වළක වැටුණු ගැහැනියකගේ අමුතු කතාව | දිනමිණ

වළක වැටුණු ගැහැනියකගේ අමුතු කතාව

කුඩා නගරයකදී නොව ජනයාගෙන් පිරී ඉතිරී ගිය මහා නගරයකදී පවා මිනිසුන් හුදෙකලා බවට, තනිකමට ගොදුරු වීම තරමක් පුදුම සහගත වුව සැබෑ තත්ත්වයකි. මනෝ විද්‍යාවේදී විශාදිය නමින් හැඳින්වෙන මෙය සමාජය තුළ සැරිසරන අදිසි අවතාරයක් බඳුය.

හුදෙකලාවට ගොදුරු වූවන්ගේ චරිත, ප්‍රබන්ධ සාහිත්‍ය තුළ සුලබය. ජපන් ජාතික ලේඛිකා හිරෝකෝ ඔයමදා (Hiroko Oyamada) ගේ ‘The Hole’ (වළ) නමැති නවකතාව තුළදී හමුවන්නේ ද එබඳු ස්ත්‍රී චරිතයකි.

හිරෝකෝගේ පළමු නවකතාව වූ ‘The Factory’ සඳහා ඇය නවකයින්ගේ සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන ෂින්කෝ ත්‍යාගය දිනා ගත්තාය. ‘වළ‘ නවකතාව අකුතගාවා සම්මානයට ලක්වූයේ හිරෝකෝ ඔයමදාට ජපානයෙන් පිටතට විහිදුණු කීර්තියක් ලබා දෙමිනි.

පිටු 92කින් යුත් කෙටි නවකතාවක් (Novella) වූ එය ඩේවිඩ් බොයිඩ් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කෙරිණි.

පිටු ගණනින් අඩු වුවද ‘වළ‘ බහු අර්ථවත් ප්‍රබන්ධයකි. එය නිසි අයුරින් කියවා නොගන්නා පාඨකයා ද ‘වළේ‘ වැටෙයි. පරිවර්තක බොයිඩ් ද සඳහන් කළේ හිරෝකෝගේ දිගු වැකි අතර සැඟවුණු යටිපෙළ සොයා ගැනීමට ඔහු ද වෙහෙස වූ බවයි.

මෙම නවකතාවේ ප්‍රධාන චරිතය අසාහි නමැති 29 හැවිරිදි තරුණියකි. විවාහ වූ අලුතම වාගේ ඇයට තම සැමියා (වුනෙකි වත්සුරා) සමඟ ඔහුගේ මවුපියන් හා නෑසියන් වෙසෙන ගම්බද කුඩා නගරයකට යාමට සිදු වෙයි. ඔවුන් ජීවත්වූ නගරයත්, අලුත් නගරයත් අතර විශාල දුරක් නැත. එහෙත් අලුත් පරිසරයෙහි හා අලුත් ජීවිතයෙහි විශාල වෙනසක් ඇතැයි අසාහිට දැනෙයි.

මත්සුකෝගේ දෙමවුපියන් හෝ ඥාතීන් හෝ ඇයට නිතර හමුවන්නේ නැත. ඉඳහිට හෝ මුණගැසෙන අසල්වැසියන් ඇය අමතන්නේ ‘මනමාලි‘ (bride) නමිනි. ඔවුන් තමන්ට ‘අසාහි‘ නමින් නොඇමතීම නිසා ඇයට පිටස්තර බවක් දැනෙයි.

සැමියා රැකියාවට ගිය පසු ඇය නිවසේ හුදෙකලා වෙයි. අසාහි ද විවාහයට පෙර රැකියාවක යෙදුණු කෙනෙකි. ‘ද ෆැක්ට්‍රි‘ නවකතාවේදී මෙන්ම මෙහිදී ද රැකියාව පුද්ගල අනන්‍යතාවට බලපාන සමාජ තත්ත්වයක් දෙන විශේෂ කාරණයක් ලෙස කතුවරිය යොදා ගනී. (හිරෝකෝ යමාදා ද පෞද්ගලික ජීවිතයේදී රැකියාවන් කීපයකම යෙදුණු එහෙත් විවිධ හේතුන් නිසා ඒවායින් ඉවත් වූ කාන්තාවකි.)

අසාහි ගත කරන්නේ දොම්නසින් පිරි ජීවිතයකි. ඇගේ දෛනික චර්යාවෙහි වෙනසකට ඇත්තේ ඉඳහිට අසල නගරයට යෑම පමණි.

