නොමිලේ ප්‍රවාහනය දෙන සහ හොයන අය මුණගස්වන්න මොබයිල් ඇප් එකක් | දිනමිණ

නොමිලේ ප්‍රවාහනය දෙන සහ හොයන අය මුණගස්වන්න මොබයිල් ඇප් එකක්

වර්තමාන ඉන්ධන සහ ආර්ථික අර්බුදය හමුවේ ප්‍රවාහන පහසුකම් අවශ්‍ය පුද්ගලයන් සහ නොමිලයේ ප්‍රවාහන පහසුකම් සැපයිය හැකි පුද්ගලයන් මුණගස්වන ජංගම දුරකතන වැඩසටහනක් (Mobile App) ඇන්ඩ්‍රොයිඩ් ප්ලේ ස්ටෝර් (Android Play Store) වෙත නිකුත් කෙරිණි.

මෙය නිර්මාණය කර ඇත්තේ, එදිනෙදා කටයුතු පහසු කර ගත හැකි ජංගම දුරකතන මෘදුකාංග කිහිපයක්ම නිර්මාණය කළ මෘදුකාංග සංවර්ධකයකු වන රවිඳු දිල්ශාන් ය. මෙම 'යමං මචං' (Yaman Machan) වැඩසටහන ද නිර්මාණය කර ඇත්තේ 'සයිබර් යක්කු' කණ්ඩායම (Cyber Yakku) සමඟ එක්ව එන්.පී. දිසානායකගේ අදහස් අනුවය.

මෙම වැඩසටහන නොමිලයේ භා ගත කර ගැනීමට හැකියාව පවතී. ගමනාගමන පහසුකම් අවශ්‍ය කෙනකුට තමන්ගේ ගමනාගමන අවශ්‍යතාව සහ වාහනයක හෝ යතුරුපැදියක ඉඩකඩ ඇති කෙනකුට තමන් යන ගමනාන්තය දක්වා තව කෙනකුට ප්‍රවාහන පහසුකම් සැපයිය හැකි බවට තොරතුරු මෙම මෘදුකාංගයට එක් කළ හැකිය. එසේ එක් කරන තොරතුරු අනුව අවශ්‍යතාව ඇත්තා සහ පහසුකම සපයන තැනැත්තාට සම්බන්ධ වී තම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකියාව ලැබේ. මේ වන විටත් සැළකිය යුතු ජංගම දුරකතන පරිශීලකයන් සංඛාවක් මෙම වැඩසටහන භා ගත කර ගෙන ඇති අතර, ඒ හරහා විශාල සංඛ්‍යාවක් මෙම පහසුකම ගනිමින් සිටින බව මෙම වැඩසටහනේ නිර්මාණකරු රවිඳු දිල්ශාන් 'දිනමිණට' පැවසීය. මෙම ජංගම දුරකතන වැඩසටහන ඇන්ඩ්‍රොයිඩ් ප්ලේ ස්ටෝර් වෙතින් සහ හුවාවි ඇප් ගැලරි (Huwawei App gallery) වෙත පිවිස භා ගත කර ගත හැකිය.

පී.කේ. බණ්ඩාර

නව අදහස දක්වන්න