නිර්පාංශු ක්‍රමයට කොච්චි | දිනමිණ

නිර්පාංශු ක්‍රමයට කොච්චි

කොච්චි මිරිස් කියන්නේ අද වන විට වෙළෙඳපොළේ විකිණෙන වඩාත් ජනප්‍රිය මිරිස් ප්‍රභේදයක්. වර්තමානයේ විවිධ කොච්චි වර්ග වගා කිරීමට පුද්ගලයන් පෙලැඹී සිටිනවා. ඒ අන්තර්ජාතික වශයෙන් එහි ඇති වටිනාකම ලොවට හෙළිදරව් කිරීමත් සමඟ. මෙරට තුළ වැවෙන නයි මිරිස් ප්‍රභේද 22ක් පමණ තිබෙනවා. ඒ අතරින් හඳුනා ගත් වර්ග කිහිපයක් පමණක් අපනයනය කෙරෙනවා. අනෙක් ඒවා දේශීය පරිභෝජනය සඳහා යොදා ගන්නවා. නයි මිරිස්, නයි කොච්චි වැනි නම් භාවිත වන්නේ ප්‍රදේශය අනුවයි. කැවුම් මිරිස්, නයි මිරිස්, නයි කොච්චි වැනි නම් භාවිත වෙන්නේ ඒ නිසයි. නයි කොච්චිවල වටිනාකම අපට දැනෙන්න පටන් ගත්තේ අන්තර්ජාතික ශේණිගත කිරීම් දුටු විටයි.

ඉතා සාර්ථක ලෙස සුවිශේෂී කාබනික කොච්චි භෝග වගාවක් පවත්වාගෙන යන කෙනෙකු ලෙස මොරවක්කෝරලය දැරණියගල අති දුෂ්කර ගම්මානයේ උපන් හේවා වෙලෙන්ගොඩගේ ශාන්ත මහතා හඳුන්වා දිය හැකියි. ඔහුගේ අපූරු නිර්පාංශු කොච්චි වගාව ගැන ශාන්ත මහතා පැවසුවේ මෙවන් අදහසක්.

"කපුටු කොච්චි (Bird Chilli) නැති නම් කළු කොච්චි ලෙස හැඳින්වෙන ප්‍රභේදය බොහෝ විට වඩේ සැකසීමේදී භාවිත කරනවා. එහෙත්, ඒවා වගා කිරීම අපහසුයි. ඒ කොච්චි වර්ගය කුරුල්ලන් විසින් කා දැමීමෙන් පසු කුරුල්ලන්ගේ අසූචි මඟින් කැලෑවල වැවෙන කොච්චි වර්ගයක්.

දේශීය නයි කොච්චි තෙත් කලාපය තුළ හොඳින් වර්ධනය වෙනවා. එයට හේතුව ජලය හොඳින් ලැබීමයි. එහෙත්, වියළි කලාපය තුළ ප්‍රචාරණය අඩුයි. මෙතෙක් ජල සැපයුමක් සහිතව නයි මිරිස් වගා කිරීමක් සිදු වී නැහැ. පසුගිය කාලය වන විට අන්තර්ජාතික සහ දේශීය වශයෙන් නයි මිරිස් සඳහා ඇති ඉල්ලුම වැඩි වීමෙන් ජලසැපයුමක් සහිතව වගා කිරීමට ගොවීන් පෙලැඹී ඉන්නවා. මේ නිසා මේ වන විට නයි මිරිස් රට පුරා වගා කරනවා වගේම එය අද වන විට තනි වගාවක් ලෙසිනුත් පැතිරිලා. මෙහි ළා කොළ පාට, කොළ පාට, ළා කහ පාට, කහ පාට, තැඹිලි පාට, රතු පාට, ළා දම් පාට, තද දම් පාට, ලුමිනස් දම් පාට, සුදු පාට හා සුදු හා දම් පාට දෙකක් ලෙස වර්ණ සංකලනයක් තිබෙනවා.

