ගෝලීය වසංගතයක් වූ කොවිඩ් 19 වයිරසය වසර තුනක පමණ කාලයක් ශ්‍රී ලංකාවට ද මහත් ව්‍යසනකාරී තත්ත්වයක් උදා කරලීය. ශ්‍රී ලංකා රජය විසින් මහත් පරිශ්‍රමයක් දරා මෙරටේ සෞඛ්‍ය නීති පද්ධතියක් ක්‍රියාත්මක කෙරිණි. කොවිඩ් 19 වයිරසයට එරෙහි ලොව සාදන ලද නොයෙක් එන්නත් වර්ග මෙරටට ද ගෙන එමින් ඒවා ජනතාවට ඉතා ඕනෑකමින් බෙදා දෙමින් කොරෝනා වසංගතය මෙරටින් බොහෝ දුරට තුරන් කෙරිණි. එහෙත්, වර්තමානය වන විට යළිත් මෙරටේ කොවිඩ් 19 වයිරසය හිස ඔසවන ආකාරයක් දක්නට තිබේ. ඒ පිළිබඳ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (පුහුණු හා පර්යේෂණ) වෛද්‍ය හේමන්ත හේරත් මහතා සමඟ දිනමිණ කරන ලද සාකච්ඡාවකි මේ.
- කොවිඩ් එන්නත් මඟින් අතුරු ආබාධ ඇති වන්නේ නැහැ
- කොවිඩ් ක්‍රමානුකූලව හිස ඔසවන බව දක්නට ලැබෙනවා
- සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැද්දොත් කොව්ඩ් ව්‍යාප්තිය වළක්වා ගන්න පුළුවන්
යළිත් හිස එසවූ කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
මෑත කාලයක් වන තුරුම දිනකට වාර්තා වුණු කොවිඩ් 19 වයිරසය ආසාදනය වුණු පුද්ගලයන් ගණන අවම වශයෙන් 10ක් පමණයි. එහෙත් දැන් දිනකට කොරෝනා ආසාදිත රෝගීන් ගණන 50 ඉක්මවා යන බවක් තමයි වාර්තා වන්නේ. සතියක පමණ කාලයක් තුළදී තමයි ඒ ආකාරයට වැඩි වීමක් වාර්තා වෙන්න පටන් ගත්තේ. ඒ නිසා මෙම තත්ත්වය අප ඉතා බැරෑරුම් ලෙස සිතා කටයුතු කරන්න ඕනෑ. ලෝකයේ අනෙකුත් රටවලත් මෙය ක්‍රමානුකූලව හිස ඔසවන බව දක්නට ලැබෙනවා. අපේ රටෙත් කොරෝනා වසංගතය යළි හිස ඔසවන්න පටන් අරන් තිබෙන නිසා අප දැන්මම එය පාලනය කර ගත යුතු වෙනවා. එසේ නොමැති වුව හොත් ඉදිරියේදී මේ වසංගතය බරපතළ වෙන්න ඉඩකඩ බොහොම වැඩියි.
කොරෝනා වසංගතය හිස එසවීමත් සමඟ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නව සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කර තිබෙනවාද?
පසුගිය වසර දෙක තුළම කර ගෙන ආ සෞඛ්‍ය පුරුදුම ඉදිරියටත් කර ගෙන යෑම තමයි කළ යුතු වන්නේ. වෙන යම් සෞඛ්‍ය පුරුදු ඉදිරිපත් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. අප මේ දක්වා කර ගෙන ආ සෞඛ්‍ය පුරුදු ඒ කියන්නේ, සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යෑම (හැකි පමණ මීටරය දුරස්ථභාවය පවත්වා ගෙන යෑම), ආචාර සමාචාර විධි සඳහා අතට අත දීම, සිප වැලඳ ගැනීම ආදියෙන් වැළකී සිටීම, උත්සව අවස්ථාවලදී ආසන පැනවීමේදී දුරස්ථභාවය පවත්වා ගැනීම ආදියෙන් අපට පුළුවනි, ඒ දුරස්ථභාවය උපරිමට ආරක්ෂා කර ගන්න. මෙය ප්‍රායෝගික නැති තැන් ගැන ඇතැමෙක් කතා කරනවා. එහෙත්, ඒ තැන්වලදී ඊට විකල්ප විසඳුම් යොදනවා විනා දුරස්ථභාවය පවත්වා ගෙන යැමට නොහැකි නිසා ඉතිරි සියලු දේවලින් වැඩක් නැතැයි කීම සුදුසු නැහැ. උදාහරණයක් ලෙස පොදු ප්‍රවාහනවලදී ඇතැම් අවස්ථාවල මෙම දුරස්ථභාවය ආරක්ෂා නොවුණත් අප හොඳින් මුහුණු ආවරණයක් පැලඳ සිටිනවා නම්, අප අනවශ්‍ය ලෙස ඒ අවස්ථාවලදී පුද්ගලයන් සමඟ සංවාදවල යෙදෙන්නේ නැත්නම්, අප කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙනවා. ඒ වගේම විදුලි සෝපානවල යෑමේදී මුහුණ අනෙක් පැත්තට හරවා ගෙන සිටීමෙනුත් ප්‍රායෝගිකව දුරස්ථභාවය ආරක්ෂා කර ගත හැකියි.