සැමියාගේ මවුපියන්ගේ නිවස ඇත්තේ පෙනෙන දුරිනි. ඔහුගේ පියා කාලය ගතකරන්නේ ගෙඋයනේ වැඩ කරමිනි. ඔහු වැසි දිනවල පවා මල් පැළවලට වතුර දමයි. අසාහි හා ළඟ සබඳතාවක් නැත.

සවස වැඩ ඇරී එන සැමියා කාලය ගතකරන්නේ දුරකථනය සමඟිනි. අසාහි රූපවාහිනිය නරඹයි. ඉවුම් පිහුම් හැර ඇයට කරන්නට දෙයක් නැත. ‘මගේ කාලය ගෙවිල යන්නෙ වැදගැම්මකට නැති විදිහට‘ අසාහි සිය සැමියාට ද කියයි. එහෙත් ප්‍රතිචාරයක් නැත. විවාහයෙන් පසු රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවක් ඇය තුළ තිබිණි. කර්මාන්ත ශාලාවේ වැඩ කරන කාලයේ සැවොම ඇය ඇමතුවේ ‘අසාහි‘ නමිනි. දැන් ඇය ‘මනාලි‘ ය. ඇයගේ අනන්‍යතාව විවාහය විසින් මකා දමා ඇත.

අසාහිගේ ජීවිතය මෙසේ ගෙවී යද්දී එක් දිනක් ඇයට නිවස පිටුපස පිහිටි කුඩා නිවසක වෙසෙන පුද්ගලයෙක් හමු වෙයි. ඔහු තමා ඇගේ සැමියාගේ වැඩිමල් සොහොයුරා බව කියයි. එහෙත් සැමියා කිසිම විටෙක එවැන්නකු ගැන ඈ හා පවසා නැත. අවිවාහකයකු වන සොහොයුරා අසාහි සමඟ නොයෙක් දෑ කතාබස් කරයි. කතුවරිය මෙම චරිතය යොදා ගන්නේ අසාහිට අවශ්‍ය විස්තර දැන ගැනීමේ උපාය මාර්ගයක් ලෙසිනි. කතාව තුළ පසුව සිදු වන අද්භූත හා විකාර රූපී සිදුවීම් මෙන්ම මෙම සොහොයුරු චරිතය ද සැබෑ පුද්ගලයකු නොවන බව අවසානයේ හෙළිවේ. අසාහි නිවස පසුපස භූමියට ගොස් සොහොයුරාගේ නි‌ෙවස සොයයි. එබඳු තැනක් තිබූ බවට සලකුණක් හෝ දක්නට නැත. එසේ නම් ඔහු ද අසාහිගේ සිතෙහි මැවුණු චරිතයකි.

නගරය අසලින් ගංගාවක් ගලා බසී. එක් දිනක් අසාහි එහි ඉවුරට යයි. කුඩා ළමයි ගං ඉවුරෙහි සෙල්ලම් කරති. අසාහි එක්වරම වළකට ඇද වැටෙයි. එය අඩි 5ක් පමණ ගැඹුරු ඇයගේ සිරුරේ ප්‍රමාණයටම සරිලන වළකි. නාඳුනන ගැහැනියක් පැමිණ ඇයට ගොඩට එන්නට උපකාර කරයි. ඇය ද අසාහි අමතන්නේ ‘මනාලි‘ නමිනි.

තවත් අවස්ථාවක ඇයට විවිධ සතුන්ගේ ලක්ෂණ මිශ්‍ර අද්භූත සත්ත්වයෙක් දක්නට ලැබෙයි. පසුව කතුවරිය සඳහන් කළ අන්දමට එම සත්ත්වයා ඇයගේ සිහිනයකදී දැක ඇති අතර, නවකතාවට එක්කිරීමට තීරණය කරන්නේ එම මතකයෙනි. ෆැන්ටසිමය ආඛ්‍යාන රීතිය, හිරෝකෝගෙ නවකතා තුළ දක්නට ලැබෙන ලක්ෂණයකි. අතිසත්වාදී පරිකල්පනය විසින් ඇගේ ප්‍රබන්ධයන්ට දාර්ශනික ගැඹුරක් එක් කරන බව විචාරකයෝ පෙන්වා දෙති.

ලුවිස් කැරොල්ගේ ‘ඇලිස් දුටු පුදුමලන්ත‘ ළමා නවකතාවේදී ඇලිස්ට හමුවන හාවා මෙන් අසාහි ද අද්භූත සත්ත්වයාට තම අපූර්ව ලෝකයේ තැනක් ලබා දෙයි.

