දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සියලු එළවළු වර්ගවල මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් පහළ බැස තිබේ. ප්‍රවාහන දුෂ්කරතා හා වෙළෙඳ තරගය අඩු වීම මීට හේතුව බව ද සඳහන්ය. රටේ සියලු ප්‍රදේශවලට අවශ්‍ය එළවළු තොගවලින් 70%ක් හෝ 75%ක් හෝ දඹුල්ලෙන් සපයන බව ද කියති. එම සූත්‍රයට අනුව ගත හොත් රටේ සියලු පළාත්වල එළවළු මිල ගණන් පහළ යා යුතුය. එහෙත් එවැන්නක් පෙනෙන තෙක් මානයක නැත. කොළඹ එළවළු මිල ගණන් අහස උසට නැඟ තිබේ.
කොළඹ වෙළෙඳ සංගමය පෙන්වා දෙන අන්දමට කිසිම භාණ්ඩයක මිල පහත බැස නැත. එළවළු මිල ගණන් දිනෙන් දින ඉහළ යන බව ද එම සංගමය පෙන්වා දී ඇත. එළවළු මිල ඉහළ ගොස් ඇත් නම් එහි වැඩි කොටසක් ගොවියා වෙත බැර විය යුතුය. එවැන්නක් කිසිදාක සිදු වන්නේ නැත. එළවළු ගොවියා හැමදාම අසරණය. එළවළු මිල පහතට වැටුණේ නම් එහි වාසිය පාරිභෝගිකයාට බැර විය යුතුය. එවැන්නක් ද කිසිදාක සිදු වන්නේ නැත. පාරිභෝගිකයා හැමදාම ආණ්ඩුවට බැණ වදිමින් එළවළු දෙක තුනක් ගිනි ගණනට මිලට ගනී. මෙතැන ඇත්තේ පුදුමාකාර ආර්ථික විද්‍යාවකි.
ආර්ථික විද්‍යාවට අනුව පූර්ණ තරගකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට උපරිම වාසියක් ලැබිය හැකිය. ඒකාකාරී වෙළෙඳපොළ තුළ නිෂ්පාදකයාට උපරිම ලාභයක් ලැබිය හැකිය. එහෙත් අපේ රට තුළ මොන ආකාරයේ වෙළෙඳපොළක් පවතින්නේ වුව නිෂ්පාදකයාට උපරිම ලාභයක් හෝ පාරිභෝගිකයාට උපරිම වාසියක් හෝ ලැබෙන්නේ නැත. රටේ සෑම ක්ෂේත්‍රයක් තුළම වෙළෙඳ මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ යැයි වෙළෙඳ සංගම් පෙන්වා දී ඇත. වෙළෙඳ මාෆියාව ගැන බොහෝ දෙනෙක් කතා කරති; එය විවේචනයට ලක් කරති. එහෙත් කිසිදු ආයතනයක් මාෆියාව පරාජය කළ හැකි උපායමාර්ග මෙතෙක් සොයා ගෙන නැත.
පාලන මිල, ගැසට් පත්‍ර, කඩාපනින නිලධාරීන් යනුවෙන් ඉදිරිපත් වූ සියලු උපායමාර්ග අසාර්ථක බව පසුගිය මාස කිහිපයක අත්දැකීම්වලින් හොඳ හැටි අවබෝධ කර ගත හැකිය. සහල් මාෆියාව ඊට හොඳම නිදසුන වෙයි. සහල් සඳහා පාලන මිලක් නියම කළ විට වෙළෙඳපොළ සහල් හිඟ වෙයි. පාලන මිල ඉවත් කළ විට වෙළෙඳපොළ සහල්වලින් පිරී ඉතිරී යයි. එළවළු වෙළෙඳපොළ තුළ ඇත්තේ ඊට වඩා සංකීර්ණ තත්ත්වයකි. එකිනෙක එළවළු වර්ග සඳහා වෙන වෙනම පාලන මිලක් ඇති කළ නොහැකිය. පොල් සඳහා පාලන මිලක් ඇති කිරීමට රජය උත්සාහ කළ අතර, එය අසාර්ථක විය. ඒ සඳහා නිලධාරීන් හඳුන්වා දුන් ක්‍රමවේදය පාරිභෝගිකයාගේ පවා විහිළුවට ලක් විය. මේවා අප කාටත් හොඳ අත්දැකීම් ලෙස පවතී.
