ තමයි අප ඒ ඉල්ලා සිටි ආර්ථික පරිවර්තනයක පදනම මේ අය වැය තුළ සකස් කර තිබෙනවා. එය මොන ආණ්ඩුව ආවත් කළ යුතුම දෙයක්.

මෙහි කියැවෙනවා පාඩු ලබන ආයතන හාරසිය ගණනක් ඇති බවත්, ඉන් ආයතන 52ක පාඩුව බිලියන 89ක් බවත්. එතකොට ඒ ආයතන නඩත්තු කරන්නේ බිලියන 89ක් වන ජනතා බදුවලින්. මේ කියන ආකාරයට ඒ ආයතන ප්‍රතිව්‍යුහගත කළොත් බිලියන 89ක පාඩුව බිංදුවට ගේන්න පුළුවන්. මිනිස්සු බය පෞද්ගලීකරණය කියන වචනයට. ඉතින් ජනතාව මෙවර අය වැයෙන් විශාල සහනයක් ලැබෙයි කියා බලාපොරොත්තු වුණත් අප දන්නවා ජනතාවට සහන දෙන්න රටේ ආර්ථිකය ශක්තිමත් නෑ කියලා. කොහොම වුණත් මෙහි සඳහන් වෙනවා 2023 අග වන විට රාජ්‍ය සේවක හා විශ්‍රාමිකයන්ට සහන දෙන බව. ඒ නිසා පුංචි බලාපොරොත්තුවක් තබා ගත හැකියි.

අය වැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියූ ඔබ දකින වැදගත්ම කරුණ මොකක්ද?

ජනාධිපතිවරයා මෙහිදී වැදගත් කරුණු කිහිපයක්ම ඉදිරිපත් කළා. එතුමා එහිදී කිව්වා මේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිසංවිධානගත කළ යුතු බවත්, නවීකරණය කළ යුතු බවත්. ඒ හරහා ඔහු යෝජනා කරනවා සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක්. එජාපයට තිබුණු ප්‍රබල චෝදනාවක් තමයි ලිබරල් ආර්ථිකයකට යන බව. 77 විවෘත ආර්ථිකය ගෙනාවට පස්සෙ හොඳ වගේම නරක දේත් සිදු වුණා. මෙහිදී ජනාධිපතිතුමා එතුමන්ගේ පක්ෂයෙන්ම ගෙනා දේ විවේචනයට ලක් කරමින් කියනවා 77 ගෙනා ආර්ථික ප්‍රතිපත්ති දැනට ගැළපෙන්නේ නැහැ, සමාජ වෙළෙඳපොළ ආ‍ර්ථිකයක් තුළින් අපනයනයට හිතකර ආර්ථිකයක් නිර්මාණය කරනවා කියා. කරුණු 4ක් යටතේ ඔහු එය පෙන්නුවා. එකක් මේ රටේ වර්ධනය සියයට 6ක් 7ක් වන තෙක් ඉහළ නැංවීම. අනෙක්වා තමයි, අපනයන ආර්ථිකය වැඩි කර ගැනීම, ඝෘජු විදේශීය ආයෝජන ඩොලර් බිලියන 3ක් තෙක් වැඩි කර ගැනීම සහ හොඳ ශ්‍රම බළකායක් නිර්මාණය කිරීම. මේ කරුණු ටික කර ගන්න පුළුවන් නම් අප බලාපොරොත්තු වූ ආර්ථික පරිවර්තනයට යන්න පුළුවන්. ඒකයි මම කලිනුත් කිව්වේ මෙවර අය වැයේ ප්‍රවේශය හොඳයි කියලා.

මේ ආකාරයට සංවෘත හා විවෘත ආර්ථික ප්‍රතිපත්තියෙන් පිට නව ආර්ථික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ හැකිද?

