ජංගම දුරකතන මෘදුකාංග නිර්මාණ ශිල්පියකු වන රවිඳු දිල්ශාන් මේ වන විට විවිධාකාරයේ ජංගම දුරකතන යෙදවුම් (Mobile Apps) 30කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. ඒ අතුරින් බොහෝ ඒවා සිසුන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සදහා සාදන ඒවා වේ. මොහු විසින් සාදන ලද මැත් මාස්ටර් ඇප්’ (Math Master Mobile App) පසුගිය වසරේ තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ ‘ස්ටාර්ටප් ශ්‍රී ලංකා’ නව නිර්මාණ තරගාවලියේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට ද සමත් විය.
පාසල් සිසුන්ගේ අධ්‍යාපනය නංවාලීමට සමත් මෘදුකාංග නිර්මාණයට වැඩි නැඹුරුවක් දක්වන රවිඳුගේ නවතම ජංගම දුරකතන යෙදවුම වන්නේ ‘අර්ථය’ වැඩසටහනයි. එමඟින් ඕනෑම සිංහල වචනයක තේරුම පහසුවෙන් සොයාගත හැකිය. මෙම යෙදවුම භාවිත කර ඔබට සිංහල වචනවල තේරුම පහසුවෙන් සොයා ගැනීමට හැකියාව ඇත.
තම නවතම ජංගම දුරකතන යෙදවුම ගැන රවිඳු සිය අදහස් මෙසේ දක්වා සිටියේය.
“මෙම වැඩසටහනේ විශේෂත්වයක් වන්නෙ ඕනෑම කෙනෙකු හට අර්ථ ඇතුළත් කිරීමට ඇති හැකියාවයි. (ගුණාත්මක බව තහවුරු කිරීම සදහා ඔබ ඇතුළත් කරන අර්ථ ඇඩ්මින් කෙනෙකු පරික්ෂා කර අනුමත කරනු ඇත) වර්තමානයේ පොතක් පෙරළා වචනයක අර්ථය සොයානවාට වඩා ජංගම දුරකතනය ඔසසේ අවශ්‍ය දේවල් සොයා ගැනීමට සිසුන් පෙළැඹී සිටිනවා. එම නිසා එවැනි සිසුන්ට මෙම නවතම අර්ථය ජංගම දුරකතන වැඩසටහන මහත් පහසුවක් වෙනවා. මේ ඇප් එකෙන් පුළුවන් ඕනෑම සිංහල වචනයක අර්ථය පහසුවෙන් සොයාගන්න. එසේම තමන් හොයන වචනයක් මෙම වැඩසටහනේ නොතිබේ නම් තමන් එම වචනයේ තේරුම සොයාගත් පසු මෙම වැඩසටහනට එක් කිරීමට ද පහසුකම් සලසා තියෙනවා.
කුඩා ළමයාගෙ සිට වැඩිහිටියා දක්වාම වැදගත් වන ඇප් එකක් මේක. ඒ වගේම ඕලෙවල්, ඒලෙවල් සිංහල භාෂා අධ්‍යයනයට මේ ඇප් එක වැදගත්. ගුරුවරුන්ටත් මෙම ඇප්එක වැදගත්. මොකද ඉක්මනින් වචනයක අර්ථයක් හොයාගන්න පුළුවන් නිසා. සිංහල දැනුම තියෙන ගුරුමහතුන්ට වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් අපි ආරාධනා කරනවා පාසල් දරුවන්ට වැදගත් වන වචනවල අර්ථ මේ ඇප්එකට ඇතුළත් කරන්න කියලා. ඒ සහාය අපේ රටේ පාසල් දරුවන්ට මහත් පහසුවක් වේවි අධ්‍යාපන කටයුතුවලට.
අදාළ පරිශීලකයා වැඩසටහනට එක් කරන්නේ අදාළ වචනයට නිවැරැදි අර්ථය ද යන්න මෙම වැඩසටහනේ ඇඩ්මින්වරුන්ගේ පරීක්ෂාවකින් පසුවයි වැඩසටහනට එක් වන්නේ. ඒ සඳහා සිංහල භාෂාව පිළිබඳ මනා දැනුමක් තියෙන අයගේ සහාය ගන්නවා.
මේ වන විට සිංහල වචන දෙදහසක පමණ තේරුම් අපි මේ වැඩසටහනට එක් කර තියෙනවා. පරිශීලකයන් සහ අපිත් ඉදිරියේ දී තවත් වචන මෙම වැඩසටහනට එක්කරන නිසා මෙම වචන ගබඩාව තව තවත් පුළුල් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”
රවිඳු සමඟ ළහිරු සදරුවන්, චාම්ක සහන් සමරකෝන් සහ චානුක සහන් සමරකෝන් යන තිදෙනා එක්ව www.cyberyakku.com නමින් තාක්ෂණික පුවත් වෙබ් අඩවියක් ද පවත්වාගෙන යති. නිරන්තරයෙන් යාවත්කාලීන වන එම වෙබ් අඩවියෙන් යාවත්කාලීන ලෝකයේ නවතම තාක්ෂණික තොරතුරුවලින් සන්නද්ධය.
අර්ථය ඇප් එක පහත සබැඳිය භාවිත කරමින් බාගත කර ගත හැකිය.
https://play.google.com/store/apps/details?id=com.cy.sinhalarthaya
පී. කේ. බණ්ඩාර
නව අදහස දක්වන්න