එළවළුවක් දෙකක් සමඟ බත සප්පායම් වීම අපේ ආහාර සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයකි. මසක්, මාළුවක්, බිත්තරයක් වැනි අතිරේක ආහාරයක් එකතු වූ විට එය සමබල ආහාර වේලක් ලෙස සැලකේ. අද රටේ මුළු ජනගහනයෙන් 20%කටවත් සමබල ආහාර වේලක් ගත හැකි ද යන්න ගැටලුවකි. දුප්පත්කම, උද්ධමනය ආදී ගැටලුවලට වඩා මේ සඳහා බලපා ඇත්තේ විධිමත් ක්‍රමවේද නැතිකමය. එළවළු ගොවියාට අඛණ්ඩව පොහොර හා කෘමිනාශක ලැබෙන ක්‍රමවේදයක් නැත. අමාරුවෙන් හදා ගත් එළවළු ටික වෙළෙඳපොළ වෙත ඉක්මනින් ප්‍රවාහනය කළ හැකි ක්‍රමවේද නැත. ඊළඟට වෙළෙඳපොළ හැසිරීම විධිමත් නැත. අන්තිමට බලන විට ගොවියාත්, පාරිභෝගිකයාත් යන දෙදෙනාම අමාරුවේ වැටී සිටිති.
රටේ කෘෂිකර්මය හැසිරවීම සඳහා ද රාජ්‍ය ආයතන ගණනාවක් පවතී. ප්‍රධාන භෝග වර්ග සඳහා පර්යේෂණ ආයතන ද පවත්වාගෙන යනු ලැබේ. මේ සඳහා වාර්ෂිකව වැය කරනු ලබන මුදල ද සුළුපටු නැත. එහෙත් කෘෂිකර්මයේ ප්‍රගතියක් දකින්නට නැත. තවත් මාස කිහිපයක් යන විට ලූනු හිඟයක් ඇති විය හැකි බවට අදහස් පළ වෙමින් පවතී. මේ සඳහා ඉතා ඉක්මනින් ප්‍රතිකර්මයක් යෙදුවේ නැත් නම් ලූනු මිල ගණන් ඔරොත්තු නොදෙන තරමින් ඉහළ යන්නට පුළුවන. අපේ අස්වනුවලින් විශාල ප්‍රමාණයක් අපතේ යන බව ද සිහි තබා ගත යුතුය. ඒවාට විසඳුම් තවම නැත.
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රාජ්‍යයක් ලෙස ප්‍රකටව පැවැතියේ වුව අද වන විට තත්ත්වය වෙනස්ය. රටට අවශ්‍ය සහල් තොගය නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව අපට නැත. තවත් කාලයක් යන විට අවශ්‍යම එළවළු වර්ග ටිකත් පිටරටින් ගෙන්වීමට සිදු වනු ඇත. ඊට පෙර ඒ සඳහා විසඳුමක් හා සැලැසුමක් අවශ්‍ය වේ. මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි පර්යේෂණ කණ්ඩායමක වාර්තාවේ සඳහන් වන අන්දමට ශ්‍රී ලංකාවේ සමස්ත අස්වැන්නෙන් 40%කට වැඩි ප්‍රමාණයක් අපතේ යයි. මේවා නිරීක්ෂණය කිරීම කෘෂිකර්ම බලධාරීන්ගේ වගකීම වෙයි.
නව අදහස දක්වන්න