මුහුණු ආවරණය පැලඳ සිටීම මේ වන විට අත්‍යවශ්‍ය නැතැයි පළ වුණා නේද?
මුහුණු ආවරණය පැලඳ සිටීම අත්‍යවශ්‍යයි. එය තවමත් අප රට තුළ තහනම් කරලා නැහැ. මුහුණු ආවරණය පැලදීම අනිවාර්ය නොකිරීම පමණයි කර තිබෙන්නේ.
කොවිඩ් 19 වයිරසය නැවත හිස ඔසවනු ලැබුවේ ජනතාව මේ සෞඛ්‍ය පුරුදුවලින් යම් තරමකින් හෝ ඈත් වුණු නිසා ද? නැත් නම් කොහොමද එය සිදු වුණේ?
වසංගතයක් කියන දේ ඉහළ පහළ යන එක ස්වාභාවිකයි. මුහුණු ආවරණ නොපැලඳීමම නොවෙයි හැම දේම එයට සම්බන්ධ වෙනවා. රෝගයකට නිසියාකාරව එන්නත් අර ගන්න ඕනෑ. මේ වන විට කොවිඩ් එන්නතේ හතරවන මාත්‍රාව නිකුත් කළත් පුද්ගලයින් 13,000ක් පමණයි එය ලබා ගත්තේ. තවමත් එන්නත් මාත්‍රා මිලියන ගණනක් අප ළඟ තිබෙනවා. ඒවා කල් ඉකුත් වේදැයි සැකයක් තිබුණත් එන්නත් නිෂ්පාදකයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවා ඒවා තව කාලයක් භාවිත කළ හැකි බව. ඒ නිසා අප එම එන්නත් දිගටම පාවිච්චි කරනවා. අපි ජනතාවට කියන්නේ හැකි ඉක්මනින් මේ එන්නත ගන්න කියලා. මේ වයිරසය පැතිරීමට ප්‍රධාන හේතුව තමයි මිනිසුන් සතුව තිබෙන ප්‍රතිශක්තිය හීන වීම. ප්‍රතිශක්තිය නැවත ඇති කර ගන්න නම් එන්නතේ හතරවන මාත්‍රාව ගත යුතුයි.
කොවිඩ් එන්නතේ තුන්වැනි මාත්‍රාව ගත් ඇතැම් අයකුට ඉන් අතුරු ආබාධ ඇති වූ බව වාර්තා වුණා. මේ නිසා ජනතාව එන්තත් විද ගැනීමට බියක් දැක්වූවා. ජනතාව පසුගාමී වුණා. එන්නතින් අතුරු ආබාධ ඇති වීම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
කොවිඩ් එන්නත් මඟින් අතුරු ආබාධ ඇති වන්නේ නැහැ. එය මතයක් සහ ප්‍රචාරයක් පමණයි. එහි විද්‍යානුකූලව සත්‍යතාවක් නැහැ. කොවිඩ් එන්නත නිසා අතුරු ආබාධ ඇති වුණා යැයි කොහෙත්ම පිළිගන්න බැහැ. මේ එන්නත් ලබා ගත් කිසිදු කෙනෙකුට එවැනි ගැටලුවක් ඇති වුණේ නැහැ. එය කටකතාවක් පමණයි. ඒවා සමාජ මාධ්‍ය හරහා එකිනෙකා විසින් ඉදිරිපත් කළ දුර්මත. ඒ සඳහා විද්‍යානුකූලව පෙන්වන්න පුළුවන් කිසිම සාක්ෂියක් නැහැ. මිනිසුන් විසින් නිර්මාණය කර ගත් දේවල්. මේ වන විට කොරෝනා වසංගතය යළි හිස එසවීමට බලපෑවෙත් මේ එන්නතේ හතරවැනි මාත්‍රාව ජනතාව විසින් නොගැනීමයි.
