කුරුණෑගලත් දකුණු වෙරළබඩත් තැලසීමියා රෝගීන් වැඩියි | දිනමිණ

කුරුණෑගලත් දකුණු වෙරළබඩත් තැලසීමියා රෝගීන් වැඩියි

වෛද්‍ය ඉනෝකා එරංගනී වීරසිංහ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ, නියෝජ්‍ය අධ්‍යක්ෂ මහනුවර ජාතික රෝහල

  • විවාහ වීමට පෙර රුධිර පරීක්ෂාව අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්
  • මුල් අදියරේම හඳුනා ගත හොත් තැලසීමියාව අවම කර ගත හැකියි
  • මවට හෝ පියාට තැලසීමියාව ඇත් නම් දරුවාට වැලඳීමේ ප්‍රවණතාවය ඉතා ඉහළයි
  • ආහාර සමඟ තැලසීමියාවේ සම්බන්ධතාවක් නැහැ

වසරකට ලොව උපදින දරුවන්ගෙන් ලක්ෂ තුනක පමණ පිරිසක් තැලසීමියා රෝගයෙන් පෙළෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධායනය තහවුරු කර තිබේ. මෙම රෝගය පිළිබඳ ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කරනු වස් මැයි මස 08 වැනි දින අන්තර්ජාතික තැලසීමියා දිනය ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පියවර ගනු ලැබුවේ 2006 වසරේදීය. ප්‍රජා සෞඛ්‍ය ගැටලුවක් වන තැලසීමියා රෝගයෙන් ශ්‍රී ලංකාවේ ද සැලකිය යුතු පිරිසක් පීඩා විඳිති. ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගය සම්බන්ධ තත්ත්වය පිළිබඳව මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා එරංගනී වීරසිංහ මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි මේ.

l ලෝකයේ සැලකිය යුතු පිරිසක් වාර්ෂිකව තැලසීමියා රෝගයට ගොදුරු වෙනවා නේද?

මෙලොව උපදින සෑම දරුවන් හතර දෙනකුගෙන්ම අයකුට තැලසීමියා රෝගය වැළඳී ඇති බව සෞඛ්‍ය දත්ත වාර්තා තහවුරු කරනවා. මෙම රෝගීන් කොටස් දෙකකට බෙදනවා. ඒ අතුරින් අවම තැලසීමියා රෝග තත්ත්වයන් සහ උපරිම තැලසීමියා රෝග තත්ත්වයෙන් පෙළෙන අය ලෙසයි. උපරිම තැලසීමියා රෝග තත්ත්වය යටතේ පසු වන්නන් නිරතුරුව වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර පවත්වාගෙන යා යුතුයි.

l කෙනකු තැලසීමියා රෝගී තත්ත්වයට ගොදුරු වීමට බලපාන හේතු මොනවා ද?

තැලසීමියා රෝගය කියන්නේ රුධිරය ආශ්‍රිත රෝගී තත්ත්වයක්. මෙය ජානමය තත්ත්වයන් මත වැලඳිය හැකි රෝගයක්. තවදුරටත් එය පැහැදිලි කරනවා නම්, මවට හෝ පියාට තැලසීමියා රෝගය ඇත්නම් එය දරුවාට වැලඳීමේ ප්‍රවණතා ඉතා ඉහළ අගයක් ගන්නවා. තැලසීමියාව කියන්නේ රක්තහීනතාවේ එක් කොටසක්. හිමොග්ලොබින් තත්ත්වය අවම වන විට තැලසීමියා තත්ත්වය ඇති වෙනවා. සිරුරේ රුධිරය වර්ධනය වන්නේ ඇටමිදුළු ආශ්‍රිතවයි. ඒ ආශ්‍රිත මූලික සෛලවලින් රතු රුධිරාණු වර්ධනයේදී ඒ තුළ ඇති ඔක්සිජන් ගෙන යන කොටසක අවම වීමේ තත්ත්වය මත තැලසීමියා රෝගී තත්ත්වය ඇති වේ.

රතු රුධිරාණු වර්ධනයේදී ප්‍රෝටීන් අවම වීම මත මෙය හට ගන්නා බව ද කියන්න පුළුවන්. රුධිරය සම්බන්ධයෙන් ඇති වන ජානමය රෝගී තත්ත්වයක් වන තැලසීමියා මූලිකවම හඳුනා ගනු ලබන්නේ මහන්සිය හෝ කම්මැලිකම ඇති වීම මතයි. මහන්සිය සහ කම්මැලිකමට අමතරව කාලයක් පවතින මුහුණේ කැළැල්, ඇස්, නියපොතු, දිව, අල්ල ආදී තැන් සුදුමැලි වීම හෝ රත් පැහැය අඩු වීම තවත් රෝග ලක්ෂණ කිහිපයක්. මීට අමරතව සම කහ පැහැ ගැන්වීම හෝ අස්ථිවල ඇති වන රෝගී ස්වභාවයක් තැලසීමියා රෝග ලක්ෂණ විය හැකියි. දරුවකු උපතේදී තැලසීමියා රෝගී තත්ත්වයකින් පසු වන බව හඳුනා නොගත්ත ද වසර දෙකක පමණ කාලයක් ගත වීමෙන් අනතුරුව පැහැදිලි ලෙස හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා.

l තැලසීමියා උග්‍ර හා අවම තත්ත්වය ලෙස වන රෝග කාණ්ඩ දෙකක් ලක්ෂණ මොනවා ද?

