දුරාතීත ඉතිහාසයකට නෑකම් කියන කවදා කෙසේ උත්පත්තිය ලැබුවාදැයි කිව නොහැකි දකුණු පළාතේ සුන්දර ගම්මානයක පිහිටි කොග්ගල ඔය ගැනයි අද අපි ඔබට කියන්න යන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ෆෙඩ්රික් නෝර්ත් මහතා පවා ඔරු පැද විස්මයට පත් වුණු මේ ඔය, දෙස් විදෙස් සංචාරකයින්ගේ එක් දින සංචාරයකට අමතක නොවන මිහිරක් එක් කරන අපූරු, චමත්කාරජනක තෝතැන්නකි.
ඒකාකාරී ජීවන ගමනකට කොමාවක් තබා ගතට සිසිලත්, මනසට සුවයක් සොයා යන්නවුන්ට මේ ඔයේ සංචාරය කිරීම විනෝදාස්වාදය මෙන්ම දැනුම් සම්භාරයක් උකහා ගැනීමට ද සුදුසු සොබා දහමේ සොඳුරු නිමැවුමකි. සුන්දරත්වය කැටි කර ගත් දූපත් ගණනාවකින් සැදුම්ලත් ඔය වටා මල් පිපෙන කාලයට ඈතට දිස්වන්නේ එකම මල් විලක් සේය.
අදටත් ජනාවාස වී ඇති ගන්දූව දූපත් දෙකට අමතරව මෙහි ආරණ්‍ය සේනාසනයන් ලෙසින් පවතින ඓතිහාසික තලාතුඩුව හා වෑදුව පූජණීය ස්ථානයන් හැරුණු විට කොත්දූව මැදින්දූව, කුරුලුදූව තම්බිගේදූව ආදී දූපත් දුසිමකින් සමන්විතය. කොග්ගල ඔයෙහි වඩාත් ලොව පතළ වූයේ කොග්ගල මහා ප්‍රාඥයා නම් විරුදාවලිය ලත් මහා ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ළමා නවකථාවකට පාදක වූ මඩොල්දූවය.
කොළඹ සිට බෙන්තර ගඟින් එතෙරව ගාල්ල හරහා කොග්ගලට පැමිණෙන ඔබට එක් දින චාරිකාවකට එක්වන්නේ නම් මේ සාම්ප්‍රදායික ඔරුවක හෝ බෝට්ටුවක නැඟී අසිරිමත් බවින් අග්‍රගණ්‍ය වූ මේ ඔයෙහි සිරි විඳ මඩොල් දූව ද බලා මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය ද නරඹා දැනුමත්, ආකල්පයනුත්, කුසලතාවයනුත් වර්ධනය කර ගත හැකිය.
වික්‍රමසිංහයෝ කොග්ගල පිහිටි මේ ඔය හා ඒ අවට පරිසරය ගැන සිය "උපන්දා සිට" නම් පොතේ මෙසේ උදම් අනති. "මම අවුරුදු තිහකට වැඩි කාලයක් කොග්ගල ජීවත් වූයෙමි. බොහොම සුන්දර ඔය හා ගැමියන් නිසා මා තුළ දැඩි ඇල්මක් හට ගත්තේය. මගේ නවකතාවලට පමණක් නොව විචාර නිබන්දනවලටත් සංස්කෘතික මානව විද්‍යාව හා දර්ශන පිළිබඳ සත්ත්ව සංහතියටත් පිටුපසින් පවා මගේ ගැමි අත්දැකීම් හා ගැමි පරිසරය මා කෙරෙහි බලපැවේය."
එපමණක් නොව ඔහු කොග්ගල කලපුව ගැන මෙසේ ද සඳහන් කරයි. "මඩොල්දූව ඇතුළු කලපු කීපයක් ද මෙම දූපතෙහි දක්නට ලැබෙනවා ඒ අතරින් ආරණ්‍යයක්, එයට ගමන් කිරිමට ජලය මතින් මහා මාර්ගයක් ද සකසා තිබෙනවා සිත නිවන පරිසරයක් මේ භූමියේදී විඳ ගත හැකියි. භාවනානුයෝගී භික්ෂූන් වැඩ වෙසෙන එහිදී අසංවර හැසිරීමකට නම් ඉඩක් නැහැ." යනුවෙනි.
දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි අවධානයට ලක් වන තවත් එක් ස්ථානයක් වන්නේ මෙහි තැනින් තැන ඇති මහ ගල් කුළුය. එහි එක් ගලක ඇති කොකෙකුගේ රුව හා සමාන වන සලකුණ ඇති ගලට කොකා කෙටූ ගල යැයි කියති. එය කොග්ගල උපත පිළිබද කියැවෙන සෙල් ලිපියක් බව විද්වත් කොග්ගලයකු වූ අරිසෙන් අහුබුදු මහතා පැවසුව ද එය මෙතෙක් කිසිදු පුරාවිද්‍යඥයකුට එහි ඇති අකුරු හඳුනාගැනීමට නොහැකි වීම එක්තරා අවාසනාවක් බව ජනතාව පවසති.
තවත් ජනප්‍රවාදයක් වන්නේ, මෙහි කොග්ගලයකු සතු එක්තරා ඉඩම් ඔප්පුවක් ගාල්ලේ මුස්ලිම් ජාතිකයකුට ලියා දී කිසියම් මුදලක් ලබා ගෙන පසු කලෙක එම මුදලාලි කොග්ගලට විත් එම ඔප්පුව ගම්මුන්ට පෙන්නා ඒ දූපත පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටි බවය. පසුව ගම්මු විසින් ඔහු රැගෙන ගොස් එකී දූපත පෙන්වා ඇති අතර එහි වූයේ එක් පොල් ගසක් සහිත අල්ලක් පමණ වූ දූපතකි. ඒ නිසාම එදා සිට මෙදා දක්වාම ඒ දූපත හඳුන්වන්නේ තම්බිගෙ දූපත ලෙසිනි. මෙහි සංචාරයට එන බොහෝ දෙනකු මේ තම්බිගෙ දූපත බැලීමට යන්නේ ගැමි කතාව ද ඇසීමෙන් පසුවය.
කොග්ගල ඉස්සන් හා කකුළුවන් ලෝ පතළ රසවත් කෑමකි. දෙදිය මිශ්‍ර වී ඇති නිසා මෙම රස උතුරා යන බව ධීවරයෝ පවසති. ඉස්සන්ගෙන් විශාලම ඉස්සා කලිස්සා නම් වෙයි.
ඈත අතීතයේ සිටම කුරුල්ලන්ගේ ලැගුම්හලක් වූයේ කුරුලු දූපතය. කොකුන් ඇතුළු කුරුල්ලන් සිය දහස් ගණනක් එකට එකතු වන කුරුලු දූපත ගැන ද වික්‍රමසිංහයන් අපූරු සටහනක් .තබා තිබේ. මෙම ස්ථානය අභය භූමියක් බවට පත් කර ඇති වුව ද මේ වන විට එය අභාවයට යන සලකුණු පහළ කර අවසානය. උපාලි, ජින්නලා බැලීමට මඩොල් දූවට ගිය ද දැන් ඔවුන් මඩොල් දූවේ නොමැත. රාත්‍රී කාලයේ මෙහා ගොඩේ සිට ඔය හරහා යන ගිනි හට්ටි ද දකින්නට නැතිවා සේම මඩොල් දූවේ සැඟවී සිටින සිය සැමියාට තනි ඔරුවෙන් බත් ගෙනියන පතිනියන් ද අද නැත. එහෙත් 'මඩොල් දූව' පොතේ ඇති චමත්කාරය නම් අදට ද නොඅඩුව ලබන්නට මේ ඔයෙහි පරිසර පද්ධතිය නම් නොනැසී පවතින්නේය.
එපමණක් නොව ඉංග්‍රීසි ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත් ඇතුළු පිරිස කොග්ගල ඔයේ ඔරු පැද ගිය අපූරුව සහ ආණ්ඩුකාරවරයා කොග්ගල ඔයට කෙතරම් වසග වීද යන්න ඔහු සමඟ ගිය ජේම්ස් කෝඩිනර්වරයාගේ කෘතියක මොනවට විදහා දක්වයි.
"කොග්ගලදී උදෑසන ආහාර ගත් අපි විනෝදයේ වෙනසක් සොයා ජලාශයෙහි සංචාරයකට යොමු වුණෙමු. ඔරු දෙකක් හෝ තුනක් එකට එකතු කොට එකිනෙකට බැඳ මල් වලිනුත් ගොක් කොළවලිනුත් සරසා තිබුණේය. නිසල ජල තලය මත හබල් වලින් පදවනු ලැබූ යාත්‍රාවෙහි සුව පහසු අසුන් මත පියකරු වටපිටාව සිත් සේ නරඹමින් පැයක් පමණ ගත කළ අපි ඒ වන විට සැතැපුම් දෙකක් පමණ මාතර දෙසට ගෙනවුත් තිබුණු දෝලාවලට නැඟුනෙමු" යි පවසයි.
