කොටිකාවත්ත ත්‍රිරෝද කොල්ලකන තරුණිය ඇතුළු කල්ලිය අල්ලයි | දිනමිණ

කොටිකාවත්ත ත්‍රිරෝද කොල්ලකන තරුණිය ඇතුළු කල්ලිය අල්ලයි

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවලට ගොඩ වී පාළු ස්ථානයකට රැගෙන ගොස් රියැදුරන්ගේ ගෙලට තියුණු ආයුධයක් තබා පහරදී ඔවුන් සතු දේපොළ හා ත්‍රිරෝද රථ කොල්ලකන 18 හැවිරිදි තරුණිය ඇතුළු කොල්ල කල්ලියේ සාමාජිකයන් සිව් දෙනා ඊයේ (23) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

කොටිකාවත්ත කුඩු තිප්පොළක සැඟවී සිටියදී ලද තොරතුරකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, අවිවාහක මේ තරුණිය මාස තුනක ගැබිනියක් බවද පොලිසිය පවසයි.

තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති මේ කල්ලිය මත් කුඩු පාවිච්චි කිරීම සඳහා මෙලෙස කොල්ලකෑම් කරන අතර, මේ තරුණියට දිනකට කුඩු ග්රෑම් එකක් අවශ්‍ය කරන බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මොවුන් සන්තකයේ තිබී ත්‍රිරෝද රථ දෙකක්, කඩු දෙකක්, කිනිස්සක්, විවිධ වර්ගයේ ජංගම දුරකතන දහයකට ආසන්න ප්‍රමාණයක් කරාඹු ජෝඩුවක්, රන් මුද්දක් සොයා ගැනීමට හැකි වී තිබේ.

මේ තරුණිය සමඟ කල්ලියේ සාමාජිකයන් දෙනෙක් නිතරම රාත්‍රි 6 සිට 7 1/ 2 අතර කාලයේ වැලිකඩ වැල්ලම්පිටිය මාර්ගයට පැමිණ කොටිකාවත්තට යෑමට වුවමනා බව පවසා මඟ යන ත්‍රිරෝද රථ නතර කර කුලී ගමන් යන මුවාවෙන් පාළු ස්ථානයකට රැගෙන ගොස් රියැදුරන්ට පහර දී මේ අපරාධ කර ඇති බව අනාවරණය වී තිබේ.

මොවුන් කර ඇති අපරාධ 09ක තොරතුරු අනාවරණය වී ඇති අතර, ඉන් පහක් ත්‍රිරෝද රථ බවත් ඉන් දෙකක් කොල්ලකැම් කිරීමට පාවිච්චි කරන බවත් ඉතිරි ත්‍රිරෝද රථවල කොටස් ගලවාගෙන මහ මඟ දමා ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.

මේ තරුණිය අම්පාර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ආටිගල, කොටිකාවත්ත, අම්පාර යන ප්‍රදේශවල පදිංචි අනෙක් සැකකරුවන් අවු 22 හා 37 අතර වයස්වල පසුවන අය බව පොලිසිය පවසයි.

බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ රොහාන් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර, පොලිස් සැරයන් 40248 ප්‍රසන්න, පොලිස් කොස්තාපල්වරුන් වන 84762 කුමාර, 72338 ලලන්ත, 72979 චමින්ද, 81800 චමීර, 69598 අනිල් යන නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන කළහ.

නව අදහස දක්වන්න