ක්‍රියාත්මක කළ හැකියි සහ ක්‍රියාත්මක කළ යුතුයි. සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් කියන්නේ විවෘත ආර්ථිකය ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. මේක අද ඊයේ වූවක් නෙවෙයි. චන්ද්‍රිකා මැතිනියගෙ කාලේ 1994දිත් යෝජනා කරනවා ‘විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක්’ කියලා යෝජනා කිහිපයක්. ඒකෙන් කළේ විවෘත ආර්ථිකය ප්‍රතික්ෂේප කිරීම වෙනුවට එහි ඇති වැරදි කරුණු කාරණා ඉවත් කිරීමයි. ඉන්දියාවත් විවෘත ආර්ථිකයට යද්දි එහි ඇති වැරදි ඉවත් කළා. මෙවර යෝජනා වෙන්නෙත් විවෘත ආර්ථිකය තිබියදී ඊට වඩා සුබවාදී ඉලක්ක අන්තර්ගත කර මුළුමනින්ම වෙළෙඳපොළ මත තීරණ නොගෙන, ජනතාවට සහන සලසමින්, රාජ්‍ය සුබසාධනය තහවුරු කරන අතරේ විවෘත ආර්ථිකයකට යන එකයි. මේ සමාජ වෙළෙඳපොළ කියන්නෙ ශ්‍රීලනිප, යූඑන්පී දෙපාර්ශ්වයටම එකඟ විය හැකි ආර්ථිකයක්.

නව ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා ඔබ සතු යෝජනා මොනවාද?

ශ්‍රී ලංකාවේ අප තේරුම් ගත යුතු ප්‍රධාන ගැටලු 2ක් තිබෙනවා. එකක් අය වැය හිඟය. මෙවරත් අය වැය හිඟය බිලියන 2,404ක්. ඒ කියන්නේ ආදායමට වඩා වියදම වැඩියි. අනෙක තමයි අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ඝෘණ 1.2ක හිඟයක් තිබෙනවා. අපට ඩොලර් එන ප්‍රමාණයේ හා රුපියල් හදන ප්‍රමාණයේත් හිඟයක් තිබෙනවා. රටේ ආර්ථිකයට විසඳුම් සොයන්න නම් මේ දෙකටත් විසඳුම් සෙවිය යුතුයි. ඒ විසඳුම් අතර පළමුවෙන්ම ආදායම් - වියදම් පරතරය අඩු කර ගත යුතුයි. ඊට ර‍ජයේ ආදායම වැඩි කර ගත යුතුයි. රජයකට සියයට අනූවකට වඩා ආදායම් ලැබෙන්නේ බදුවලින්. එනිසා බදු වැඩි කළ යුතුයි. නමුත් රජය බදු වැඩි කිරීමට තීරණය කර තිබුණත් එය ප්‍රායෝගික තලයට යන විට බදු වැඩි කිරීමේ වේගය වැඩියි සහ ජනතාව අසහනයට පත් වනවාය යන සාධකය මමත් පිළිගන්නවා. ආදායම සියයට 63කින් වැඩි කරන රජයේ බලාපොරොත්තුව ජනතාවට නරක විදියට බලපාන්නත් පුළුවන්. ඕනෑම දෙයක් පියවරෙන් පියවර කළ යුතුයි.

පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය හා ප්‍රතිව්‍යුහගතකරණය අතර වෙනස දකින්නේ කොහොමද?

ප්‍රතිව්‍යුහගතකරණයේදී සියයට සියයක් පෞද්ගලීකරණය විය යුතු නෑ. යම් ආයතනයක් අකාර්යක්ෂම නම් කාර්යක්ෂම කරන්න එහි කළමනාකාරීත්වය ප්‍රතිව්‍යුහගත කළ හැකියි. නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ විට සිදු වෙන්නේ ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවට පෞද්ගලීකරණයම තමයි. ඒ වගේම අය වැයේදී එයාර්ලයින් සමාගම, හිල්ටන් හෝටලය ආදිය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඩොලර් සංචිතය වැඩි කර ගත හැකි බව ජනාධිපතිවරයා කියනවා. ප්‍රතිව්‍යුහගතකරණයෙන් නම් ඩොලර් එන්නේ නැහැ. එසේ නම් විකිණිය යුතුයි. IMF අනිවාර්ය කොන්දේසි අනුව එයාර්ලයින්, හිල්ටන්, වෝටර්ස්එජ්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වගේ ඒවා මේ රජය විකුණයි. එයින් ඩොලර් ලබා ගත හැකියි. ඒක මෙවර වන බව පැහැදිලියි.

