නිදහස විඳින්න අලගල්ලට යන්න | දිනමිණ

නිදහස විඳින්න අලගල්ලට යන්න

මධ්‍යම පළාත හා සබරගමුව වෙන් වන මායිමේ පිහිටි ඉතා මනරම් කඳු මුදුනක් ලෙස, අලගල්ල කන්ද හැඳින්විය හැකිය. උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදී දකුණු පසට වන්නට රඹුක්කන දුම්රියපොළට සමීපව අල ගෙඩියක නැතහොත් මොල්ලියක හැඩයේ සිරසකින් මෙම කන්ද දක්නට ලැබේ. මුහුදු මට්ටමේ සිට මීටර් 1100ක් උසකින් යුක්ත මෙම කන්ද විශේෂත්වයකින් ද යුක්තය. එනම් ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු පෙබරවාරි 4 වන දිනට පමණක් දහස් ගණනක් වූ සංචාරකයන් මෙන්ම ප්‍රදේශවාසීන් මෙම කන්ද තරණය කිරිමය. ඊට අපූරුතම හේතුවක් ද තිබේ. එනම් අලගල්ල කන්දට නැඟ නිදහස භුක්ති විඳීමය.

අලගල්ල කන්ද නිදහස් දින තරණය කිරිම සම්බන්ධයෙන් අපූරු පුරාවෘත්තයක් ද තිබේ. එදා බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී ශ්‍රී ලාංකිකයන්ට නිදහස උදා වූයේ 1948 පෙබරවාරි මස 4 වන දිනය. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු දින ලංකාව පුරා නිදහසේ අසිරිය රැව්පිළිරැව් දෙන්නට විය. උඩරට ගැමියන්ට මෙපුවත මනරම් අත්දැකීමක් විය. එදා අලගල්ල පාමුල තුම්පනේ ගමේ ගැමියන්ට නිදහස යන්න කුමක්දැයි තේරුම් ගොස් තිබුණේ නැත. නිදහස් දින කොළඹ නගරයේ කුමක් සිදු වන්නේ දැයි යන්න දැනගැනීමට ගැමියන්ට කුතුහලයක් ඇති විය. ඒ පිළිබඳව දැකගන්නට වැඩිහිටියන් තරුණයන් සියලු දෙනා නිදහස් දින පාන්දරින්ම කන්ද මුදුනට එක්රොක් වූහ. එසේ එක්රොක් වූ ගැමියන් කොළඹ දෙස බලා සිටින්නට තීරණය කළේ නිදහස දැක බලා ගැනීමේ අදහසිනි. එම ගැමියන් හවස් යාමයේ ආපසු කන්ද බසින විට පහළ සිටි පිරිස් ද ඔවුන්ගෙන් තොරතුරු විමසන්නට එකතු වූහ. කන්ද තරණය කළ ගැමියන් මෙහි නැඟ නිදහස පිළිබඳව දුටු යමක් නොවුණ ද, කන්ද මුදුනේ සිට සොබාවික සෞන්දර්යය අලංකාරත්වය දැකීමේ ප්‍රීතියෙන් සිටි කන්ද තරණය කළ ගැමියන් පැවසුවේ නිදහස දැකගන්නට නම් කන්දටම නැඟිය යුතු බවය.

එදා සිට උඩරට ගැමියෝ නිදහස භුක්ති විඳින්නට අලගල්ල කන්ද තරණය කරන්නට පුරුදු වූහ. අද වන විට සංචාරකයෝ ද ද කඳු නඟින්නෝ ද විනෝදය තකා මෙම අලගල්ල කන්ද තරණය කරති.

අලගල්ල කන්ද තරණය කිරීමට ආරම්භ කළ හැකි මාර්ගයන් දෙකක් වේ. ඉන් එක් මාර්ගයක් වන්නේ, රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයෙන් ඇති ඉහළ කෝට්ටේ දුම්රියපොළෙන් බැස ගමන් කරන මාර්ගයයි. මෙහිදි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 3ක් දුරින් පිහිටි අලගල්ල තේ කර්මාන්තශාලාව වෙත ගමන් කළ යුතුය. එතැන් සිට තේ වත්ත මැදින් මඳ දුරක් ගමන් කළ විට අලගල්ල කන්ද වෙත දිවෙන අඩි පාර හමු වේ. අනෙක් මාර්ගය නම්, මහනුවර සිට පොත්තපිටියට පැමිණ එතැන් සිට දිවෙන මාර්ගයයි. මේ මාර්ගයේ යන විට කන්ද මුදුනටම ගමන් කළ හැකි අතර කඳු මුදුනට ගමන් කරන අවසන් මාර්ගය තරණය කිරීමේදී පරිස්සම්සහගත විය යුතුය. තරමක් සුමට වූ ගල් තලාවක් ඔස්සේ අඩි 30 ක් පමණ උසක් නැඟීමෙන් පසුව බඩගාගෙන නැඟීමට සිදු වන ස්ථානයක් ද හමු වේ. කඳු මුදුනත සිය ගණනකට පමණ සිටීමට හැකි ඉඩකඩ ඇති තැනිතලාවක් පිහිටා තිබේ. කඳු මුදුනත සිට අවට බැලු විට උතුවන්කන්ද, බතලේගල කන්ද, ඌරාකන්ද වැනි කඳු සහ ඒ අවට පහත් ප්‍රදේශ, කඳු හෙල් මිටියාවත් අතර තිබෙන ගම්මාන මෙන්ම කුඹුරු යායන් ද මනරම් අයුරින් දැක ගත හැකිය.

