ජපාන ජාතික දඟපන්දු යවන ක්‍රීඩිකා ෂිසුකා මියාජි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැත්වෙන ෆෙයාර්බ්‍රේක් කාන්තා විස්සයි20 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පිට පිට තරග 2ක් ජයගෙන සිටි ෆැල්කන් කණ්ඩායමට එරෙහිව ලකුණු 27ක ජයක් ස්පිරිට් කණ්ඩායමට අත් කර දුන්නාය. අන්තර්ජාතික වෘත්තීමය කාන්තා ක්‍රිකට් කරළියට එක් වූ පළමු ජපාන ක්‍රීඩිකාව බවට පත් වූ 40 හැවිරිදි ෂිසුකා මේ දස්කම පෑවේ චමරි අතපත්තු ඇතුළු ලොව ප්‍රබලතම පිතිකාරිනියන්ගෙන් සමන්විත කණ්ඩායමට එරෙහිව වීම විශේෂත්වයකි.
මේ තරගයේ කාසියේ වාසිය දිනූ ෆැල්කන් පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් ස්පිරිට් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 3කට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 147ක් පමණි. එහෙත් ජයග්‍රහණය හඹා ගිය ෆැල්කන් පිලට අනපේක්ෂිත පරාජයක් උරුම කර දුන් ෂිසුකා මියාජි සිය ඕවර 4 ඇතුළත ලකුණු 18ක් පමණක් දෙමින් කඩුලු 4ක් දවාලීමට සමත් වූවාය.
වමතින් දඟපන්දු යවන ෂිසුකා වසර 2011 කාන්තා එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරමින් පළමුවරට අන්තර්ජාතික පිටියට පිවිසි අතර, වසර 2013 අයිසීසී කාන්තා විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ජපාන කණ්ඩායමේ නායිකාව ලෙස ද කටයුතු කළාය.
නව අදහස දක්වන්න