කිසිවෙක් අඳුර ප්‍රිය නොකරති. නමුත් බොහෝ දෙනෙක් අඳුරට සාප කරමින් වෙසෙනවා විනා අඳුර මැකෙන්නට පහනක් හෝ දල්වන්නට උත්සාහ නොකරති. නමුත් ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා අඳුර මකාලනු පිණිස පහන් සහසක් දැල්වූ උතුමෙක් ලෙස ලක්දිව ප්‍රකට චරිතයකි. ඔහු උපන් එක්දහස් අටසිය හැට ගණන්වලත් ලක්දිව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ අණසකින් අඳුරුව පැවතිණි.
1868 පෙබරවාරි 13 වැනිදා කැලණිය වරාගොඩදී උපන් ඩී.බී ජයතිලක මහතා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා ගත්තේය. ඉන්පසුව වරාගොඩ බැප්ටීස්ට් විදුහල, කොළඹ වෙස්ලි විද්‍යාලය ඔහුගේ සිප් සෙවණ විය. ඔහු උපන් සමයේ සිටම ලක්දිව පැවතියේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ ආඥා චක්‍රයයි. එම අණසකින් ලක්දිව නිදහස් කරගෙන දේශයට අනන්‍ය වූ පාලනයක් ගොඩනැගීමට ඩී.බී. ජයතිලක මහතා මහත් වෙහෙසක් දැරීය. ඔහු නිදහස් සටනේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. ඒ සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන්දී ඔහුට ගුරුහරුකම් ලබා දුන් රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමියන්ගේ මඟ පෙන්වීම් මනා පිටිවහලක් විය.
1890 වසරේදී ඩී.බී. ජයතිලක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති ධුරයෙන් පිදුම් ලැබීය. පරමවිඥාර්ථ සංගමයේ අනුග්‍රහයෙන් එම තනතුර ඔහුට පිරිනැමිනි. ඒ වන විට ඔහු වයස අවුරුදු 22ක් තරම් ළාබාල වියෙහි පසුවිය. මේ අතරතුර ඔහු තවදුරටත් සිය උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳව සැලකිලිමත් විය. ඒ අනුව ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී උසස් අධ්‍යාපන සුදුසුකම් දියුණු කර ගැනීමට කටයුතු කළේය.
වසර 8ක් ධර්මරාජ විද්‍යාලීය විදුහල්පති තනතුරු හොබවන ඩී.බී. ජයතිලත මහතා 1898 වසරේදී කොළඹ ආනන්ද විද්‍යාලයේ අප විදුහල්පති තනතුරට පත් වන්නේය. 1900 වසරේදී ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ධුරයට උසස්වීම් ලද ඩී.බී. ජයතිලක මහතා ආනන්ද විද්‍යාලයේ දියුණුව උදෙසා මහත් වෙහෙස ගෙන කටයුතු කළ බව ඉතිහාසය කියයි. එකල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය යටතේ පාලනය වූ මිෂනාරි පාසල් හා සමාන සේවයක් සපයන පාසලක් බවට ආනන්ද විද්‍යාලය පත් කිරීමට ඔහුට හැකියාව ලැබුණි. ඒ අනුව බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම් උදෙසා සුවිසල් සේවාවක් ඉටු කරන්නට ඩී.බී. ජයතිලක මහතා වෙහෙසව කටයුතු කළේය.
එපමණක් නොව පැරණි බෞද්ධ පොත්පත් නැවත ලියැවීම, අමද්‍යප ව්‍යාපාරය ශක්තිමත් කිරීම වැනි සුවිශේෂී සේවාවන් රැසක් ඉටු කළ ඩී.බී. ජයතිලක මහතා ගුරුවරයෙක් පමණක් නොව නීතිඥවරයෙක් ලෙසද කටයුතු කළ අයෙකි. 1915 කෝලාහාල අතරතුර බ්‍රිතාන්‍යයන් විසින් ඩී.බී. ජයතිලක මහතා අත්අඩංගුවට පත් වූවත් ටික කලකින් ඔහු ඉන් නිදහස් විය. 1923 වසරේදී ලංකා ජාතික කොංග්‍රසයේ සභාපති ලෙස තේරී පත් වූ ජයතිලක මහතා ඉන් සුළු කලකට පසුව ලංකා ව්‍යවස්ථාදායක සභාවට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තේරී පත් විය. 1930 දී ව්‍යවස්ථාදායක සභාවේ උප සභාපති ධුරයට පත් වූ ජයතිලක මහතා 1931 ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විණි. එහි අමාත්‍ය මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස තේරී පත් වූ ජයතිලක මහතා 1936 දී නැවතත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විණි. එවර එහි සභානායක ධුරයෙන් පිදුම් ලබන්නට තරම් ඔහු භාග්‍යවන්ත විය. එසේම ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන්ද හෙතෙම පිදුම් ලැබුවේය.
දෙවන ලෝක යුද සමයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ඔහු සුවිසල් සේවා රැසක් ඉටු කර තිබේ. 1942 වසරේදී සභානායක ධුරයෙන් ඉල්ලා අස්වන ඩී.බී. ජයතිලක මහතා 1943 වසරේදී ඉන්දියාව බලා ගමන් කළේය. හදිසි අසනීප තත්ත්වයක් නිසා නැවතත් වසරකින් පමණ ලංකාවට පැමිණි ජයතිලක මහතා 1944 මැයි 29 වැනිදා හෘදයාබාධයක් හේතුවෙන් මෙලොවින් සමුගන්නා විට 76වන වියෙහි පසුවිය. ඔහු සතු දේපළ බොහෝමයක් රජයේ භාරකාර අරමුදලට ඔහු පැවරීමට තරම් ඩී.බී. ජයතිලක මහතා දානපතියෙක් විය. ඒ අනුව ඔහු විසූ කොළඹ හතේ පිහිටි තර්බර්න් නිවස මෙන්ම කුඹුරු, වතුපිටි රැසක්ම මරණයෙන් පසුව රජයේ භාරකාර අරමුදලට උරුම විය.
පසිඳු මිහිරාන් රැටියල
නව අදහස දක්වන්න