නිදන්ගත රෝගවලින් පීඩා විඳින අය මේ එන්නතේ හතරවැනි මාත්‍රාව විද ගැනීමෙන් ගැටලුවක් ඇති වන්නේ නැද්ද?
මේ එන්නත වැඩියෙන්ම ගත යුතු වන්නේ නිදන්ගත රෝගවලින් පීඩා විඳින අය තමයි. කිසිම නිදන්ගත රෝගියකුට එන්නත ගත් නිසා කිසිම අතුරු ආබාධයක් ආවේ නැහැ. නිදන්ගත රෝගියාගේ එම රෝගි තත්ත්වය ඉහළ පහළ යෑම කාටවත් නවත්වන්න බැහැ. එන්නත ගත් නිසා එසේ වූවා යැයි කිසිදු තැනක සඳහන් වන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අතුරු ආබාධ පිළිබඳ විමසන වෙනම වැඩපිළිවෙළක් තිබෙනවා. එය වසර 40ක් 50ක් තිස්සේ කරගෙන යන වැඩසටහනක්. ඒ වැඩසටහන තුළ ඉතා සාර්ථකව කුඩා දරුවන්ගේ අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කරනවා. ඒ වැඩසටහනම තමයි මේ සඳහාත් යොදවන්නේ. එහිදී කිසිම ආකාරයක බරපතළ අතුරු ආබාධයක් මෙතෙක් වාර්තා වෙලා නැහැ.
අතුරු ආබාධයක් කියන්නේ කිසියම් ආකාරයකින් ජීවිතයට හානි වෙන හෝ ජීවිත කාලෙම අබල දුබල වෙන අතුරු ආබාධ මිසක් උණ ගැනීම, එන්නත විදපු තැන වේදනාවක් ඇති වීම නොවෙයි. උණ ගැනීම වැනි දේවල් ඕනෑම කෙනකුට පොදුයි.
සෞඛ්‍ය අමාතංශයෙන් ඉදිරිපත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ලිහිල් කිරීම නිසා කොව්ඩ් 19 යළි ව්‍යාප්ත වීමක් සිදු වුණා ද?
සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ලිහිල් කිරීමක් සිදු වුණේ නැහැ. කළේ මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය නොකිරීම පමණයි. මුහුණු ආවරණ නොපැලඳි අය උසාවි ගෙන යෑම පමණයි නතර කළේ.
නැවත එම නීති මාලාව තදින් ක්‍රියාත්මක කිරීමට අදහසක් තිබෙනවාද?
නැහැ. එසේ කරන්න අවශ්‍ය වන්නේ නැහැ. එය ප්‍රායෝගික නැති වැඩක්. රටේ සෞඛ්‍යය වෙනුවෙන් නීති පැනවීම සාමාන්‍යයෙන් කිසිම රටක කරන්නේ නැහැ. බරපතළම තත්ත්වයකදී වසංගතය පාලනය කරන්න අපහසු නම් පමණයි එසේ නීති තදින් ක්‍රියාත්මක කරන්නේ. නැත්නම් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මිනිසුන්ගේ හදවතින් කරන දේවල් බවට පත් කළ යුතුයි. ඒවා නීතියෙන් ක්‍රියාත්මක කිරීම එතරම් සාර්ථක වන්නේ නැහැ. මෝටර් සයිකලේ යන විට හෙල්මට් එක පැලඳිය යුත්තේ තමන්ගේ ආරක්ෂාවට මිසක් නීතියෙන් ආරක්ෂාවට නොවෙයි. මේ දේත් ඒ වගේ තමයි.