අවම තැලසීමියා තත්ත්වය හෙවත් ඇල්ෆා අවධියේ දී තමන්ට තැලසීමියා රෝගය තිබේද යන්න සොයා ගත නොහැකියි. මේ ආකාරයේ අවම තැලසීමියා තතත්වයක පසුවත් රෝග ලක්ෂණ දක්නට නොලැබෙන නිසා බොහෝ තරුණ පිරිස් තමන්ගේ රෝග තත්ත්වය නොදැන විවාහ වෙනවා. අවම තත්ත්වයන් ඇති තරුණියක් සහ තරුණයෙක් විවාහ වූ විට උපදින දරුවා බීටා තැලසිමියා හෙවත් තැලසීමියා උග්‍ර තත්ත්වය කරා යන බවට සෞඛ්‍ය පරික්ෂණ දත්ත වාර්තා පෙන්වා දෙනවා. බීටා තත්ත්වයේ පසුවන තැලසීමියා රෝගියෙක් රෝහල ආශ්‍රයෙන්ම ප්‍රතිකාර ගත යුතුයි. මේ නිසා විවාහපත් වීමට පෙර තමන්ගේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම මැන බලා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්.

l අපේ රටේ තැලසීමියා රෝගීන් බහුලව වාර්තා වන ප්‍රදේශ තිබෙනවා ද?

ශ්‍රී ලංකාවේ කුරුණෑගල සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව වැඩි වශයෙන් තැලසීමියා රෝගීන් වාර්තා වී තිබෙනවා. ඒ හැරුණු විට සෑම ප්‍රදේශයකම පාහේ තැලසීමියා රෝගීන් සාමාන්‍ය වශයෙන් දක්නට ලැබෙනවා. බොහෝ විට කාන්තාවක් ගර්භනී වූ විට රුධිර පරීක්ෂාවක් සිදු කරනවා. එහිදී හිමොග්ලොබින් මට්ටම අඩු කාන්තාවන් වහා රක්තවේද සායනයට යොමු කොට ඇයට තැලසීමියා තත්ත්වය ද යන වග තහවුරු කර ගැනීමක් සිදු වෙනවා. තවත් අවස්ථාවලදී වෙනත් රෝගී තත්ත්වයන් සඳහා රුධිර පරීක්ෂාවක් සිදු කරන විට රුධිර හිමොග්ලොබින් මට්ටම පිළිබඳ දැන ගත හැකියි. එවන් අවස්ථාවලදී ද තැලසීමියා රෝගීන් හඳුනා ගැනීමට පුළුවන්. ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්ගේ වර්ධනයක් සිදු වන බව රෝහල් සායන දත්ත මඟින් තහවුරු වෙනවා. රට පුරා ඒ ඒ රෝහල් ආශ්‍රිතව පාසල් දරුවන් තැලසීමියා රෝගීන්ට ලක්ව ඇත්ද යන වග සෙවීම සඳහා සායන පවත්වා රුධිර පරීක්ෂණ සිදු කරනවා. එමඟින් හඳුනා ගන්නා තැලසීමියා දරුවන් ප්‍රතිකාර සඳහා යොමු කරනවා. මේ වන විට රට පුරා බහුතරයක් රෝහල් ආශ්‍රිතව තැලසීමියා ප්‍රතිකාර ඒකක ස්ථාපිත කර තිබෙනවා. අලසකම හෝ නිතර, නිතර මහන්සිය වැඩි බවක් දැනෙනවා නම්, තමන්ගේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු දැයි පරීක්ෂා කර ගැනීම වැදගත්. එම පහසුකම් රෝහලේ තැලසීමියා ඒකකයෙන් ගත හැකියි. සෑම තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානයකම ප්‍රතිකාර සඳහා පුහුණුව ලත් වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් සිටිනවා. ඔවුන් විසින් රෝගියෙකු ලෙස යම් පුද්ගලයෙකු හඳුනාගත් පසු පළමු අදියරේ සිටම ප්‍රතිකාර සඳහා යොමු කරනවා. විවාහපත් වීමට අපේක්ෂිත යුවළකට තමන්ගේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම මැන බලා තැලසීමියා අවධානමක් තිබේද නැද්ද යන පරික්ෂා කර ගත හැකියි.

l මෙම රෝගයට ගොදුරු වූ අයකු ආහාර ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ කෙසේ ද?

