Thursday, නොවැම්බර් 24, 2022 - 10:50
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පවා පනවා තිබෙන විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 15වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(24) නියම කළේය.
අදාළ පුද්ගලික පැමිණිල්ල අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එම අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් මූලික විරෝධතා මතු කළේය.
එම මූලික විරෝධතා වලට අදාල ලිඛිත දේශන දෙසැම්බර් මස 15 වනදා ඉදිරිපත් කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වල මහතා පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥ වරයාට නියෝග කළේය.
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණි.
2006 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
නව අදහස දක්වන්න