රජ වංශේ සියක්කාරයෝ | දිනමිණ

රජ වංශේ සියක්කාරයෝ

නෙතට රසඳුනක් දිය නොහැකි ඒකාකාරී පාරිසරික නිරීක්ෂණයන් අතරට නවමු බලාපොරොත්තුවක් එක් කරන දසුනක් කලපු ඇසුරේදී දැක ගත හැකි වීම නම් සිතේ ඇති කරන්නේ සහනයකි. ඒ කටුක පාරිසරික කලාපයකට වුව සොබාදහමේ කාරුණිකත්වය සැමදා හිමි බවට වන ජීවමාන සාක්ෂියක් ඇස් අභිමුව විද්‍යාමානව ඇත. සිරිලක් විහඟ සිතුවම විචිත්‍රත්වයෙන් පිරවීමට සමත්කම් පාන්නන් පිළිබඳ පුවත පරිසර ලෝලීන්ට නම් නොරහසකි. එබැවින් දෝ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගත් පාරිසරික කලාපයක් බවට නැඟෙනහිර වෙරළට වන්නට පිහිටා ඇති මුලතිව් සිට බටහිර වෙරළට වන්නට පිහිටා ඇති මන්නාරම තෙක් තිරස් අතට රේඛාවක් ගසා අධ්‍යයන පහසුව පිණිස බෙදා ගත් කල ඉන් ඉහළට වන්නට පිහිටා ඇති උතුරුකරය පත් වන්නේ නිසගයෙනි.

වැඩිමනත්ම කුරුලු ලෝලීන්ගේ පාරාදීසයක් ලෙසට වසරේ මුල-මැද-අග බේදයකින් තොරව උතුරුකරය පත් වන්නේය. එයට හේතු වී ඇත්තේ අපේ රටට පැමිණෙන සංචාරක පක්ෂීන් අතර දිලෙන ගිනි සිළු ලෙස විරුදාවලිය ලත් රජ සියක්කාරයා නමැති නාමකරණයෙන් හඳුන්වන විහඟුන් විසල් රැළ ලෙසින් උතුරුකරයේ කලපු පාරිසරික කලාපයන් ආශ්‍රිතව ලැගුම් ගැනීමය. සංඛ්‍යාත්මකව නම් ඒ කුරුලු රැළේ සාමාජිකයින් 3000 කට ආසන්න ගණනින් වාර්තා වේ. මුල් අවදියේ අප්‍රිකා මහද්විපය නිජබිම කර ගෙන ජීවත් වූ සියක්කාරයන් ඉන්දියාව, පාකිස්තානය, ස්පාඤ්ඤය, ඇල්බේනියාව, ප්‍රංශය, තුර්කිය, ග්‍රීසිය, පෘතුගාලය, ඉතාලිය දක්වාම පුළුල් වූ ව්‍යාප්තියක් පෙන්වයි.

උදෑසන හිරු උතුරුකරයට බැලුම් ලද්දී රාත්‍රියට තමන් ලැග සිටි තාවකාලික ලැගුම් පළවල්වලින් නික්මෙන අපූරු හැඩකාර විහඟුන් යාපනය පුරා විසිරුණු කලපු වෙත පාත් වෙන්නේ ගුවන් යානයක් උඩු ගුවනේ සිට පොළොවට පාත් කරන්නාක් හා සමැවූ නිසි ක්‍රමවේදයකට අනුවය. කලපු වටා රවුම් කිහිපයක් ගසමින් කරක් ගැසූ සියක්කාරයින් වරෙකට සියයකට ආසන්න වූ රැළක් ලෙස තමන් විසින් තෝරා ගත් කරදිය පිරි ලියැදි වෙත පාත් වන්නේ ගුවන් හරඹයන් මනාව ප්‍රකට කළ ඇත්තන් බව දුටු සිතක් ජනිත කරවමිනි. ගුවනේ සිට පැමිණි පිම්ම ජල තලයට පාත් වන්නේ ජල තලය මතත් පියවර කිහිපයක් පෙරට ඇදී යමින්. ඒ අයුරින් අවස්ථා කිහිපයකදී කණ්ඩායම් කිහිපයක්ම එක් ස්ථානයක්ට රැස් වෙමින් හරි බරි ගැහෙන්නේ දවස පුරාවටම ඒ ගොදුරු බිම තමන්ගේ ආධිපත්‍යයට නතු කර ගනිමිනි.

අවමය තුන් දහසේ සිට උපරිමය විසිදහසක්, තිස් දහසක් වුව ද විය හැකි සියක්කාරයින් සෑම විටෙකදීම විසල් රංචු වශයෙන් ගැවසීමට ප්‍රිය කරයි. තමන් උපන් බිමේ සිට පර්යටන බිම් සොයා මේ අය ඇදී එන්නේ ද මේ ආකාරයේ විසල් රැළ ලෙසටය. ඒ අතරේ තම නිජ බිම මතදී කැදලි තනා බිජු දමා පැටවුන් තනා උස් මහත් කර ගත් වැඩි වියට පත් නොවූ ගැටවරයෝ ද සිටිති. මේ නවකයින්ගේ මඟපෙන්වන්නන් බවට පත් වන්නේ අත්දැකීම් බහුල වැඩිහිටි කුරුල්ලෝය. සියක්කාරයින්ගේ රැළක් යනු පවුල් ඒකක කිහිපයකින්ම සැදුම් ලත් විසල් කණ්ඩායමකි. මෙම විශේෂයට අයත් පක්ෂීන්ගේ කැපී පෙනෙන හැසිරීම් රටාවක් සේ උපන් දා සිට ජීවිතයේ අවසානය දක්වාම සියල්ලම එකටම සිදු කිරීම, නැතිනම් අනෝන්‍ය සබැඳියාව ප්‍රකට හැසිරීම් රටාවක් සේ හැඳින්විය හැකිය. සියක්කාරයින් එකට සිටින කල එවැනි ස්ථානයන් හඳුන්වන්නේ සියක්කාරයින්ගේ නගරයක් (Flamingo Cities) යන අනුවර්ත නාමයෙනි.

සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 110 ත් 150 ත් අතර වූ වර්ධනීය තත්ත්වයක් වැඩුණු සියක්කාර පක්ෂියකුට හිමි වේ. සියක්කාර කිරිල්ලියක් වරකට බිත්තර 03-04 ත් අතර ප්‍රමාණයක් දමන අතර ඒ සඳහා තම ජන්ම බිමම තෝරා ගනී. තෙත් පසෙහි (මඩ) උස් වූ ගොඩැල්ලක් තනා ඒ මත බිජු ලන අතර මාපිය දෙපාර්ශ්වයම බීජෞෂ්ණ සහ පැටවුන් පෝෂණය සිදු කරයි. බිම්වාසීව ගැවසීමට රුචි විහඟ කාණ්ඩයකි. ලවණ හෝ කිවුල් දිය සහිත නොගැඹුරු කලපු ආශ්‍රිතව ගැවසෙන මේ පක්ෂීන්ට සිංහල ව්‍යවහාරයේ සඳහන් වන පරිදි සියක්කාරයා යන නම භාවිතයට පැමිණ ඇත්තේ ජලයේ බැස සෑම දෙනාම එකා වන්ව දිගු බෙලි වතුර යට ඔබා ගෙන එක පැත්තට ගමන් කරන්නේ සී සෑමේ ක්‍රියාකාරකම් දුටු සිතක ජනිත කරවමිනි. සුදු පැහැ පසුබිමේ දිව යන රෝස මුසු රතු පැහැ වර්ණයන් සියක්කාරයින්ගේ සිරුරු වෙත දී ඇත්තේ අපූර්වත්වයකි.

අපේ රටට පැමිණෙද්දි සුදු පැහැ සදිසි කුරුල්ලන් පෙරළා තමන්ගේ නිජබිම් වෙත යන්නේ රතු සහ රෝස පැහැයෙන් බබළමිනි. එයට හේතුව වන්නේ මොවුන්ගේ ආහාර පුරුදුය.

 

සියක්කාරයින් ජලයේ හිස ඔබා ගෙන ජලය කලතමින් සොයන්නේ කුඩා මෘද්වංගීන්, කවචයන්, නීලහරිත බැක්ටීරියා සහ ඩයටම වැනි කුඩා ශාක විශේෂයන්ය. එම ආහාර වර්ග ජලයෙන් පෙරා ගැනීම සඳහාම සියක්කාරයින්ගේ හොට ද හැඩ ගැසී ඇත. හොටේ උඩු හා යටි හනු දෙකේ දාරවල එකිනෙකට සමාන්තරව පිහිටා ඇති සූස්තර (Lamellae) බොහෝ සේ පිහිටා ඇති අගින් නැමි වක් වූ හොට තුළට ගන්නා ජලයේ ඇති පෙර සඳහන් කළ ආහාර වර්ග පෙරා බුදීම සඳහා මෙම පිහිටීම වැදගත් වේ. මේ සූස්තර තුළින් ජලය ඉවතටත්, ඉතිරි වන ආහාර හොට හරහා මුව තුළටත් රැගෙන යෑමට පිහිට වන්නේ දිගු දිවයි.

එහි ක්‍රියාකාරීත්වය පිස්ටනයක් බඳුය. කූණිස්සන්, කවචමය ආහාර ආදියේ අන්තර්ගත කැරටිනොයිඩ් වර්ණක මඟින් සියක්කාරයාට දිලෙන සුලු රෝස, රතුවන් පැහැය සපයා දේ.

සියක්කාරයා හැඳින්වීමට ඉංග්‍රීසි වහරේ එන Flamingo ‍යන්න භාවිතයට පැමිණ ඇත්තේ ස්පාඤඤ Flamenco උරුවයි. ලතින් බසින් Flamma යන්නෙන් අදහස් වන්නේ දැවෙන ගිනි (Flame) සිළුවයි. වර්ණවත් වූ සියක්කාරයින් ද එක පෙළට දිස් වන්නේ දැවෙන ගිනිසිළු හා සමවය. උතුරු අර්ධගෝලය තුළ ව්‍යාප්ත සීතල අධික භූමි ඇසුරේ දිවි ගෙවන බොහෝ විහඟ විශේෂයන්ගේ සංක්‍රමණික ගොදුරු බිම වන්නේ අපේ රටයි කියන පණිවුඩය ශ්‍රී ලාංකික අප සැමටම ආඩම්බරයක් නොවන්නේ ද? අවැසි වන්නේ මේ ආඩම්බරය සදාකල් සුරක්ෂිත කර ගනු වස් පරිසර හිතකාමීත්වය පෙරදැරිව කටයුතු කිරීමට සිතට ගනිමු.

 සටහන සහ ඡායාරූප සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික

නව අදහස දක්වන්න