ඔමික්‍රෝන් BA5 රට පුරා ශීඝ්‍රයෙන් පැතිරෙයි | දිනමිණ

ඔමික්‍රෝන් BA5 රට පුරා ශීඝ්‍රයෙන් පැතිරෙයි

සන්ධ්‍යා කරුණාරත්න

- ආචාර්ය චන්දිම ජීවන්දර

* ජූලි මස කොවිඩ් ආසාදිතයෝ 1361ක්
* මරණ 35යි

අලුතින් හඳුනාගත් කොවිඩ් ඔමික්‍රෝන් BA5 නව ප්‍රභේදය රට පුරා වේගයෙන් පැතිර යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ ජෛව සෛල විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා 'දිනමිණ'ට ඊයේ (31) ප්‍රකාශ කළේය.

මෙම ප්‍රභේදය රට පුරා පැතිර ගොස් ඇති බවත් කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් තවදුරටත් වයිරසය පැතිර යෑමේ අවදානමක් පවතින බවත් ඒ මහතා පැවසුවේය. ගෝලීයව මේ දිනයන්හි ලෝකය පුරා පැතිර යනුයේ මෙම නව ප්‍රභේද බවත් මෙතෙක් වාර්තා වූ ප්‍රභේදයන්ට වඩා වැඩි වේගයකින් මෙම නව ප්‍රභේදය පැතිර යන බවත් ඒ මහතා කීවේය. ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යන විට කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යෑමේ අවදානමක් පවතින බවද හෙතෙම පැවසීය. නිසි පරිදි කොවිඩ් මර්දන එන්නත් සහ කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නම් වයිරසයෙන් ආරක්ෂා වීමට හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය. ජූලි මාසයේදී පමණක් කොවිඩ් ආසාදිතයන් 1361ක් වාර්තා වී ඇති අතර කොවිඩ් මරණ 35ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

නව අදහස දක්වන්න