සර්වජන ඡන්ද බලයෙන් පසු | දිනමිණ

සර්වජන ඡන්ද බලයෙන් පසු

ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මඟින් අපට සර්වජන ඡන්ද බලය හිමි වන විට එය අප ලැබූ ඓතිහාසික ජයක් විදිහටයි එදා ලෝකයා හැඳින්වූයේ. නිදහස ලැබීමටත් පෙර රටට එම බලය හිමි වන විට ලොව බොහෝ රටවලට එවැන්නක් හිමිව නොතිබිණි. රටෙහි පිරිමි ගැහැනු දෙපාර්ශ්වයටම එදා සර්වජන ඡන්ද බලය හිමි වීම තුළ අද ද ශ්‍රී ලංකාව හැඳින්වෙනුයේ ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙසය. ඒ අනුව ගත් කල රටෙහි පරමාධිපත්‍ය බලයට සියවසකට ආසන්න කාලයක් උදා වී තිබේ. එහෙත් බොහෝදෙනකු කතා කරන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාව ගැනය. ඒ තුළ නිදහස් ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බල උරුමයට දශක හතහමාරකට ආසන්න කලක් ළඟා වී තිබේ. මෙය එක් පැත්තකින් ලාංකේය දේශපාලනයේ ඓතිහාසික ගමන්මඟකි. එහෙත් ඒ ගමන්මඟෙහි වත්මන් මාවත පිළිබඳ මේ වන විට දැඩි සමාජ කථිකාවතක් ඇතිව තිබේ. ජන අරගල මඟින් කියැවෙන්නේ ඒ කථිකාවතය.

සර්වජන ඡන්ද බලය දීම ඓතිහාසික පසුබිමක් වුව ද එය දීමට එරෙහිව එදා මැකලම් ආණ්ඩුකාරවරයා විරුද්ධ විණි. ඡන්ද බලය භාවිත කිරීමට තරම් මෙරට ජනතාවට දේශපාලන බුද්ධියක් නැති බව ඔහු 1910දී පෙන්වා දුන්නේය. අද ද සුදුසු පුද්ගලයන් මැතිසබයට තෝරාපත් කර ගැනීම නොවන විට ජනතාව තමන්ටම කියා ගන්නේ ඒ දේශපාලන බුද්ධිය පිළිබඳ විය හැකිය.

සර්වජන ඡන්ද බලය හිමිව දශක නවයක් ගෙවී ගිය කල අද රටෙහි ජනතාවට දේශපාලනඥයන් නොව දේශපාලනයම එපා වන තත්ත්වයට පත්ව තිබේ. ඒ තුළ මේ වන විට 225ම එපා කියන තත්ත්වයක් ජනතාව තුළින් කියැවේ. කොළ, නිල්, රතු ලෙස බෙදී වෙන්ව ගිය ජනතාවගෙන් නැඟෙන පොදුජන හඬින් කියැවෙන්නේ සමස්ත දේශපාලනඥයන්ටම නැඟෙන අප්‍රසාදයයි. මේ වන විට ජනතාවගෙන් පුපුරා හැළෙන විරෝධය දියවන්නාව වටා කැකෑරෙමින් තිබේ. ගෙවුණු සති කිහිපය තුළ මිලියන ගණනින් ජනතා මුදල් වැය කර රැස් වූ පාර්ලිමේන්තුව තුළින් ජනතාවට ලැබුණු පිළිතුරක් නැත. ඉන් ලැබුණේ 'පාර්ලිමන්ට් ජෝක්' පමණි. පාර්ලිමේන්තු දිනක රැස්වීමකට රුපියල් ලක්ෂ අනූවක් පමණ වැය වේ. මන්ත්‍රී වරප්‍රසාද සඳහා ඉන් එහා මුදල් වැය වේ. රටේ මහජනතාවගේ මුදල් මිලියන ගණනින් වැය වුව ද මැතිසබේ කිසිවකුටත් වගේ වගක් නැති තරම්ය. ආණ්ඩුව විපක්ෂය වගේම ස්වාධීනයි කියා වෙන්ව සිටින හැමෝම ගමන් කරන්නේ වෙන වෙනම න්‍යායපත්‍රවල බව හොඳටම පැහැදිලිය. පසුගියදා නියෝජ්‍ය කථානායක තේරීමට ඡන්දයක් පැවැත්විණි. පෙර ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා එයට එක් පැත්තකින් යෝජනා වන විට තවත් පැත්තකින් ඉම්තියාස් බාකීර් මාකාර් මන්ත්‍රීවරයා යෝජනා කෙරිණි. ඉහළ ඡන්ද ප්‍රමාණයකින් සියඹලාපිටිය මන්ත්‍රීවරයා යළිත් එයට තේරී පත් විණි. මේ වන විට ඔහු යළිත් වරක් ඉල්ලා අස් වීමට තීරණය කර තිබේ. ආණ්ඩුව පැත්තෙන් ඔහුට ඡන්දය දෙන බවක් දැන නොසිටි බව මන්ත්‍රී සියඹලාපිටිය වගේම ස්වාධීන කණ්ඩායම ප්‍රකාශ කරයි. අනෙක් පැත්තට සමඟි ජන බලවේගය කියන්නේ ඔවුන් ඒ මොහොතේ හදිසියේම බාකීර් මාකාර් මන්ත්‍රීවරයා යෝජනා කළ බවයි. එහෙත් ඊට පෙර දින ඔහු යෝජනා කරන බව සජබ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි. ‍ෙම් තුළ කවුරු කවුරුත් රටෙහි පොදු ජනතාව අන්දවන බව නම් හොඳටම පැහැදිලිය.

