ඕමානයේදී කතුන්ට අතවර කළ බව කියන කුෂාන් අද හෙටම අත්අඩංගුවට | දිනමිණ

ඕමානයේදී කතුන්ට අතවර කළ බව කියන කුෂාන් අද හෙටම අත්අඩංගුවට

ඕමානයේ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට ලක්ව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රැකවරණය පතා යන කතුන්ට අයුතු බලපෑම් කර ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි කියන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් ලෙස එරට සේවයේ නිරතව සිටි ඊ. කුෂාන් නැමැත්තාව අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන නිලධාරියා ලෙස සේවය කරමින් සිටි මෙම සැකකරුට එරෙහිව කාන්තාවන් කිහිප දෙනෙක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. ඒ අනුව මෙම පුද්ගලයා එරට සේවය සඳහා ගොස් විවිධ හිරිහැරයන්ට ලක්ව රැකවරණය පතා ගිය කතුන් රැසකට ලිංගික අඩත්තේට්ටම්කර ඇති බවත් රැකවරණය පතා එන ඇතැම් කතුන්ව ඒ අයව එරටට ගෙන්වා ගත් ඒජන්සි වෙත නැවත භාරදෙන බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයාව මෙරටට එවීමට ඊයේ වන විට ශ්‍රී ලංකාවේ ඕමාන් තානාපති කාර්යාලය විසින් අවශ්‍ය පියවර ගෙන තිබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය තොරතුරු අනාවරණය කළේය. ඒ අනුව අද හෝ හෙට ඔහු මෙරටට පැමිණීමට නියමිතව ඇත.

නව අදහස දක්වන්න