මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි බලකඩුව ඇල්ල සිට බැලූ විට ඈත පෙනෙන කඳු මුදුණේ ගසක් දිස් වේ. ඒ නමින් පන්සලාතැන්න - මාඋස්සාව පාරිසරික ආරක්ෂක ප්‍රදේශයයි. පන්සලාතැන්න - මාඋස්සාව යනු පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් සංවේදී පරිසර කලාපයකි. මාතලේ - මහනුවර, වරකාමුර මාර්ගයේ ගමන් කරන විට බලකඩුව පාලමේ සිට කිලෝමීටර් 11 ක් පමණ ඉහළට ගිය විට මෙහි ළඟා විය හැකිය. ගමන ආරම්භ කිරීමට සිදු වන්නේ ද දේදුනු පාලම යනුවෙන් හඳුන්වනු ලබන පාලමක් මතිනි. පන්සලාතැන්න ආරක්ෂක ප්‍රදේශය අඩි 2297 ක් උසකින් යුක්තය. පන්සලාතැන්න - මාඋස්සාව පාරිසරික ආරක්ෂක ප්‍රදේශය මධ්‍යම පරිසර අධිකාරිය මඟින් 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ප්‍රකාශයට පත් කරන ලද පාරිසරික ආරක්ෂක ප්‍රදේශයකි.
වතු කම්කරුවන්ගේ ලැයිම් ගෙවල් පසු කර අඩි පාර දිගේ යන විට වාහන ගමන් කළ හැකි අබලන් වූ මාර්ගයක් හමු වනු ඇත. එතැන් පටන් ගමන තරමක් වෙහෙසකර වුවද තුරුලතා මැදින් ඉදිරියට යන ගමන සුන්දරය. තුරුපතර අතරින් ඈතට වන්නට, වන තුරුලතා දැක ගත හැකිය. මෙම ගමනේදී නැග්මට අමතරව තැනිතලා බිම් ද හමු වේ. ගමන අවසානයට ළඟා වන විට තෙප්පුකුලම වැව හමු වනු ඇත. එහෙත් එහි දිය නෑම අවදානම් සහගතය. ඒ බව සඳහන් පුවරුවක් ද සංචාරකයන් දැනුම්වත් කිරීමට දක්වා ඇත. තෙප්පුකුලම වැව් බැම්ම මත වාඩිගෙන අවට පරිසරය විඳිය හැකිය. නිසලව දිස් වන වැව පරිසරයේ ස්වභාව සෞන්දර්යය මනාව පිළිබිඹු කරනු ඇත. මානා පඳුරු ගැලවී යන්නට තරම් මෙහි සුළඟ සැඩපරුෂය. මෙම පරිසර පද්ධතියට ආවේණික වූ පක්ෂීන් ද, සතුන් ද කඳුවැටියට ගෙන දෙන්නේ අලංකාරයකි.
ගස් වැල් පසු කරමින් තරණය කරන ගමන අපහසු වුවද, එහි ගමනාන්තය අපූරු අත්දැකීමක් වනු ඇත. ඒ අනුව මෙහි විනෝදය පමණක්ම නොව නව ඉසව් සොයා යන ගවේෂණාත්මක ගමන් බොහෝ විට සුන්දරය. එසේම එහි ගමන් මඟ අතිශය දුෂ්කර වුව ද එහි අවසන් දැක්ම සිතට හා ගතට ගෙන එන්නේ අපූරු අභිමානයකි. ඒ අනුව පන්සලාතැන්න - මාඋස්සාව කඳු මුදුණ පසෙකින් වූ කඳු මුදුන සහ පරිසරය දුටු විට කෙතරම් මහන්සිය දැනුණ ද කන්ද මුදුනටම නැඟීමට සිතිවිලි පහළ වේ. කන්ද මුදුනත සිට ඈතින් හුන්නස්ගිරිය කඳු පන්තිය හරි අපූරුවට දැක ගත හැකිය. එමෙන්ම පන්සලාතැන්න මුදුනත තනි බෝ ගසක් ඇත. මුදුණෙහි සිට හරිත වන තීරය දිස්වන්නේ දෙව් ලොවක සේයාවන් දෑස් මානයට රැගෙන එමිනි. හැම අතකම නිල්වන් කඳුවැටි මිටියාවත්ය.
පන්සලාතැන්න - මාඋස්සාව පාරිසරික ආරක්ෂක ප්‍රදේශයේ ස්වාභාවික සුන්දරත්වය විඳගන්නට පැමිණෙන විට පිළිපැදිය යුතු කරුණු මෙහි පුවරුවේ සඳහන් වේ. ඒ අනුව මෙහි පැමිණීමේදී දුම්පානය මත්පැන් පානය ද තහනම් වන අතර, කසළ බැහැර කිරීම, පොලිතීන් භාවිතය ද තහනම් වේ.
කෙසේ වුවද වර්තමානය වන විට මිනිස් ක්‍රියාකාරකම් නිසා පන්සලාතැන්න - මාඋස්සාව පාරිසරික ආරක්ෂක පද්ධති දෙක දැඩි අනතුරු සහගත තත්ත්වයකට ලක්ව ඇත. ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව වර්ග කීපයකට වාස භූමිය වන මෙම කලාපය අනාගතය සඳහා ආරක්ෂා කර ගැනීම අප සැමගේ යුතුකම හා වගකීමය. එමෙන්ම ජෛව විවිධත්වයෙන් යුත් මෙම වැදගත් පරිසර පද්ධති දෙක සුරැකීම අප කාගේත් වගකීමක් වනු ඇත.
සටහන සහ ඡායාරූප එම්.තාරික්
සංස්කරණය - චතුමී පිටිපන
නව අදහස දක්වන්න