ලක්ෂ්මන් කදිරගාමර් වැනි මෑතකාලීන දේශපාලනඥයන්ට එදා තිබුණේ ඉහළ අන්තර්ජාතික පිළිගැනීමකි. එහෙත් අද අපේ දේශපාලනඥයන් එක එක විදියට හෑල්ලුවට ලක් වනු දකින්නට ලැබේ. එය බරපතළ අන්තර්ජාතික අවධානයකට එක් කරන්නකි. එක එක විදිහේ විගඩම් නිසා ඉන්දීය පොලිසිය ලෝකයා ඉදිරියේ විහිළුකාරයන් බවට පත්වේ. ඉන්දීය චිත්‍රපට තුළ බොහෝ විට අපට ඒවා දකින්නට ලැබේ. අපේ මැති ඇමැතිවරුන් ද ජනතාව අද එවැනි මට්ටමකට තල්ලු කරමින් පවතී. ඇමැති ප්‍රසන්න රණතුංගට විශේෂඥ වෛද්‍යවරයකු ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම සමාජ මාධ්‍ය මඟින් එක එක විදිහට විග්‍රහ කර තිබිණි. වෛද්‍ය ආචාරධර්ම තුළ එවැන්නක් කළ හැකි ද යන්න මේ වන විටත් කතාබහට ලක්වන්නකි. අනෙක් පැත්තට මෙය 225ට ම එල්ල වූ ප්‍රහාරයකි.

ගෙවී ගිය දශක කිහිපය පුරා කියැවුණු දේශපාලන වංශ කතාවේ අඳුරුම පරිච්ඡේදය අද ලියැවෙමින් තිබේ. රට පුරා රැල්ලට නැඟෙන අරගල දහරාවෙන් දූෂිත දේශපාලනඥයන් වගේම දේශපාලන ක්‍රමය කුඩුපට්ටම් විය යුතුය. එහෙත් ලෝකයට නියෝජනය කෙරෙන මෙරට සමස්ත දේශපාලන දහරාව හෑල්ලුවට ලක් නොවිය යුතුය. කදිරගාමර්ලා වගේම නොබැඳි සමුළුවේ මුල් පුටුවට ගිය මැතිනි එදා රටට ගෙනා කීර්තිය ලාංකීය දේශපාලන දහරාවේ පිළිබිඹුවකි. එනිසා දූෂිත දේශපාලනයට තිත තබමින් දූෂිත දේශපාලනඥයන් කුණු කූඩයට ඇද දමන අතරම රටෙහි පොදු දේශපාලන දහරාව ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක් නොකිරීමට ද ක්‍රියා කළ යුතුය.

 

 ඉන්දික පොල්කොටුව

නව අදහස දක්වන්න