රුසියාව හෙළ දැකීමේ යෝජනාවට ඉන්දියාවේ සහයක් නෑ | දිනමිණ

රුසියාව හෙළ දැකීමේ යෝජනාවට ඉන්දියාවේ සහයක් නෑ

යුක්රේනයේ ඇතැම් කලාප නීතිවිරෝධී ලෙස තම රටට ඈඳෑ ගැනීමට රුසියාව පියවර ගෙන ඇතැයි කියමින් අමෙරිකාව ඇතුළු රුසියානු විරෝධී රාජ්‍යයන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ කෙටුම්පත් යෝජනාවකින් වැළකී සිටීමට ඉන්දියාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේන යුද්ධයේ ආරම්භයේ සිටම බටහිර රාජ්‍යයන් විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කරද්දී රුසියාව සමඟ ඇති ආර්ථික සබඳතා අඛණ්ඩව පවත්වා ගත් ඉන්දියාව රුසියාවෙන් තෙල්, ගල් අඟුරු සහ පොහොර මිලදී ගැනීම වැඩි කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මීට පෙර අවස්ථාවන්හී ද රුසියාව හෙළා දකින යෝජනාවලින් වැළකී සිටි ඉන්දියාව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස යුක්රේන යුද්ධය අරභයා මැදිහත් පිළිවෙතක් අනුගමනය කරමින් සිටියද, අමෙරිකාව ඇතුළු බටහිර රටවල අපේක්ෂාව වී ඇත්තේ ඉන්දියාව සිය පාර්ශ්වය දෙසට හරවා ගැනීමට බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ කියති.

එසේ වුවත් සිය ආර්ථකය ස්ථාවර මට්ටමක රඳවා ගනිමින් ජාත්‍යන්තර රාජ්‍යයන් සමඟ කිසිදු ගැටුමකින් තොරව කටයුතු කිරීමට ඉන්දියාව යුක්රේන යුද්ධයේ ආරම්භයේ සිටම තීරණය කර තිබූ බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

 

නව අදහස දක්වන්න