එහිදී එයාර්ලයින් විකිණීම ගැන මම ඉන්නේ ධනාත්මක ආකල්පයක. හේතුව එමිරේට්ස් ආයතනයට එයාර්ලයින් එක දුන් අවස්ථාවේ ඒ ආයතනයත් ලාභ ලබමින් ඒ ලාභාංශ රජයට ගෙව්වා. නමුත් එය යළි පවරා ගත් වසරේ සිට බිලියන ගණනක් පාඩුයි. එවැනි ආයතනයත් අපේ බදුවලින් දුවනවාට වඩා හොඳයි කළ හැකි‍ පෞද්ගලික අංශයකට දෙන එක. නමුත් රක්ෂණ සංස්ථාව වගේ ලාභ ලබන ආයතනයක් පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් නැවත වරක් සිතිය යුතුයි. ‍

අය වැයෙන් විදේශ ආයෝජන සඳහා වැඩි මුදලක් වෙන් කිරීම ඔබ දකින්නේ කොහොමද?

ඒ සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණා. එහිදී මේ කාර්යයන් පහසු කරන්න ආයතන කිහිපයක් එකතු කර තනි ආයතනයක් නිර්මාණය කිරීමට යෝජනා වුණා. උදාහරණයක් වශයෙන් BOI, EDB, සහ NIDB කියන ආයතන එකතු කර තනි ආයතනයක් ආරම්භ කිරීමට යෝජනා වුණා. නමුත් 2016 හෝ 17 අය වැයේදී ඒ යෝජනාව එපරිද්දෙන්ම තියෙනවා. ඒක මෙවරවත් ක්‍රියාත්මක වුණොත් හොඳයි. අනෙක ඩිජිටල් ආර්ථිකයක් සම්බන්ධ යෝජනාව. එයත් ඉතා හොඳයි. ඒ වගේම අපනයනයට අවශ්‍ය පහසුකම් සැලසීමට ශ්‍රමිකයන්ට සම්බන්ධ නීති රීති වෙනස් කිරීමත් යහපත් දෙයක්.

සංචාරක කර්මාන්තය හා විදේශ සම්ප්‍රේෂණ ඉහළ නංවා ගැනීමට අය වැයේදී ලැබුණු අවධානය කොහොමද?

මේ මොහොතේ අපේ රටේ මොන ගැටලු තිබුණත් ලෝකය හඳුනාගෙන තිබෙනවා සංචාරයට ශ්‍රී ලංකාව සුදුසුම තැනක් කියලා. ඉදිරියට සීත ඍතුව එන්නෙ. ඒකෙ වාසිය තියෙන්නෙ අපේ රටට. විදේශිකයො මේ කාලයේදී අපේ රට කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. එනිසා ඊට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි. රට තුළ හැම අතින්ම ස්ථාවරත්වයක් ඇති කළ යුතුයි. මානව හිමිකම් උල්ලංඝනය වැනි දේ මේ මොහොතේ සිදු නොවිය යුතුයි. ඒ දේවල් එක්ක සංචාරකයන්ගේ පැමිණීම වැළැක්වෙනවා. ඒ නිසා සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට යමක් කළ යුතුයි. නමුත් මෙවර අය වැයේදී ඒ සම්බන්ධව යොමු වන අවධානය මදි. කඩා වැටුණු හෝටල් කර්මාන්තය ආරක්ෂා‍ කිරීමට අඩුම තරමේ ණය යෝජනා ක්‍රමයක්වත් ඇතුළත් වුණා නම් හොඳයි.

අඩු ආදායම්ලාභී හා පීඩාවට පත් පවුල් වෙනුවෙන් තවත් මාස 4ක් ආධාර දීමට යෝජනා වීම මේ මොහොතේ රටට සුදුසුද?

ඒක මෙවර අය වැයෙන් යෝජනා වූවක් නෙවෙයි. අතුරු අය වැයෙන් ඉදිරිපත් වූ යෝජනාව අනුව ඒ පුද්ගලයන් වෙනුවෙන් වැඩි කළ ගාස්තු දිගටම ගෙන යෑම සම්බන්ධවයි එහිදී කියැවුණේ. ඒ වගේම පෞද්ගලික ආයතනවල රැකියා අහිමි වූවන් වෙනුවෙන් යෝජනා වුණු මාස 3ක වැටුප ගෙවිය හැකි රක්ෂණාවරණය සඳහා මුදල් ගන්නෙත් EPF සංචිතයෙන් මිස ර‍ජයේ මුදලින් නෙවෙයි. එමෙන්ම අඩු පොලියට තරුණ ප්‍රජාවට ණය දෙන්නෙත් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබුණු අඩු පොලී ණය මුදල්වලිනුයි. ඒ නිසා මේ ආධාර දීමෙන් රටට ලොකු පීඩනයක් සිදු වෙන්නේ නෑ.

 

චාමිකා මුණසිංහ

නව අදහස දක්වන්න