විස්සයි20 ලෝක කුසලානයේදී විනය කඩ කළැයි චාමිකට වසරක අත්හිටුවූ තහනමක් | දිනමිණ

විස්සයි20 ලෝක කුසලානයේදී විනය කඩ කළැයි චාමිකට වසරක අත්හිටුවූ තහනමක්

ඩොලර් පන්දහසක දඩයකුත් පනවයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන ඇත. ඔහුට වසරක කාලසීමාවකට සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීම තහනම් කරමින් මේ අත්හිටුවූ වසරක තහනම පනවා ඇති අතර, මීට අමතරව අමෙරිකානු ඩොලර් පන්දහසක (ශ්‍රී ලංකා රුපියල් දහඅට ලක්ෂ විසිඅටදහසක පමණ මුදලක්) දඩයක් ද පැනවූ බව ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර ක්‍රීඩක ගිවිසුමෙහි ඇතැම් වගන්ති උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධව ත්‍රිපුද්ගල විනය කමිටුවක් විසින් විභාග කරනු ලැබූ පරීක්ෂණයකින් පසු එම කමිටුව ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට බාර දුන් වාර්තාවට අනුව ඔහුට එල්ල වූ සියලු චෝදනාවලට වරදකරු වී ඇති අතර, විනය කමිටුවේ නිර්දේශවලට අනුව මේ පියවර ගත් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉදිරියේදී මෙවැනි විනය විරෝධී ක්‍රියාවල නිරත වීමෙන් වැළැකීමට චාමික කරුණාරත්නට දැඩි ලෙස අවවාද කරන ලෙසත්, ඔහුගේ ක්‍රීඩා ජීවිතයට බලපෑමක් එල්ල නොවන ආකාරයෙන් දඬුවමක් ලබා දෙන ලෙසත් විනය කමිටුව නිර්දේශ කර ඇතැයි ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 

නව අදහස දක්වන්න