සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි
- නීති විරෝධී මත්පැන් වහා වැළැක්විය යුතුයි
- දේශීය මත්පැන් නිෂ්පාදනයට ගැටලු ගොඩක් තියෙනවා
- මෘදු මත්පැන් බලපත්‍රය ආවට ගියාට දෙන්නේ නෑ
සියවසකට වඩා පැරැණි සුරාබදු ආඥා පනත වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනය කළ යුතු බව පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් යෝජනා විය. විවිධ අඩුලුහුඬුකම් යටතේ පැවැති සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමේ වාසි සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සමඟ කළ සංවාදයකි මේ.
මෙවර අතුරු අයවැයෙන් සුරාබදු ආඥා පනත සංශෝධනයට යෝජනා කළා. ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?
දැනට අප දෙපාර්තමේන්තුව පවතිනුයේ 1912 සුරාබදු ආඥා පනත යටතේයි. එදා මෙදා තුර කාලය තුළ වරින් වර ආඥා පනතේ සංශෝධන ගණනාවක් සිදුකොට තිබෙනවා. සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීම අයවරයෙන් ගත් හොඳම තීරණයක්. එහෙත් වර්තමානයට ගැළපෙන ලෙස පනත සංශෝධනය වීම සුදුසුයි. ඒත්, එය විය යුත්තේ බොහෝ කල්පනාකාරීවයි.
සංශෝධනය සිදු විය යුත්තේ කෙසේද?
සුරාබදු ආඥා පනත සංශෝධනය විය යුත්තේ අප දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධයෙන් ඉහළ දැනුම අවබෝධය තිබෙන, රාජකාරි ඉටු කොට පළපුරුද්ද, අත්දැකීම් තිබෙන සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබා ගෙනයි. ඒ වගේම අප දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කරන ආයතන ගණනාවක් තිබෙනවා. මත්පැන් නිෂ්පාදනය කරන ආයතන, වෘත්තීය සමිති නායකයින් සහ රාජ්‍ය මූල්‍ය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදකයින් එක් සාකච්ඡා මේසයකට පැමිණ ගැඹුරින් කරුණු අධ්‍යයනය කොට මනා අවබෝධයක් ඇතිව පනත සංශෝධනය කිරීම වඩාත් යෝග්‍යයි.
අපේ රටේ මත්පැන් නිෂ්පාදනය කරන ආයතන කොපමණ තිබෙනවාද? ඒවායින් කොපමණ ආදායමක් උපයනවාද?
ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදන ආයතන 23ක් තිබෙනවා. අපේ රටේ මත්පැන් නිෂ්පාදන ආයතනවලින් බදු අය කිරීම අපේ ප්‍රධාන කාර්යයයි. එය ඉටුකර ගැනීමේදී විශේෂ කරුණක් ඉස්මතු වී තිබෙන බව කිව යුතුයි. ඒ තමයි වාර්ෂික සුරාබදු ආදායමෙන් 93%ක මුදලක් ලබා දෙනුයේ ඉහත සඳහන් කළ සමාගම් 23න් 6කිනුයි. වාර්ෂික සුරාබදු ආදායමෙන් 7%ක මුදලක් ලබා දෙනුයේ සෙසු ආයතන 17න් බව කිව යුතුයි.
ස්ටිකර් ඇලවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ කෙසේද?
මත්පැන් නිෂ්පාදනය කරන ආයතන භූමියේදීම බෝතල් මත ‘ස්ටිකර්’ ඇලවීම සිදු කරන නිසා බදු පැහැර හැරීමක් සිදු වීමට ඉඩක් නැහැ. එහෙත් නිෂ්පාදනයේදී, බෙදාහැරීමේදී සහ අවසානයේ පාරිභෝගිකයා අතට පත්වීමේදී යම් අක්‍රමිකතාවක් හෝ වංචාවක් සිදු වීම වැළැක්වීම සඳහා ද වැඩි අවධානයක් යොමු කරනවා.
