සරු පොළොවේ හෙඳට වැවෙන කොහිල වවමු | දිනමිණ

සරු පොළොවේ හෙඳට වැවෙන කොහිල වවමු

“කිඹුලා කන එක ඉවසත හැකිය - කොහිල කටු ඇනෙන එක ඉවසන්න බැරි“ යැයි පසිඳු කියමනක් තිබේ. ඉන් කියැවෙන්නේ සිරිලක නිජබිම කර ගත් ඖෂධීය ගුණයෙන් අනූන වූත්, කටට-දිවට අමුතුම රසයක් ගෙන දෙන්නාවූත් තියුණු කටු සහිත අපූරු එළවළුවක් වන කොහිල ගැනය. රටේ සෑම අස්සක්-මුල්ලක් නෑරම ඉතා කදිමට වැවෙන කොහිල ශාකය පොහොර යෙදීම ද එතරම් අවශ්‍ය නොවන ගෙවතු වගාවකි. වෙසෙසින්ම ගම්බද ගෙවතු විශාල ප්‍රමාණයක ළිඳට පහළින් කුඩා ප්‍රමාණයේ කොහිල පාත්තියක් දැකිය හැකිය. සාමාන්‍යයෙන් සතියකට වතාවක් පමණ මෙවැනි පාත්තියකින් කොහිල දලු මිටියක් හෝ දෙකක් කඩා ගැනීමට ද හැකිය. එමෙන්ම මාසයකට, දෙකකට වතාවක් කොහිල අල කපා ගැනීමට ද පුළුවන.

කොහිල වර්ග කිහිපයක්ම තිබේ. සාමාන්‍යයෙන් නිතර ඇස ගැසෙන කොහිල ප්‍රභේදයට අමතරව පෝච්චිවල අලංකාරයට වවන දම්පැහැ කොළ සහිත කොහිල වර්ගයක් ද ඇත. මේ අතර ඉතා දුලබ ‘කටු නැති කොහිල‘ ප්‍රභේදයක් ද ඇහැලියගොඩට නුදුරු පලීගල ගමේ බී.තිලකරත්න ගොවි මහතා වගා කොට තිබේ. තරමක් විශාල කොළ සහ දඬු සහිත මෙම වර්ගය සම්පූර්ණයෙන්ම කටු රහිතය. මේවා රසයෙන් මෙන්ම ගුණයෙන් ද සාමාන්‍ය කොහිලවලට සමානය.

කොහිලවල විද්‍යාත්මක නාමය ‘ලැසියා ස්පයිනොස්‘ය. මෙය ‘ඇරාසියා‘ කුලයට අයත් වූවකි. මෙහි කලින් සඳහන් කළ දෙවර්ගය කොහිල සහ ‘මහ කොහිල‘ ලෙස නම් කර ඇත. මෙහි කොළ සහ අල ආහාරයට ගනී. තක්කාලි, කොස් ඇට හෝ පරිප්පු යොදා පිළියෙල කරන ව්‍යංජනය රසවත්ය. ගුණය ද එබඳුමය. හීනියට ලියා හෝ දික් අතට ගිනිකූරු මෙන් කපා උයා තෙම්පරාදු කරන කොහිල අල මාළුව ද ඉතා ප්‍රනීත ගුණදායක කෑමකි. මීට අමතරව කොහිල අල, පොල්කිරි,

ඉඟුරු සහ සුදුලූනු මිශ්‍රිත කැඳ බෙහෙවින්ම ගුණදායක බව පෙර'පර දෙදිග වෙදැදුරෝ පවසති. මෙම කැඳ අර්ශස් රෝගීන්ට දිව ඔසුවකැයි ආයූර්වේදයේ ද සඳහන් වේ.

කොහිල අර්ශස් රෝගයට මෙන්ම අක්මාවේ ක්‍රියාකාරීත්වය යහපත් තත්ත්වයකට පත් කීරීමට ද ඉවහල් වේ. රත්පිත සමනය කර බඩවැල්වල නීරෝගිභාවය සුරැකීමට ද ඉවහල් වේ. සිරුරට බාහිරව වැලඳෙන යම් යම් සමේ රෝග සමනය කිරීමට ද කොහිල ඉවහල් වන බව ද ආයුර්වේද වෙදැදුරෝ පවසති. කොහිලවල ඇති සියුම්, ඇදෙනසුළු කෙඳි බඩවැල්වලට හිතකරය. එමෙන්ම සිරුරේ ඌෂ්ණත්වය පාලනය කරන අතර ආහාර රුචිය සහ සිරුරේ බර වැඩි කරන බව ද පැවසේ. මෙය මුත්‍රා පිටකිරීමේ තත්ත්වය ද පාලනය කරන ඔසුවක් බවට ද හඳුනාගෙන තිබේ. එමෙන්ම කොහිලවල සීනි, මේද, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, යකඩ, විටමින් ඒ සහ විටමින් සී ද අන්තර්ගතය.

නිමල් විජයතුංග

නව අදහස දක්වන්න