ජපන් ගත්කතුවරුන් වන හරුකි මුරකාමි, කෝබෝ අබේ (Woman in the Dunse), කෙන්සබුරෝ ඕයි (the Silent Cry) ආදීන්ගේ ඇතැම් නවකතා තුළ ද හිරෝකෝ ඔයමදාගේ ‘වළ‘ කතාව තුළ ඇති අද්භූත සිද්ධීන්, සත්ත්වයින්, හුදෙකලා ජීවිත දක්නට ලැබෙයි.

කෝබෝ අබේගේ ‘වුමන් ඉන් ද ඩ්‍යුන්ස්‘ (වැලිපර අතර සිටි ගැහැනිය) නවකතාවේද කියැවෙන්නේ සමාජයෙන් පිටස්තර වූ ගුරුවරයකු පිළිබඳවය. ඔහු වැලිපර අතර ගුහාවකට වැටෙයි. එහෙත් ඉන් ගොඩඒමට ඔහුට අවශ්‍යතාවක් නැත.

සියදිවි නසාගැනීම ජපන් සමාජය තුළ ඇති භයානක නැඹුරුවකි. ජී 7 සංවර්ධිත රාජ්‍යයන් අතර ජපානය, සියදිවි නසාගැනීම් දත්ත ලේඛනයේ දෙවෙනි ස්ථානයේ පසු වෙයි. මෙම දිවිනසා ගැනීම් බොහෝමයකට විශාදිය (depression) හේතු වී ඇත. ජපන් නවකතාකරුවන් ද දිවි නසාගෙන ඇති බව ප්‍රකට කරුණකි.

‘වළ‘ නවකතාව රචනා කළේ ගිම්හාන ඍතූන් දෙකක් අතර යැයි හිරෝකෝ ඔයමදා පවසයි. කතාවේ බොහෝ පරිසර වර්ණනා කියවන්නකුට ද එම ග්‍රීෂ්මය දාහය දැනෙයි. එම කාලය තුළ හිරෝකෝ සිය ජීවිතයේ ප්‍රබල ආවේගජනක සිදුවීම් දෙකකට මුහුණ පෑවාය. පළමුවැන්න ඇයගේ පියාගේ මරණයයි. (‘වළ‘ නවකතාවේදී ද අසාහිගේ සැමියාගේ පියා මිය යයි) දෙවැන්න, ඇය මුල්වරට ගැබිනියක වීමයි. (නවකතාව තුළද දරුවන් පිළිබඳ අඹුසැමි සංවාද දක්නට ලැබේ.)

හිරෝකෝගේ ‘වළ‘ නවකතාවේ බොහෝ දෑස සංකේත රූපය. එය හුදෙකලා, ජපන් ගැහැනියකගේ විඥාන ධාරාවක් වුවද ලොව ඕනෑම තැනක වෙසෙන සුනරුත් ජීවිත ගතකරන ගෘහයක සිර වූ ගැහැනුන්ට පොදුය.

කතානායිකා අසාහිගේ සිතිවිල්ලකින් මෙම ලිපිය නිමා කරමි. (එය ඇය වැටී ඇති ‘වළ‘ පිළිබඳ චිත්ත රූපයක් බඳුය.)

‘මගේ අලුත් ජීවන රටාව විසින් මා රෝගී කරවන බවට සැකයක් නැත. කාලය ගෙවා ගැනීම සඳහා මට ටී.වී. බැලීම, කොම්පියුටරය භාවිත කිරීම, පොත් කියවීම වැනි දේ කළ හැකියි. එහෙත් ඒ හැම දෙයක් පසුපසම ඇත්තේ මුදල්. කාලය ගතකිරීමටත් වියදමක් යනවා. සමහරු හිතන්නේ ගෘහිණියන්ට නිදහසේ සිටීමට ඕනෑවටත් වඩා කාලය තිබෙන බවයි. ඇත්තෙන්ම නින්ද විතරයි වියදමකින් තොරව කාලය ගෙවා දමා ගත හැකි ක්‍රමය.

පැය ගතවන්නේ සෙමෙනි. එහෙත් දවස් ගෙවෙන්නේ මහත් වේගයෙන්. ඉතා ඉක්මනින්ම කාලය පිළිබඳ හැඟීම මා තුළින් ඉවත්ව මැකී යනු ඇති.

මගේ ජීවිතය තුළ කාල නියමයන් (Appoimer) හෝ නිශ්චිත කාල නියමයන් (Deadlines) නැත. මගේ ඇඟිලි තුඩු අතරින් කාලය ගලා යනවා පමණි.

 

 

නව අදහස දක්වන්න