ඇතැම් ප්‍රදේශවල හොර මත්පැන් තිබෙන බවට වාර්තා වෙනවා. එවැනි දේ තිබේ නම් හඳුනා ගැනීමට, ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි නේද?
ඒ සඳහා අප දැනටමත් ක්‍රමවත් වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබෙනවා. මේ තුළින් ජනතාවටම පුළුවන් තමන් භාවිතයට ගන්නා මත්පැන්වල ප්‍රමිතිය, තත්ත්වය සියැසින්ම දැකබලා ගැනීමට. ඒ සඳහා කළ යුත්තේ සුළු කටයුත්තක්. තමන් අත තිබෙන ජංගම දුරකතන හරහා විදේශීය හොර මත්පැන් හඳුනා ගැනීම සඳහා වැඩි දියුණු කළ මෘදුකාංගයක් (Mobile App) ජූලි මාසයේ 27 හඳුන්වා දුන්නා. එය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළා. දේශීය හොර මත්පැන් හඳුනා ගැනීම සඳහා ද එම මෘදුකාංගය නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
එම මෘදුකාංගය භාවිතයෙන් විදේශීය හොර මත්පැන් හඳුනා ගන්නේ කොහොමද?
ඒ සඳහා කළ යුත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අප හඳුන්වා දුන් ‘App’ එක බාගත කොට ඒ අනුව ක්‍රියා කිරීම පමණයි. එය සරල ක්‍රමවේදයක්.
මත්පැන්වල ප්‍රමිතිය හඳුනා ගැනීම සඳහා ප්‍රමාණවත් රසායනාගාර පහසුකම් තිබෙනවාද?
ඒ සඳහා අප දැනටමත් වෙනත් පාර්ශ්වයන්වල සහාය ලබා ගනිමින් සිටිනවා. ඒත් අපටම කියා මත්පැන්වල ප්‍රමිතිය හඳුනා ගැනීම සඳහා සියලු පහසුකම්වලින් යුතු රසායනාගාරයක් පිහිටුවීමට කටයුතු කරමිනුයි සිටින්නේ. මත්පැන්වල ප්‍රමිතිය හඳුනා ගැනීමට දැනට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, කාර්මික තාක්ෂණික ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැනි ආයතනවල රසායනාගාරවලට යොමු කෙරෙනවා.
මෙවැනි ආයතනයක් පිහිටුවීමේ ඇති වාසිය කුමක්ද?
විවිධ මත්පැන්වලින් ගන්නා සාම්පල් මේ ආයතන වෙත යොමු කොට හැකි ඉක්මනින් ප්‍රමිතිය පිළිබඳ වාර්තා ලබා ගත හැකියි. ඒත් තමන්ටම කියා රසායනාගාරයක් තිබෙන්නේ නම් එම වාර්තා කඩිනමින් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
එය පිහිටුවන්නේ කොහේද?
බියගම ප්‍රදේශයේ පිහිටි අප දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල භූමියේ උඩු මහලේ මෙය ස්ථාපිත කිරීමට සියලු කටයුතු සැලසුම් කොට තිබෙනවා. එහි ඉදිරි කටයුතු ඉක්මනින්ම සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ දිනවල දේශීය මත්පැන් නිෂ්පාදනයේ තත්ත්වය කෙබඳුද?
මේ දිනවල දේශීය මත්පැන් නිෂ්පාදනයේ යම් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ පා සිටිනවා. විශේෂයෙන් අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම දකින්න පුළුවන්. වීදුරු, මූඩි, පැකේජ් ආදි සියලු අමුද්‍රව්‍ය මිල ඉහළ ගිහින් තිබෙනවා. ඉන්ධන මිල වැඩියි. විශේෂයෙන් ඩීසල්, දැවි තෙල් හිඟයක් තිබෙනවා. මෙවැනි ප්‍රධාන කරුණු කිහිපයක් හේතුවෙන් මත්පැන්වලට පවතින ඉල්ලුම අඩු වී තිබෙනවා.
දේශීය මත්පැන් පරිභෝජනයේ අඩු වීමක් දක්නට ලැබෙනවාද?