බතලේගලට පහතින් අර්ධ කවයක හැඩයෙන් පෙනෙන්නේ, දෙවනගලය. එහි මුදුනත දාගැබක් ද කුඩාවට දැක ගත හැකිය. අලගල්ල කන්ද යනු ආධුනික කඳු නඟින්නෙකුට වුවද මනාව තරණය කිරිම පිළිබඳ අත්දැකීමක් ගත හැකි කන්දකි. අලගල්ලේ උසින් වැඩිම ශිඛරයට ප්‍රදේශවාසින් නම් දී ඇත්තේ කොඩිගල නමිනි. තවද එය මහගල, කටුසු කොන්ද ආදි නම් වලින් ද හඳුන්වනු ලැබේ. ඊට හේතුවක් ඇත. බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව මිනුම්ගත කිරිමේදී ඒ සඳහා ආධාරක මිනුම් කොඩියක් සවි කොට තිබීම නිසා කොඩිගල යන නාමය පටබැඳී තිබීමය.

කොඩිගල මුදුනට නැඟීමට ද ස්වාභාවික කපොලු දෙකක් ඇත. ඉන් එකක් සිංහ කට යනුවෙන් හඳුන්වනු ලැබේ. කපොල්ල සිංහයකුගේ මුවේ හැඩයකින් යුතු බව ගැමියෝ පවසති. කෙසේ වුවද කන්ද මුදුනත ස්වභාවය අනුව කපොලුවලට බැහැරින් ශිඛරය වෙත පිවිසීමට නොහැකි අතර ඊට හේතුව අලගල්ල කන්දේ බෑවුමේ ශීඝ්‍රතාවයි.

කොඩිගලේ තවත් මුදුනක් ලෙස පූජාගල කන්ද මුදුන ද හැඳින්විය හැකිය. අලගල්ල කන්දේ ඉහළ කොටසේ කිලෝමීටර් එකහමාරක් පමණ නිරිත දිසාවේ ඇති මෙම ස්ථානයෙහි මෑතකදී තැනූ කුඩා දාගැබක් හා වර්තමානයේ ගලේ කොටන ලද සිරි පතුලක් ද දැකිය හැකිය. මෙම දාගැබ පබ්බතාරාම චෛත්‍යය ලෙස හැඳින්වේ. පසළොස්වක පොහොය දිනයන්හි දුරකතර ගෙවා සිල් සමාදන් වීමට ගම්වාසීන් මෙම වෙහෙරට පැමිණෙයි. මෙම දාගැබ ඉදිකිරීමට ගල් වැලි උපකරණ රැගෙන ගියේ අලගල්ල කන්ද තරණය කිරීමට යන මිනිසුන්ය. තවද මෙහි කුඩා පොකුණක් ද ඇත. අතීතයේ අලගල්ල කන්දේ කුළුහරක් බහුලව සිටිය ද, අද වන විට කුළු හරක් දැකිය හැක්කේ කලාතුරකිනි. හාවුන්, රිලවුන්, මුවන් මෙන්ම කුරුලු ප්‍රභේද මෙම පරිසරයේ දැක ගත හැකිය.

නිල්ල පිරුණු ගහකොළ, පරිසරය වසා ගෙන තිබුණ ද මද්දහන වන විට දැඩි රස්නය දැනේ. කෙසේ වුවද අලගල්ල කන්ද නැරඹීමට කැමැත්තක් දක්වන පැලැස්ස පාඨකයන්ට සොබා සෞන්දර්යය නරඹමින් එහි අසිරිය විඳ ගත හැකිය. එසේම ඉදිරි පරම්පරාවට ද එහි අසිරිය විඳිමට ආරක්ෂා කර දීම අප කාගේත් යුතුකමකි.

 සටහන සහ ඡායාරූප

එම්. තාරික්

 

නව අදහස දක්වන්න