වරද පිළිගත් සක්විති සහ බිරිය දඩ මුදල් ගෙවති | දිනමිණ

වරද පිළිගත් සක්විති සහ බිරිය දඩ මුදල් ගෙවති

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු අධි චෝදනා එකොළහකට වරද පිළිගත් ප්‍රකට උපකාරක පන්ති ගුරුවරයකු වන සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය මහාධිකරණය මඟින් පෙරේදා (14) නියම කළ දඩ මුදල් ලෙස රුපියල් ලක්ෂ 3ක මුදලක් ඊයේ (15) ගෙවා නිම කළහ.

තන්ගවේළු නමැත්තා නමින් අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර සන්තකයේ තබා ගැනීම, ඉන්දියාවේ බැංකු නිකුත් කරන ගෝල්ඩ්වීසා අන්තර්ජාතික ණය සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා 11ට සක්විති රණසිංහ මහතා වරද පිළිගත් අතර, ඊට අදළව දඩ මුදල් පෙරේදා (15) අධිකරණයේ තැන්පත් කරන ලෙසද විනිසුරුවරයා දන්වා සිටියේය. ඒ අනුව ඔවුන් මේ දඩ මුදල් ඊයේ (15) ගෙවා නිම කළහ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ගනුදෙනුකරුවන්ට අධික පොලියක් දෙන බවට පවසමින් ජනතා මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ අධි චෝදනා 11කට වරද පිළිගත් සක්විති රණසිංහ මහතාට හා ඔහුගේ බිරියට වසර 5කට අත්හිටුවූ බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිරදඬුවම් කොළඹ මහාධිකරණය පෙරේදා (14) නියම කළේය.

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න