මත්පැන් නිෂ්පාදන මිල ඉහළ නිසා ඉල්ලුම අඩු වී තිබෙනවා. මේ වන විට කෙටි කාලයක් තුළ අවස්ථා 3කදී මත්පැන් මිල ඉහළ ගියා. ඒ වගේම බදු පැනවීමකුත් සිදු වුණා. මේ නිසා නිෂ්පාදන වියදම ඉහළ ගියා. ජනතාවට තමන්ගේ ආදායම වැඩි වීමක් සිදු වී නැහැ. ගොවිතැන, කර්මාන්ත, සේවා සියල්ල අසීරුතා මැද කරගෙන යෑමට සිදු වී තිබෙනවා. ඒ නිසා මත්පැන් මිල දී ගැනීමේ අඩුවක් දක්නට ලැබෙනවා.
මත්පැන්වල මිල ගණන් ඉහළ යෑම නිසා ඒවාට ඉල්ලුම අඩු වී තිබෙනවා. ජනතාව කසිප්පු වැනි බාල නිෂ්පාදන වෙත යොමු වීමට පටන් ගෙන තිබෙනවා. වෙනදාට වඩා කසිප්පු සඳහා ඉල්ලුමක් ඇති වී තිබෙන බව අපටත් වාර්තා වෙනවා. මේ තත්ත්වය දිගටම පැවැතීම කිසිසේත්ම සුදුසු දෙයක් නොවේ. ඒ නිසා කසිප්පු වැනි නීතිවිරෝධී මත්පැන් ප්‍රවර්ධනය වැළැක්විය යුතුයි. ඒ සඳහා ඔබ දෙපාර්තමේන්තුව සූදානම්ද?
මේවා හැකි තරම් අවම කිරීමට අපි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. සුරාබදු ආඥා පනත, දුම්කොළ බදු ආඥා පනත පමණක් නොවෙයි තවත් නීත්‍යනුකූල පැති ඔස්සේ මෙහෙයුම් සිදු කරමින් මේ ජාවාරම මැඬලීමට අපි ක්‍රියා කරනවා. හෙරොයින්, අසීස්, ගංජා, කේරළ ගංජා ඇතුළු මත්කුඩු ව්‍යාපාර මැඬලීමට ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, අපගේ විශේෂ මෙහෙයුම් ඒකක කටයුතු කරනවා.
මෙවැනි වැටලීම්වලින් පසු වරදකරුවන් වූවන්ගෙන් දඩ මුදල් අය කර ගැනීම් සිදු කරනවා නේද?
එවැනි ආදායම් පළාත් සභා වෙතයි යැවෙන්නේ. දඩ මුදල් ලෙස රුපියල් මිලියන 200ක මුදලක් පසුගිය කාලයේදී ලබා දී තිබෙනවා.
ඉදිරියේදී මේ වසරේ සුරාබදු ආදායම ඉලක්ක කළ ආකාරයෙන් ළඟා කර ගැනීමේ අභියෝගයකට ඔබ දෙපාර්තමේන්තුවට මුහුණදීමට සිදු වෙනවාද?
ඔව්. 2021 වසරේදී ඉතිහාසයේ ඉහළම සුරාබදු ආදායම ලෙස රුපියල් බිලියන 139.9ක ආදායමක් අප ලැබුවා. මේ වසරේදී රුපියල් බිලියන 180ක ආදායමක් උපයා ගැනීමට ඉලක්ක කොට තිබෙනවා. එම මුදලින් මේ වන විට රුපියල් බිලියන 90ක මුදලක් උපයා ගෙන තිබෙනවා. ඉදිරි කාලයේදී සම්පූර්ණ ඉලක්කය ජය ගැනීම අභියෝගයක්. එලෙස ආදායම් එක්රැස් කර ගැනීම කෙතරම් අභියෝගකාරී තත්ත්වයක් මතු කළත් හැකි උපරිමයෙන් එම ඉලක්කය ළඟා කර ගැනීම දෙපාර්තමේන්තුවේ සියලු දෙනාගේම අභිප්‍රායයි.