ඉන් නොනැවතුණු මේ ලේඛකයා මේ සොඳුරු ඔය වටා ඇති පාරිසරික සෞන්දර්යය වර්ණනා කර තිබුණේ මෙසේයි.,
"සැතපුම් තුනක් පමණ දිගින් ද ඇතැම් තැනකදී සැතැපුමක පමණ පළලින් ද යුත් පුළුල් ජලාශය ඒ මේ අතට වක් වෙමින් වන ගුලාවෙන් ආවරණය වන අහුමුළුවලටත් ගල්පර අතර ගුහාවලටත් නිරතුරුවම පැතිරෙමින් ව්‍යාප්ත වී පවතියි.
යාත්‍රාව ගමන් අරඹා ඔයෙහි මඳ දුරක් යන විට සිත් සසල කරවන රොදින් වැඩුණු කඳු වැටි එකින් එක දක්නට ලැබෙයි. අනතුරුව ජලාශය මධ්‍යයෙන් කුතුහලජනක අයුරින් ඉල්පී සිටින ගල් කණු තුනකුත් ඒ වටා තැනින් තැන වැවුණු පඳුරු ලැහැබක් හිටුවනම දර්ශනපථයට පිවිසෙයි. දෙපසින් කුඩා දූපත් රැසකි. ගොඩබිමට තරමක් ඈතින් පිහිටා ඇති එක් දූපතක් ඒ දූපත් අතර කැපී පෙනෙයි. ඇතැම් දූපත්වල ගල් කුළු අවට බිම් ළඳු පඳුරින් ගැවසී පවති. දූපත වටා ඉවුරුවල පහත් ලැහැබත් උස් ගසුත් වැවී තිබෙයි. ගස්වල ලොකු අතු ඒවායේ බරින්ම බිම ගෑවෙන්නට පහත් වී එතැනින් තවත් ගසක් මෙන් ඉහළට වැවී දූපත් සීමාව කැලෑවෙන් වැසී තිබෙයි. ජලාශයේ මුහුදට ආසන්න ඉවුරු පුළුල් පෙදෙසක් වසා සිටින පොල් ගස් යායෙන් වැසී ඇති නමුත් රට අභ්‍යන්තරයට නෙරා ඇති ඉවුරු අසබඩ පොල් ගස් දක්නට නොලැබෙයි . ඉවුර අද්දර වැවී ඇති විවිධ වර්ගවලට අයත් අනිකුත් ගස්වලින් ඒ අඩුව සපිරිමින් විවිධත්වයෙන් පරිපූර්ණ සුන්දරත්වයක් ජලාශයේ ඉවුරට ආරෝපණය වෙයි." යනුවෙනි.
මෙම ඔය දෙවන ලෝක යුද්ධයේදී මිත්‍ර පාක්ෂිකයින්ගේ නාවික තොටුපළක් ලෙස ද තිබිණ. මෙහි යුද ගුවන් යානා බැස්ස වුව ද බැස්ස වූ ගුවන් යානා නොපෙෙනන ලෙස තබා ගැනීමට ඔයෙහි වූ කඩොලාන මහත් මෙහෙයක් වූ බව යුද ඉතිහාසය පෙන්වා දෙයි. එසේ සඟවා තැබූ ස්ථාන කිස්ස යන නමින් හැඳින්වූ බව ද සඳහන් වේ.
ගාල්ල සිට මාතර දක්වා දිවෙන මහා මාර්ගයේ විත් හබරාදුව මංසන්ධිය පසු කර මඳක් මාතරට යන විට නෙත ගැටෙනුයේ කොග්ගල ගුවන් හමුදා කඳවුරු භූමියට පිවිසෙන ස්ථානයයි. මෙම ස්ථානය ලෝකයේ ඇති අති දුර්ලභම වූ මාර්ග පහක් එකට එකතු කරන එකම මංසන්ධිය ලෙස ප්‍රසිද්ධය. උඩින් යන ගුවන් මාර්ගය, බිමින් ඇදෙන මහා මාර්ගය, ඒ සමඟම වූ දුම්ර්ය මාර්ගය, මීට සාපේක්ෂව යන නාවුක මාර්ගය සහ පදිකයින් සඳහා වෙන්වුණු පදික මාර්ගය යන මාර්ග පහ මේ ආකාරයෙන් මෙම ස්ථානයේදී එකට එක් වේ. එතැන් සිට එක එල්ලේ බලන කල දිස්වන මහා ගල් කුළ අපේ මුතුන් මිත්තන් ඉර හඳ ඇදහූ යුගය කරා ගෙන යයි. එහි ඇති මහ දෙවොල ඉරුගල් දේවාලයයි.
නන්දසිරි වැලිගමගේ
නව අදහස දක්වන්න