ජනතා නියෝජිතයන්ට විධිමත් පුහුණු වැඩමුළු පැවැත්වීමට පියවර | දිනමිණ

ජනතා නියෝජිතයන්ට විධිමත් පුහුණු වැඩමුළු පැවැත්වීමට පියවර

රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක

පළාත් පාලන ආයතන නියෝජනය කරන ජනතා නියෝජිතයන්ට විධිමත් පුහුණුවක්දී ඔවුන් නිසි ලෙස ජනතා සේවයට යෙදවීමෙන් පළාත් පාලන ආයතන හරහා ඉතා විශාල වැඩ කොටසක් ජනතා සුබසිද්ධියට කළ හැකි බවත්, ඉදිරියේදී ඒ වෙනුවෙන් පුහුණු වැඩමුළු පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදාෙ මාතලේ ඇම්. සී. මාවතේ පිහිටි ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

"මේ වන විට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාවගේ වැඩි පැහැදීමක් නෑ. එනිසා මොවුන්ගෙන් ජනතාව ඈත් වෙමින් සිටිනවා. පළාත් පාලන ආයතන නියෝජිතයන් කෙරෙහි පවතින මේ අප්‍රසාදය නැති කළ යුතුයි. මෙයට මූලික හේතුව වන්නේ මොවුන් ජනතා ප්‍රශ්න දෙස හරිහැටි නොබැලීමයි. එනිසා බිම් මට්ටමේ සිටින දේශපාලකයන් වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ජනතාවට වඩාත් සමීප කළ යුතුයි. සෑම දේශපාලන පක්ෂයක්ම රඳා පවත්නේ බිම් මට්ටමේ සිටින ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයන්ගේ සහාය මතයි. ජනතාවට මොවුන් සමීපවීමෙන් ජනතාව ද මේ මහජන නියෝජිතයන්ට සමීපවීම නිතැතින්ම සිදු වෙනවා. දේශපාලන පක්ෂ රැඳී තිබෙන්නේ මේ මත බව අප අමතක නොකළ යුතුයි. සබැඳියාවක් ජනතාව සමඟ ඇති කරගැනීමට නම් තීන්දු තීරණ ගැනීමේදී මේ ජනතා නියෝජිතයන් ජනතාවාදී මධ්‍යස්ථ මතධාරීන් විය යුතුයි. එවිට තමන් ඉදිරියට එන සියලු අභියෝග ජයගැනීම පහසු වෙනවා. ඔවුන්ගේ අරමුණ විය යුත්තේත් එයයි.

මෙවැනි වැඩමුළුවලින් බිම් මට්ටමේ මහජන නියෝජිතයන් නායකත්වය සඳහා ද පුහුණුවක් ලබනවා. එය මොවුන්ගේ දේශපාලන භූමිකාවේ විශේෂ අවස්ථාවක්. තවද අප රටේ කාන්තා ජනගහනයට සාපේක්ෂව ඔවුන්ගේ දේශපාලන නියෝජනය අඩුවීමක් දක්නට ලැබෙනවා. දැනට පවතින පාර්ලිමේන්තුවේ මෙන්ම පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි. එමඟින් කාන්තා අයිතීන් ද සුරක්ෂිත කළ හැකියි. මෙයට සමගාමිව සමස්ත ජනතාවගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම අත්‍යවශ්‍යයි. මේ කෙරෙහි ජනතාව දැනුම්වත් කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ප්‍රථමයෙන් මේ මහජන නියෝජිතයන් දැනුම්වත් කළ යුතුයි."

මාතලේ දිස්ත්‍රික් සමූහ ඒ. ඒ. එල්. ඩයස්

නව අදහස දක්වන්න