ක්වීන්ස් හෝටලය වුණු මහනුවර දුල්ලෑව වලව්ව | දිනමිණ

ක්වීන්ස් හෝටලය වුණු මහනුවර දුල්ලෑව වලව්ව

අභිමානවත් සෙංකඩගල පුරවරයේ නුවර වැව හෙවත් කිරි මුහුද අභියස ශ්‍රී දළදා මාලිගාවට මුහුණලා කිරි සුදු පැහැයෙන් වර්ණවත් කර ඇති අලංකාර මන්දිරය වන්නේ ක්වීන්ස් හෝටලයයි. බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණ මතු කෙරන මහල් 4කින් සමන්විත මෙම හෝටලය දන්ත ධාතුන් වහන්සේට ගරු කිරීමක් වශයෙන් සුදු පැහැයෙන් වර්ණවත් කර ඇති බව සාම්ප්‍රදායානුකූල අදහසයි. මහනුවරට යන එන කාටත් අමතක නොවන ස්මාරකයක් ලෙසත් මෙම ක්වීන්ස් හෝටලය ප්‍රචලිතය. ඒ උඩරට රාජධානි සමයේ පටන් අපූරු මතක සටහන් රාශියක් සඟවා ගෙන මහනුවර රාජධානියේ චමත්කාරය වඩ වඩාත් තීව්‍ර කරන්නට සමත් වී ඇති නිසාවෙනි.

දෙස් විදෙස් සංචාරකයන් ක්වීන්ස් හෝටලයට පැමිණ එහි පහස විඳ ගත්තද එය ඉදිවූ යටගිය අතීතය නම් බොහෝ දෙනෙක් නොදන්නා තරම්ය. එහි ඉතිහාසය හා රසබර අතීතය සොයාගිය චාරිකාවයි මේ.

වලව්වේ ඉතිහාසය

ප්‍රථමයෙන්ම මෙහි ආරම්භය 18 වන ශතවර්ෂය තරම් ඈතට දිවයන්නකි. කන්ද උඩරට රාජධානියේ අවසන් රජු ලෙස කිරුළු පලඳින වඩුග ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පාලන සමයේ දී සෙංකඩගල නගරයේ පිළිමතලාවේ වලව්ව, දුනුවිල වලව්ව, ඇහැලේපොළ වලව්ව, ගිරාගම වලව්ව, මුල්ලේගම වලව්ව ආදී වශයෙන් වලව් 18ක් පිහිටා තිබුණි. නමුත් විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් අද වන විට ඉතිරිව ඇත්තේ ඉන් කීපයකි. අප කතාබහේ යෙදෙන “ක්වීන්ස් හෝටලය” පිහිටා තිබෙන්නේද මෙම වලව් 18ට අයත් “දුල්ලෑව වලව්ව” නම් භූමියේය.

මෙම දුල්ලෑව වලව්ව එවකට කන්දඋඩරට රාජධානි සමයේ දිසාවරයෙක් ලෙස සිටි “දුල්ලෑව අධිකාරම්ගේ නිල නිවස” බව සඳහන් වෙයි. දුල්ලෑව අධිකාරම යනු වර්ෂ 1815 මාර්තු 02 වැනි දින සමස්ත ශ්‍රී ලංකාවම ඉංග්‍රීසි අධිරාජ්‍යයට යටත් වීමට බලපෑ උඩරට ගිවිසුමට අත්සන් කළ උඩරට ප්‍රභූවරයෙකි. දුල්ලෑව පරපුරේ ආරම්භය සිදු වන්නේ මාතලේ අලුත්ගොඩ දුල්ලෑව නැමති ග්‍රාමයේ වාසය කළ ‘දුල්’ නැමැති වැදි රජුගෙනි. පසුකාලීනව පිළිමතලාවේ පරම්පරාවේ ආරම්භයට දායකත්වය ලබා දෙන්නේ ද මේ දුල්ලෑව පවුලයි.

කෙසේ වුවද මාතලේ දුල්ලෑව ග්‍රාමයේ පිහිටා තිබූ මෙම දුල්ලෑව අධිකාරමගේ මහ වලව්ව මැද මිදුල් 7කින් සමන්විත අක්කර ½ ක පමණ භූමියකින් යුක්ත එකක් විය. නමුත් වර්තමානය වන විට එහි ඉතිරිව ඇත්තේ මැද මිදුල් 2ක් පමණි. රාජ සේවයට පැමිණි අවස්ථාවේ පාලනය තකා නැවතීම පිණිස සෙංකඩගල නගරයේ මාලිගා භූමියේ මහමළුවට ඉදිරියෙන් නුවර වැව ආසන්නයෙන් සෑදූ තවත් වලව්වක් විය. සුදු සේලයකින් ඔතා ඇති ආකාරයට වර්තමානයේ මෙලෙස දිස් වන්නේ මෙම ක්වීන්ස් හෝටලයයි.