සමහර ඉදුණු නයි මිරිස් සිවුරු කහ පැහැයකින් යුක්තයි. ඒ නිසා මෙම ශාකය විසිතුරු පැළයක් ලෙස මිදුලේ වගාකිරීමට මේ වන විට ඇතැම් අය පෙලැඹී සිටිනවා. එවැනි මිරිස් කරල් 10ක් 15ක් සහිත බඳුන්ගත මිරිස් පැළයක් රුපියල් 1000ත් 1500ත් අතර මිලකට අලෙවි වන අවස්ථා ද දකින්න පුළුවන්. පහළ අතට නොව උඩු අතට කරල් තිබෙන ලුමිනස් පැහැති පැළයක් මෙවැනි මිලකට අලෙවි කළ හැකියි. ඒ විසිතුරු පැළ ලෙසින්. සමහර දේශීය නයි මිරිස් වර්ගත් මේ ආකාරයට විසිතුරු පැළ ලෙස අලෙවි කිරීමට හැකියි. මේ වන විට මේ විසිතුරු නයි මිරිස් පැළ තවාන්කරුවන්ගේ හොඳ ආදායම් මාර්ගයක් බවට පත්ව තිබෙනවා. එවැනි පැළයක් මිල දී ගත් විට තමන්ට එම වර්ගය බෝ කර ගැනීමට ද එහි ඇති පලදාව හරහා හැකියාව තියනවා. සමහර නයි මිරිස්වල හැඩය, වර්ණය අනුව දෙමුහුම් කර වෙනස්ම ආකාරයේ මිරිස් ප්‍රභේද සකස් කර ගන්න පුළුවන්. අපේ රට තුළ සැර අඩුම මිරිස් වර්ගයේ සිට හොට් චිලී වැනි සැර අධිකම මිරිස් දක්වාම මිරිස් ඉල්ලුමක් පවතිනවා. මේ නිසා වර්තමානය වන විට අමුමිරිස් වැනි ප්‍රභේද අපෙන් ඈත් වෙලා. ඒ වෙනුවට දිවට අමුතු රසයක් දෙන, කටට සැර ගතිය එක් කරන නයි මිරිස් කෙරෙහි ඇති නැඹුරුව වැඩි වෙලා . ඒකට හේතුව නයි මිරිස් රසය දැනුණු සැණින් ඒ රසයට ඇබ්බැහි වන ගුණයක් එහි පැවතීම. "

මාතර මාර/ පාලටුවට ගුණරතන මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඔහුගේ විශේෂ හැකියාවන් වන්නේ ද කෘෂිකර්මාන්තයේ වගා මාධ්‍ය වීම. ශාන්ත මහතා තම වගාව පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේයි.

"හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොට්ටාව හිරිපිටිය ප්‍රදේශයේ පර්චර්ස් 06ක් වැනි පුංචි ඉඩමක මමත්, මගේ බිරිය අනුෂ්කා පෙරේරාත්, දරුවන් දෙදෙනාත් පදිංචි වී ඉන්නවා. මා ලබපු අත්දැකීම් සමඟ අපි වගාවක් කරන්න පටන් ගත්තා. මට ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදු වුණා. මූලිකම ගැටලු දෙක තමයි වගා කරන්න භූමියේ ඉඩ නොමැති වීමත්, මේ නාගරික ප්‍රදේශයේ පස් නැති වීමත්. ඒත් මම උත්සාහය අත්හැරියේ නෑ. කොහොම හරි ස්ලැබ් එක උඩ සාර්ථකව කාබනික මිරිස් වගාවක් පවත්වාගෙන යන ගමන් කාබනික එළවළු වගාවක් කර ගෙන යනවා. විශේෂයෙන්ම නිර්පාංශු වගාව ඉතාමත් සාර්ථක විදියට කරගෙන යනවා. ඒකට සැලැස්මක් මමම නිර්මාණය කර ගෙන ස්ලැබ් එක වගාබිමක් විදියට සකස් කළා.

පස භාවිතා නොකර වෙනත් මාධ්‍යයක් භාවිතා කර කරන වගාව නිර්පාංශු වගාව ලෙස හඳුන්වනවා. හයිද්රෝපොනික් යනුවෙන් ද මේ ක්‍රමය හඳුන්වනවා. මෙයට ජලය හා කාබනික පොහොර පමණක් භාවිතා කිරීමත් සාර්ථකයි. පසෙන් ඇති වන රෝග මේ වගාවේදී ඇති වන්නේ නැහැ. ඒ වගේම මෙය ඕනෑම ක්‍රමයකට වගා කරන්නත් පුළුවන්. ඕනෑම ඉවත ලන භාජනයක් මේ වගාවට යොදා ගත හැකියි. සති දෙකෙන් දෙකට හොඳ පලදාවක් ගන්නත් පුළුවන්.

වගා බඳුනක් සකසා ගන්නා ක්‍රමය

මුලින්ම බේසමක් ගෙන එය වැසෙන සේ ගණ ඉටිකොළයක් ගෙන එය කෝප්පයක ප්‍රමාණයට කපා ඉන් පසුව එය ඇතුළට වැසෙන ලෙස දමා වටේට පටියකින් ගැට ගසා ගන්න. මෙම කෝප්පවලට කොම්පෝස්ට් හා කොහු බත් පමණක් භාවිත කළ හැකියි. බේසමේ ඇතුළට ගොම හා කුකුළු පොහොර කොම්පෝස්ට් දමා මේ සමඟ වතුර ද එක් කරන්න. ඉන් පසුව බීජ තැන්පත් කර හොඳින් සුළං වැදෙන්න සලස්වන්න ඕනෑ. සති දෙකෙන් දෙකට අස්වැන්න ගත හැකියි.

"මම රාජකාරියට යන අතර තුර තමයි මේ වගාව කර ගෙන යන්නේ. මගේ බිරිය තමයි මේ වගාවන් සාර්ථක කර ගන්න වෙහෙස වන්නේ. "යැයි ශාන්ත මහතා පැවසුවේ මහත් ආඩම්බරයෙන්.

සටහන හා ජායාරූප ප්‍රියංගි ජයසිංහ

(විශේෂ ස්තුතිය - ලසන්ත පුෂ්පකුමාර මහතාට)

නව අදහස දක්වන්න