අපි රෑ පොඩි පාටියක් දැම්මා: ඒක ඉවර වෙලා අපට ඉංග්‍රීසිත් උගන්නලා ගෙදර යනකොට තමයි මේ අනතුර වෙලා තියෙන්නේ | දිනමිණ

අපි රෑ පොඩි පාටියක් දැම්මා: ඒක ඉවර වෙලා අපට ඉංග්‍රීසිත් උගන්නලා ගෙදර යනකොට තමයි මේ අනතුර වෙලා තියෙන්නේ

මියගිය තරුණයා

සොරොව්වට වැටී මියගිය තරුණයාගේ මරණ පරීක්ෂණය:

මියගිය තරුණයාගේ මිතුරෙක් කියයි

“තරුෂිකගේ උපන්දිනයට අපි පොඩි පාටියක් දැම්මා. පාටිය ඉවර වෙලා අපට ඉංග්‍රීසිත් උගන්නලා තමයි එයා රෑ ගෙදර ගියේ. ගෙදර යන අතරේ දී තමයි මේ අනතුර වෙලා තියෙන්නේ” යැයි පසුගිය 22 දා අලුයම ගාල්ල, වක්වැල්ලේ දී යතුරුපැදියක් ගිං ගඟ සොරොව්වේ වැදී ජලයට වැටී මියගිය තරුණයාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දුන් ඔහුගේ මිතුරකු කීවේය.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, ගිනිමැල්ලගහ පදිංචිව සිටි තරුෂික ජනාධි පණ්ඩිත නමැති 23 හැවිරිදි තරුණයෙකි. මේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ දී නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පසුගිය 22 වැනිදා පැවැත්විණි.

එහි දී සාක්ෂි දුන් කොස්ගොඩ ආචාරිගේ විසල් මනූෂ (19) මෙසේ කීවේය.

“මියගොස් සිටින්නේ මගේ යාළුවෙක්. එයා මගේ පුංචි අම්මාගේ දුව සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වුවා. ඒ නිසා වසර තුනකට පෙර අපි දැන හඳුනාගත්තා. තරුෂිකගේ උපන්දිනය තිබුණේ පසුගිය 20 වැනිදා. ඊට පසුවදා, එනම් 21 වැනිදා එයා අපේ ගෙදර ආවාම අපි තවත් යාළුවෝ තුන්දෙනෙක් එකතු වෙලා අපේ ගෙදර පාටියක් දැම්මා. මත්පැන් පානය කළා. තරුෂික එදා රාත්‍රී අපට විනාඩි 45ක් විතර ඉංග්‍රීසි උගන්වලා තමයි පිටත් වුණේ. එයා කිව්වේ තල්ගම්පල සීයලාගේ ගෙදර යනවා කියලා. නමුත් ගිහින් තියෙන්නේ එයාගේ ගෙදරට. රෑ දොළහට විතර, තරුෂික යාළු වෙලා ඉන්න මගේ පුංචි අම්මාගේ දුවගෙන් කෝල් එකක් ආවා. තරුෂික වක්වැල්ලේ දී අනතුරට පත්වෙලා කියලා. අපි ඒ වෙලාවෙම කරාපිටිය රෝහලට ගියා. එතකොට හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු වටවෙලා තරුෂිකට ප්‍රතිකාර කරනවා. අපි ගෙදර යන්නේ නැතිව රෝහලේම රැඳී සිටියා. උදේ 5.15ට විතර තරුෂික මියගිය බව දැනගත්තා.”

මියගිය තරුෂිකගේ පියා ලක්ෂ්මන් වීරසිරි පණ්ඩිත (59) සාක්ෂි දෙමින් මෙසේ කීවේය.

“මියගොස් සිටින්නේ මගේ වැඩිමල් පුතා. එයා තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හදාරලා හිටියේ. එයා 21 වැනිදා උදේ 10.00ට විතර මගේ දෙවැනි පුතා සමඟ රියැදුරු බලපත්‍රයට වෛද්‍ය සහතිකය ගන්න ගියා. මල්ලිව බස් එකේ ගෙදර එවලා තිබුණා. තරුෂික පුතා රෑ වෙනකල් ගෙදර ආවේ නැති නිසා මම රාත්‍රී 10.30ට විතර කෝල් එකක් අරගෙන ඇහුවා ගෙදර එනවා ද කියා. එන බව කීවා. පසුව 12.15ට විතර අපේ නිවස කිට්ටුව කෙනෙක් පුතාගේ ජාතික හැඳුනුම්පත අරගෙන ඇවිත් ඇහුවා මේ පුතා නේද කියලා. මම ඔව් කිව්වාම කිව්වා පුතා රෑ එද්දී වක්වැල්ල සොරොව්වට වැටිලා කියලා. ඒ වෙලාවෙම අපි කරාපිටියට ගියා. එතකොටත් පුතාට පණ තිබුණා. වෛද්‍යවරු ප්‍රතිකාර කළා. ඒ වෙලාවේ වෛද්‍යවරු කීවා පුතාගේ පෙණහලුවලට වතුර ගිහින්, ඒ නිසා තත්ත්වය බරපතළයි කියලා. උදේ 5.15ට විතර දැනගත්තා පුතා මියගිය බව. පුතාගේ මරණය ගැන සැකයක් නෑ. අනතුර හේතුවෙන් ඔහු මිය යන්නට ඇතැයි සිතනවා.”

පෝද්දල පොලිසිය මේ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුසාහැන්නදි මහත්මියගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ හදිසි මරණ පරීක්ෂකවරයා මරණය සිදුව ඇත්තේ දියේ ගිලීමෙන් බව නිගමනය කළේය. සිරුරේ ස්ථාන කීපයක සුළු තුවාල ඇති බව ද වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත.

පෝද්දල පොලිසිය පවසන්නේ රාත්‍රියේ අධික වේගයන් පැමිණි යතුරුපැදිය වක්වැල්ල ගංවතුර බැම්ම ආරම්භක ස්ථානයේ ඇති සොරොව්වේ කණුවක වැදී මේ තරුණයා ජලයට වැටී ඇති බවයි. ඔහු විනාඩි කීපයක් ජලයේ ගිලෙමින් සිට ඇති බවත් මාර්ගයේ ගමන් ගත් අයකු අනතුරට ලක්ව පෙරැළී තිබූ යතුරුපැදිය දැක සොයා බැලීමේ දී ජලයේ ගිලෙමින් සිටි තරුණයා දැක ප්‍රදේශවාසීන්ගේ ද සහායෙන් ගොඩට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

පෝද්දල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කරාපිටිය සමූහ - එස්. ලොකුකරවිට

නව අදහස දක්වන්න