ක්‍රි.ව. 1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ඉංග්‍රීසීන් සිංහලයන් රවටා ඇති බව දුල්ලෑවේ අධිකාරම්ට වැටහුණි. ඉන්පසු ඉංග්‍රීසීන් අතට පාලනය මාරු වූ පසු දුල්ලෑව අධිකාරම මහනුවර අතහැර තම ගම වූ මාතලේ දුල්ලෑවට ගියේ කිසිවෙකුටත් මහනුවර වලව්ව භාර දීමෙන් තොරවය. දුල්ලෑව වලව්ව මෙන්ම මහනුවර නගරයේ තිබූ අනෙක් වලව්ද ඉංග්‍රීසීන්ගේ පාලනයට නතු වීමෙන් අනතුරුව ඔවුන් තම සිතැඟි පරිදි ඇතැම් වලව් කඩා දැමීමද වෙනත් ගොඩනැඟිලි ඉදිකිරීමද සිදු කළහ. ක්වීන්ස් හෝටලයේ ආරම්භයත් වර්ධනයත් සිදු වන්නේ මෙතැන් පටන්ය.

නගරයේ රජ වාසලට නුදුරින් අලංකාර වටපිටාවක පිහිටි දුල්ලෑව වලව්ව 1818 ඉංග්‍රීසි ආණ්ඩුකාර නිල නිවස බවට තාවකාලිකව පත් විය. එහි පදිංචි වූ පළමු ඉංග්‍රීසි නිලධාරියා වශයෙන් සැලකෙන්නේ මහනුවර ඉංග්‍රීසි නේවාසික නියෝජිත වූ ජෝන් ඩොයිලි මහතාය. අනතුරුව 1840 ඉංග්‍රීසීන් යටතේ ලංකාවට පැමිණ සටන්වලට එක් වූ මැලේ රයිපල් හමුදාවට නවාතැන් සපයා දීමට යොදා ගත් බැරැක්කයක් බවට වත්මන් ක්වීන්ස් හෝටලය පත් විය. මේ නිසා මෙම ගොඩනැඟිල්ල “මලබාර් නිවස” නමින්ද ඉන් ඉදිරියෙන් ඇති වීදිය “මලබාර් වීදිය” නමින්ද හඳුන්වා දී තිබේ. ඉන් පසු මෙය භාවිත කර ඇත්තේ “යුද හමුදා රෝහලකටයි. ”

බ්‍රිතාන්‍ය දායකත්වය

වර්ෂ 1850 අවධිය වන විට බ්‍රිතාන්‍ය පාලනය විසින් කන්දඋඩරට ප්‍රදේශයේ තේ, කෝපි, කොකෝව, රබර් ආදී නොයෙකුත් භෝග වගාවන් ආරම්භ කරන ලදී. තවත් වසර කීපයක් ගත වෙද්දී වගා කරන ලද භෝගයන් මිලදී ගැනීම සඳහා වෙ‍ෙළඳුන් පැමිණි අතර ඔවුන්ට නැවතීම සඳහා සුදුසු ස්ථානයක් සෙංකඩගල පුරවරයේ නොතිබුණි. ඒ නිසා මෙම ගොඩනැඟිල්ලේ එක් කොටසක ඉංග්‍රීසි ජාතික ස්ටෙන්ස් නම් කාන්තාව ඉංග්‍රිසි ජාතිකයන් සඳහා කුඩා භෝජනාගාරයක් හා “බෝඩින් හවුස්” ලෙස නවාතැන්පළක් පවත්වාගෙන යන ලදී. එය ස්ටෙන්ස් හෝටලය නමින් එකලදී හැඳින්විණි.

මේ වන විට මුල් වලව්වේ ස්වරූපය ටිකෙන් ටික වෙනස් වෙමින් පැවති අතර වඩා විශාල හෝටලයක අවශ්‍යතාවයද මහනුවරට දැනෙමින් තිබුණි. විශාල හෝටලයක් ඉදිකිරීමට ස්ටෙන්ස්ට ඒ වන විට හැකියාවක් නොතිබුණු නිසා ස්ටෙන්ස් මහත්මිය රූඩි 2, පර්චස් 8 ½ ක් වූ දුල්ලෑව වලව්වේ කොටසක ඉදිවූ හෝටලය ක්‍රි.ව. 1879 දී හමුදා නිලධාරියකුගේ දියණියක් වූ “එලිසෙබෙත් පියාෂෝ” නම් ධනවත් කාන්තාවට විකුණන ලද්දේ වඩා විශාල හෝටලයක් ඉදි කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනයි.

