වඳුරු උණ රෝගයට ලංකාවේ පෙර සූදානමක් | දිනමිණ

වඳුරු උණ රෝගයට ලංකාවේ පෙර සූදානමක්

වඳුරු උණ රෝගයට අවශ්‍ය පෙර සූදානම වෙනුවෙන් පරීක්ෂණ කට්ටල තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද (05) මෙරටට භාර දෙනු ලැබීය. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං  මහත්මිය විසින් මෙම පරීක්ෂණ කට්ටල තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත අද එම අමාත්‍යංශයේ දී බාරදෙනු ලැබීය.
 
පරීක්ෂණ කට්ටල 125ක් පෙර සූදානම වෙනුවෙන් මූලිකව භාරදෙනු ලැබූ අතර එම තොගය වෛද්‍ය පර්යේෂණායතනය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් භාරදීම සිදු කෙරිණි.
 
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියේ කොවිඩ් වසංගතය හමුවේ දැඩි පීඩා විඳි ජනතාව මේ වනවිට යම් සහනයක් ලබා තිබුණ ද යළි එහි වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එන්නත්කරණය තවදුරටත් කඩිනම් කිරීමට පියවර ගැනෙන බවයි
 
වඳුරු උණ රෝගය යුරෝපය හා අප්‍රිකානු රටවල මේ වන විට වේගයෙන් පැතිර යන අතර, අසල්වැසි ඉන්දියාවේද වාර්තා වීමක් පෙන්නුම් කරන බැවින් මෙරට ද එයට පෙර සූදානම වඩාත් වැදගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
සංචාරක ක්ෂේත්‍රයේ යලි නැගිටීමක් පෙන්නුම් කරන මොහොතක වසංගත රෝග පාලනය වඩා වැදගත් යැයි ද විශේෂයෙන් වඳුරු උණ රෝගයට පෙර සූදානම හා සෞඛ්‍ය අංශ ඒ වෙනුවෙන් ශක්තිමත් කර තැබීම වඩාත් වැදගත් යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.
 
එහිදී අදහස් දැක්වූ ආචාර්ය අලාකා සිං මහත්මිය පැවසූයේ මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගය පැතිර යාමක් දක්නට ලැබෙන බවත් එහි ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා යොමු වන නිලධාරීන් පවතින ඉන්ධන ගැටළුව හේතුවෙන් අපහසුතාවයට පත්වන බවක් පෙනී යන්නේ යැයි පෙන්වා දුන් අතර ඒ සඳහා පිළියමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ඉන්ධන සඳහා ආධාර ලබාදීමට හැකි බව පැවසීය.

නව අදහස දක්වන්න