තමන්ට ඇති හැකි පමණින් යමක් වගා කරන්නට යෝජනා කළ විට බොහෝ දෙනෙක් දහසක් ගැටලු ඉදිරිපත් කරති. ඉඩකඩම්, කාල වේලාව, පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය, බීජ හා රෝපණ ද්‍රව්‍ය, වන සතුන්ගේ හානි, කාලගුණ හා දේශගුණික තත්ත්වයන් වැනි අනේකවිධ ප්‍රශ්න පිළිබඳව කතා කරති. මෙම සියලු ප්‍රශ්නවලට අභියෝග කරමින් රජයේ කාර්යාල භූමියක, රාජකාරිය අකුරටම ඉටු කරමින් ආදර්ශවත් වගාවක් කරන්නට හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්යාල කාර්ය සහායිකාවක වන ඉන්දිරා ලිලානි මහත්මිය සමත්ව සිටින්නීය.
හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් අංශයේ කාර්යාල කාර්ය සහායිකාවක වන ඉන්දිරා ලිලානි මහත්මිය රාජ්‍ය සේවිකාවක, මවක මෙන්ම ඉතා දක්ෂ ගෙවිලියක ලෙස දස්කම් දක්වන්නීය. 2006 වර්ෂයේ හොරණ, මාපුටුගල සාගර පළන්සූරිය විද්‍යාලයේ සහ කළුපහන කනිෂ්ඨ විද්‍යාලවල ඇය සේවය කර තිබේ. කළුපහන විද්‍යාලයේ අක්කර හයක පමණ විශාල හිස් ඉඩම වගා බිමක් කරන්නට ද ඇය සමත් වූවාය.
ඉදිරියේදී රටේ සාගතයක් ඇති වේ යැයි අනාවැකි පළ කෙරෙමින් තිබෙන නිසා මේ දිනවල හැම දෙනාගේම කතාබහ වගා කිරීම, නැතහොත් ගෙවතු වගා කිරීම පිළිබඳවය. සාගතයක් ඇති වේ යැයි බියෙන් රටේ මහජනතාව වගා කරන්නට කතා බහ කළ ද තමන්ට හැකි පමණින් කුඩා පරිමාණයෙන් හෝ වගා කර ගැනීම තමන්ගේත් පවුලේ සාමාජිකයින්ගේත් ශරීර සෞඛ්‍යයටත්, තමන්ගේ පසුම්බියටත් විශාල වාසියකි.
ඉඩකඩ නැති බිමක වුව ද වගා කළ හැකි බව මනාව ඔප්පු කර ඇති
ඉන්දිරා ලිලානි මහත්මිය තමන් කරනු ලබන වගාව ගැන පැවසුවේ මෙවන් අදහසකි.
“කළුපහන විද්‍යාලයට අක්කර හයක පමණ ඉඩමක් තිබුණා. ඒ ඉඩමෙ වගා කිරීම මගේ රාජකාරිය නෙමෙයි. ඒත් පාසලේ කාර්යාල කාර්ය සහායිකාවක විදිහට රාජකාරි වේලාවෙන් අමතරව පාසලේ මේ ඉඩම වගා කරන්න විදුහල්පතිතුමා මඟින් පළාත් අධ්‍යක්ෂකතුමාගෙන් අවසර ගත්තා. එහෙම කරල ඒක පළාතේ හොඳම පාසල් ගෙවත්ත විදිහට ප්‍රථම තැන දිනුවා. පාසලේ දරුවන්, ප්‍රදේශයේ මවුපියන්, ගුරුවරුන් මේ ආදි සියලු දෙනා තම තමන්ගේ ගෙවත්ත වගා කරන්න කළුපහන විද්‍යාලයේ ගෙවතු වගාවට හැකි වුණා. ඊට අමතරව කෘෂිකර්මය සහ වගා කටයුතු පිළිබඳව ගන්නෝරුවට ගිහිල්ලා පුහුණුවක් ලබා ගන්නත් එමඟින් අවස්ථාව ලැබුණා."
2019 වසරේදී ඉන්දිරා ලිලානි මහත්මියට ලැබුණු ස්ථාන මාරුවෙන් හොරණ කලාප අධ්‍යාපන කාර්යාලය සිය සේවා ස්ථානය කර ගත්තාය. කොන්ක්‍රීට් ගොඩනැඟිලි අතර තිබුණු මල් පැළ වෙනුවට කලාප කාර්යාල භූමියේ වගා කරන්නට සිතුවිල්ලක් පහළ වුව ද එවක පැවති කොවිඩ් වසංගතය ඊට හරස් විය. සිය රාජකාරිය අකුරටම ඉටු කරන ලිලානි කලාප කාර්යාල භූමියේ කොන්ක්‍රීට් ගොඩනැඟිලි අතර ආදර්ශ වගාවක් කිරීමේ අදහස තම සේවා ප්‍රධානී ගිණුම් අංශයේ මල්ලිකාරත්න මහතාට දැනුම් දුන්නාය. ඔහු මේ සඳහා දැඩි කැමැත්තක් දැක්වූ පසු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩ්.එල්.වී.කේ. ජාසිංහ මහතාගේ පූර්ණ අවසරයෙන් සිය වැඩ කටයුතු ආරම්භ කළාය.
"මම උදේ පාන්දර හතරට අවදි වෙලා සැමියාට දරුවන්ට කෑම බිම හදලා හයට විතර කලාප කාර්යාලයට එනවා. මගේ රාජකාරි ආරම්භ වෙන්නෙ උදේ 8.00ට. එතෙක් පැය දෙකක් විතර මම වගා කටයුතු කරනවා. හවස සේවය අවසන් වෙලා හයහමාර වෙනකම් වගාවේ යෙදෙනවා. ඊට අමතර රජයේ නිවාඩු, සෙනසුරාදා, ඉරිද දවස්වල ඇවිත් මම මේවා කරනවා. මේ කටයුතු සඳහා මගේ සාමාන්‍ය රාජකාරි වෙලාවෙන් මොහොතක්වත් ගත්තෙ නැහැ. ඒ වගේම නිවාඩු දින හා අමතර කාලය වැඩ කළා කියල අතිකාල අරගෙනත් නැහැ. මේ වගා කටයුතු සඳහා කිසිදු ආයතනයකින් වෙනම මුදලක් වැය කරලත් නැහැ."
ආහාර හිඟයක් හෝ සාගතයක් පිළිබඳ බියක් ඇති වන්නට පෙර කිසිවකුගේත් ඉල්ලීමකට, තරග කර සහතික සම්මාන, තෑගි භෝග කිසිවක් බලාපොරොත්තු නැතිව මීට හය මාසයකට පෙර හොරණ කලාප කාර්යාල භූමියේ ආරම්භ කළ වගාව මේ වන විට ඉතා සාර්ථකව පල දරමින් තිබේ.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දිරා ලිලානි මහත්මිය, “මෙතැන ලොකුවට ඉඩක් නැහැ. ගල්, බොරලු අයින් කරලා, ඉවත දමන බෑග්, බෝතල්, ටයර්, වැහි පීලි කෑලි එහෙම යොදා ගෙන උඩරට පහතරට එළවළු වර්ග වන වැටකොළු, පතෝල, දඹල, මෑ, කරවිල, නිවිති, ගොටුකොළ, මුගුණුවැන්න ඉතා සාර්ථකව වගා කර තිබෙනවා. "
නව අදහස දක්වන්න