අනතුරුව පියාෂෝ කුමරිය මෙය මිලදී ගෙන නවීන අංග කීපයක් එකතු කර 19 වන සියවසේදී බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නවතම ආකාරයක නවාතැන්පළක් බවට එම ගොඩනැඟිල්ල පරිවර්තනය කරන ලදි. අනතුරුව එහි නම ‘පියාෂෝ කොටේජ්” නමින් වෙනස් කර වර්ෂ 1874දී එංගලන්තයේ වික්ටෝරියා රැජිනගේ පාලනය සිහිපත් වීමට හෝටලයේ නම “ක්වීන්ස් හෝටලය” නමින් වෙනස් කරන ලදි. එතැන් පටන් වර්තමානය දක්වාම භාවිත කරන්නේ එම නාමයයි. 19 වන සියවසේ අවසානය වන විට ලංකාවේ පමණක් නොව, බ්‍රිතාන්‍ය යටත්විජිත ලෝකයෙත් යුරෝපීයයන් අතරත් ලෝකය පුරාමත් ක්වීන්ස් හෝටලය ජනප්‍රියත්වයට පත් වීම ආරම්භ විය. එපමණක්ද නොව, වර්තමානයේ ලෝක උරුම ගොඩනැඟිල්ලක් වශයෙන්ද ක්වීන්ස් හෝටලය නම් කර තිබීමෙන් මෙහි ඓතිහාසික වටිනාකම කොතෙක්ද යන්න පිළිබඳව මනාව වැටහෙනු ඇත.

සිදුකළ ප්‍රතිසංස්කරණ

1895 වසරේදී පියාෂෝ කුමරිය මෙම ක්වීන්ස් හෝටලය කැන්ඩි හෝටල් සමාගමට විකුණා ඇති අතර පසුව තවදුරටත් මෙය මහනුවර ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ප්‍රතිසංස්කරණය කරන ලදි. ක්‍රි. ව. 1900 – 1908 අතර කාලයේදී හෝටලයේ නැඟෙනහිර හා බස්නාහිර අන්තවලට තවත් කොටස් කීපයක් එකතු කර විශාල කිරීමක් ද සිදු කරන ලදි. එමෙන්ම වර්ෂ 1911දී කොළඹ කොමර්ෂල් සමාගම විසින් මෙම හෝටලය මිලදී ගෙන මෙහි බෝල්රූම් ශාලාවක්ද ස්ථාපිත කරන ලදි. වර්ෂ 1970දී පමණ අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පාලන අවධියේදී හෝටලය රජයට පවරා ගෙන පසුව එහි අයිතිය හෝටල් කෝපරේෂන් යටතට පාලනයට පත් කර තිබේ. එහි 24%ක කොටස් ගාඩිනර් සමාගමටද, 30%ක් රජයට ද අයිති විය. පසුව රජයේ අයිතියට හිමි කොටස් එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ අවධියේදී විකුණා ඇති අතර, අනතුරුව එම කොටස් මිලදී ගෙන ඇත්තේ ගෝල්ෆේස් සමූහ ආයතනයයි. පසුව ස්විස් හෝටලය හා ක්වීන්ස් හෝටලය ඒකාබද්ධ කර පවත්වාගෙන ගිය අතර වර්තමානයේදී ක්වීන්ස් හෝටලයේ කොටස් වැඩි ප්‍රමාණයක් හිමිකර ගනිමින් අයිතිකරුවන් වී සිටින්නේ ගෝල්ෆේස් සමූහ ආයතනයයි.

අතීතයේ සිටම ප්‍රකට පුද්ගලයන්ගේ නවාතැන්පළක් වූ ක්වීන්ස් හෝටලයට දකුණුදිග ආසියාවේ ප්‍රධානතම යටත්විජිත බ්‍රිතාන්‍ය නිලධාරියෙක් වුණු මවුන්ටි බැටන් සාමිවරයා නිතර ආ ගිය අයෙක් ලෙස ප්‍රසිද්ධය. එපමණක් නොව, 1890දී ඇන්ටන් චෙකොව් මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදීත් මෙම හෝටලයේ නවාතැන් ගත් බව සඳහන්ය.

ඉෂාරා සඳරේණු

කැලණිය විශ්වවිද්‍යාලය

නව අදහස දක්වන්න