මේ වන විට කොපමණ ප්‍රමාණයකින් ආදායම් අඩු වීමක් සිදු වෙනවා ද?
මත්පැන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල දිනෙන් දින ඉහළ යෑම, ඩීසල්, දැවිතෙල් හිඟකම, විදුලිබල කප්පාදුව, ජනතාවගේ ආදායම ඉහළ නොයෑම, මත්පැන් සඳහා පවතින ඉල්ලුම 40%කින් අඩු වීම, ප්‍රවාහන හා නිෂ්පාදන වියදම් ඉහළ යෑම නිසා සාමාන්‍යයෙන් දිනකට රුපියල් මිලියන 100ක බදු ආදායමක් අඩු වී තිබෙනවා.
සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා රජය ගත් තීරණයක් අනුව මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීමක් සිදු කරනවා ද?
සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා රජය ගත් නව ප්‍රතිපත්තිමය තීන්දුවට අනුව බලපත්‍ර දීමට සිදු වී තිබෙනවා. එය බලපත්‍ර 2500ක් තරම් විය හැකියි. මේ මෘදු මත්පැන් (බියර් සහ වයින්) අලෙවිය සඳහා සංචාරක කර්මාන්ත ආශ්‍රිත සේවා සපයන ආයතනවලට අවස්ථාව හිමි වීමට නම් ඒවා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී තිබිය යුතුයි. එය අනිවාර්යය කොන්දේසියක්.
ඒ සඳහා බලපත්‍ර ගාස්තු කොපමණද?
එක් බලපත්‍රයක් සඳහා වසරකට අය කරන බලපත්‍ර ගාස්තුව රුපියල් 25,000ක්.
මේවා දෙන්නේ කාටද?
සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන සංචාරක ආකර්ෂණීය කලාප විශේෂයෙන් දකුණු වෙරළ තීරය, ආරුගම්බේ, නිලාවේලි, හික්කඩුව, ඇල්ල, කල්පිටිය, නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසක පිහිටි සංචාරක හෝටල්, අවන්හල් යනාදියටයි මෙලෙස මෘදු මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර දෙන්නේ.
ඒ තුළින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
අපට නිතරම විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා නැඟෙනවා. මෙම බලපත්‍ර දීමත් සමඟ නිතර නිතර තම සේවා ආයතනවල කටයුතු පිළිබඳ පොලිසියෙන්, සුරාබදු දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කිරීම් සිදු කරන බවට නැඟෙන චෝදනාවන් නැති වෙයි. ඉන් සංචාරකයින් අපහසුතාවට පත්වනවා යැයි නැඟෙන මැසිවිල්ල ද අඩු වේ යැයි අප සිතනවා.
සංචාරක ආකර්ෂණ කලාපයන්වල පිහිටි සේවා සපයන ආයතනවලට රජය දුන් සහනය අවභාවිත කරමින් වෙනත් පිරිස් ද මෘදු මත්පැන් බලපත්‍රය කූට ලේඛන සකස් කොට ලබා ගැනීමේ උත්සාහයක් පවතින බවට වාර්තා වෙනවාද?
එවැනි දෙයක් වාර්තා වූ සැණින් ඒ පිළිබඳව සොයා බැලීමට අප සූදානම්.
මේ ආකාරයට මෘදු මත්පැන් බලපත්‍ර දීමට ගත් තීරණය අයුතු ලෙස භාවිත කරමින් සංචාරක කලාපවලින් තොර ප්‍රදේශවල හෝටල් සහ අවන්හල්වලට මෘදු මත්පැන් බලපත්‍ර ලබා ගැනීමට උත්සාහයක් දරන බවට චෝදනාවක් නැඟෙනවා නේද?
ඒ පිළිබඳවත් අප ඍජුවම සොයා බලා ඒවා වැළැක්වීමට නීත්‍යනුකූලව පියවර ගන්නවා.
ජයසිරි මුණසිංහ
නව අදහස දක්වන්න