ජනතාවට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද?
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කරන්නේ නැහැ කියන්න බැහැ. මේ මොහොතේ එය වෙනස් කිරීමට අප බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉදිරියේදී කොවිඩ් 19 රෝගීන් වැඩි වීම හෝ යම් යම් විදියකින් කොව්ඩ් පොකුරු මතු වීමක් දක්නට ලැබුණොත් ඇතැම් විට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව වෙනස් කරන්න සිදු වෙයි. එසේ නොවී එය වළක්වා ගැනීමේ වගකීම තිබෙන්නේ සාමාන්‍ය ජනතාව අතේ. නව නීති ගෙන එන තත්ත්වයට රට පත් නොකර පවතින තත්ත්වය යටතේ හැම දේම කර ගෙන යෑම තීරණය කළ යුත්තේ ජනතාවයි.
මේ සතියේ නැවත පාසල් ආරම්භ වෙනවා. පාසල් දරුවන් සඳහා කොව්ඩ් 19 පාලනය කිරීමේ නව ක්‍රම වේදයක් තිබෙනවාද?
නැහැ. පැරැණි වැඩසටහනම ඒ විදියට කර ගෙන යෑම පමණයි කරන්නේ. පාසල් විවෘත කරන විට තිබුණු නීති එකක් වත් අයින් කළේ නැහැ. ළමයි සියලුම දෙනා පාසල්වලට කැඳවනවා. එහෙත් පාසල් තුළ කොවිඩ් 19 ව්‍යාප්තියක් දක්නට ලැබුණොත් ඇතැම් විට වෙනසක් කරන්න සිදු වේවි.
ඇතැම් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල මේ වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින බවක් පෙනෙන්න නැහැ නේද?
ඒවා නැවත පටන් ගැනීම ඒ අයගේ වගකීමක්. හැමෝම ඒ දේවල් නැවත කිරීම තුළින් කොව්ඩ් ව්‍යාප්තිය වළක්වා ගන්න පුළුවන්.
මේ වන විට කොවිඩ් 19 රෝගීන්ගේ මරණ වාර්තා වෙනවාද?
සුමානෙකට දෙක තුනක් පමණ කොවඩ් මරණ වාර්තා වෙනවා. ඇතැම් විට සතියෙම මරණ එක දවසේ වාර්තා වෙන අවස්ථාත් තිබෙනවා. පසුගිය කාලය තුළ විශේෂයෙන් නිදන්ගත රෝගවලින් පෙළුණු කොව්ඩ් 19 වයිරසය ආසාදනය වුණ අය සංකූලතාවට පැමිණ මිය යන අවස්ථා තිබෙනවා. එය ඉතා සුළු පිරිසක්. එහෙත් රෝගීන් වැඩි වුණොත් ඉදිරියේදී මරණ වැඩි විය හැකියි. ඒ නිසා වයිරසය ශරීරගත නොවී වළක්වා ගැනීමයි වැදගත් වන්නේ. රෝගය වැලඳී ප්‍රතිකාර ගන්නා තැනට නොයා යුතුයි. මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් අභියෝග තිබෙනවා. මේ නිසා අවදානමක් තිබෙන බව කිව යුතුයි. රෝගයෙන් ආරක්ෂා වීම තමයි මේ මොහොතේ කළ යුතුම දේ.
අප රට තුළ තවමත් පැතිරෙන්නේ කොව්ඩ් 19 ඔමික්‍රොන් ප්‍රභේදයද?
ඔව්. වෙනස් වයිරසයක් තිබෙන බව තවම සොයා ගෙන නැහැ.
රෝග ලක්ෂණවල වෙනසක් සිදු වුණේ නැහැ නේද?
වෙනසක් නැහැ. උණ, හෙම්බිරිස්සා ගතිය, කැස්ස, ඇඟපත අමාරුව ඇති වෙන්න පුළුවන්. ඒත් මතක තියාගන්න ඕනෑ ඩෙංගු, මැලේරියාව හෝ ඉන්ෆ්ලුවෙන්සාව වෙන්න පුළුවන්. ඒ නිසා මේ රෝග ලක්ෂණ ඇති වූ වහාම වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගැනීම වැදගත්.
නව අදහස දක්වන්න