ලේ මදිකම එසේත් නැතිනම් රක්තහීනතාවය හෝ හිමොග්ලොබින් අවම වීම යන කාරණා මත තැලසීමියා රෝගියෙකු ඇල්ෆා හෝ බීටා යන මොනම කාණ්ඩයට අයත් වුවත් මෙම රෝගී තත්ත්වය මත ආහාර ගැනීම අඩු කර හෝ ආහාර වැඩිපුර ගැනීමකින් පාලනය කර ගත නොහැකියි. මෙය ජානමය රෝග තත්ත්වයක් මත ඇති වන නිසා ආහාර සමඟ සෘජු සම්බන්ධතාවයක් පවතින්නේ නැහැ. නමුත්, තැලසීමියා රෝගියකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව යකඩ බහුල ආහාර ගැනීම සුදුසු නැහැ. රතු රුධිරාණු වර්ධනයේදී ප්‍රෝටීන් සහ යකඩ එක්වීම මත සැකසෙන කොටසේ ප්‍රෝටීන් ඌනතාවය හේතුවෙන් හිමොග්ලොබින් අවම වීම සිදු වෙනවා. එම අවස්ථාවේදී යකඩ අවශ්‍යය ප්‍රමාණයට පවතින බැවින් එය වැඩි වීමෙන් වෙනත් රෝග ඇති වීමේ අවධානමක් තිබෙනවා.

l ප්‍රතිකාර මඟින් තැලසීමියාව නිට්ටාවට සුව කළ හැකි ද?

මෙය නිට්ටාවට සුව කළ හැකි රෝගයක් නොවෙයි. ජීවිත කාලය තුළ පාලනය කරමින් පවත්වාගෙන යා යුතු රෝගයක්. එ් නිසා මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම අතිශය වැදගත්. උපතේදී හෝ ඉපදී වසර දෙකක් ගත වීමෙන් පසුව රෝගය හඳුනා ගන්නේ නම්, මුල් අවස්ථාවේ සිටම ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. එවිට රෝග ලක්ෂණ බහුල ලෙස මතු නොවන පරිදි සාාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි ලෙස රෝගය පාලනය කිරීමට පුළුවන්. තැලසීමියා රෝගියකු සිටින පවුලක රෝගියා වෙනුවෙන් තවත් කවරකු හෝ පූර්ණකාලීනව කැපවීමට සිදු වෙනවා. ප්‍රතිකාර ආරම්භ කළ පසුව ද නිතර නිතර රෝහල් ගත වීමට හෝ සායන වෙත ගොස් ප්‍රතිකාර ගැනීමට සිදු වෙනවා. මුල් අදියරේම හඳුනා ගැනීමට හැකි වුව හොත් එම තත්ත්වයන් අවම කර ගත හැකියි.

l අප රටේ තැලසීමියා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය සතුටු විය හැකි මට්ටමක තිබේ ද?

පැහැදිලිවම. ඉතා ක්‍රමවත් හා විධිමත් ප්‍රතිකාර ක්‍රමවේදයක් අපේ රටේ ක්‍රියාත්මයි. මූලික ප්‍රතිකාර දිස්ත්‍රික් රෝහල්වල සිටම සිදු කෙරෙනවා. මේ නිසා මුල් අවස්ථාවේදීම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමේ පසුබිම තිබෙනවා. යම් හෙයකින් කල්ගතව හඳුනා ගන්නා තැලසීමියා රෝගීන්ගේ ලක්ෂණ මත ශල්‍යකර්මවලට පවා ලක් කළ යුතු වෙනවා. ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන රෝහල්වල පවා සිදු නොකෙරෙන බැවින් එවන් තත්ත්වයක් දක්වා තමන්ගේ රෝගය වර්ධනය වුව හොත් රෝගියා සහ පවුලේ උදවිය දැඩි අපහසුතාවයකට පත්වන බව අමුතුවෙන් කියන්න අවශ්‍යය නැහැ. මේ නිසා ඒතාක් රෝගය වර්ධනය වන තෙක් නිහඬව නොසිට මූලික අවස්ථාවේදීම ප්‍රතිකාරය සඳහා යොමු වීම ඉතාම වැදගත්. තමන්ගේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම මැන බලා ගැනීම වැදගත් බව තේරුම් ගන්න. මේ වන විට ශ්‍රී ලංකාව පුරා නිශ්චිතවම හඳුනාගත් තැලසීමියා රෝගීන් දෙදහසකට වැඩි පිරිසක් ඉන්නවා. මෙය ජානමය රෝගී තත්ත්වයක් නිසා වර්ධනය වන වේගය පිළිබඳව නිශ්චිත තීරණයක් ගත නොහැකියි. තමන්ගේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම මැන බලා ගැනීම තමාටත්, පවුලටත්, අනාගතයේ උපදින දරුවන්ටත් තමන් විසින් දෙන හොඳම දායාදය බව සිතන්න.

අසේල කුරුළුවංශ

ඡායාරූප - රුවන් මීගම්මන

 

නව අදහස දක්වන්න