හර්තාලය ජනතාව වෙනුවෙන් ද? | දිනමිණ

හර්තාලය ජනතාව වෙනුවෙන් ද?

මහජන විරෝධතා වැඩ වර්ජන බවට පෙරළී දැන් එය හර්තාලයක් ලෙස ඉදිරියට යයි. එහි ඉදිරි වැඩපිළිවෙළ කුමක් ද? අවසන් ඉලක්කය කුමක් ද? ජයග්‍රහණයෙන් පසු අර්බුදයට විසඳුම් දෙන්නේ කෙසේ ද? යන ගැටලුවලට කිසිදු උත්තරයක් නැත. හර්තාලය ගමන් කරන්නේ කුමන අන්තයක් කරා ද යන්න ගැන නිශ්චයක් කිසිවකුට නැත. මේ අතර අරගලකරුවන් නීතිය අතට ගෙන ක්‍රියා කරන්නට පටන්ගෙන තිබේ. ඔවුහු හිටිහැටියේ පාරවල් වසති. කඩ සාප්පු වසා දමති. පාර්ලිමේන්තුව වැටලීම පවා ඔවුන්ගේ න්‍යායපත්‍රයට අයත් බව පෙනී යයි. හර්තාලය ගමන් කරන්නේ අතිශය භයානක තැනකට බව පැහැදිලිය.

හර්තාල්කරුවෝ පාර්ලිමේන්තුවේ ප්‍රවේශ මාර්ගයක් හරස් කොට මහජන නියෝජිතයන්ගේ ගමන වැළැක්වූහ. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනෙක් සිය වාහන හරවා ගෙන ආපසු ගියහ. පිරිස හූ කියන්නට පටන් ගත්හ. සිද්ධියෙන් දේශපාලන ආස්වාදයක් ලබන පිරිස් සිටිති. එය හර්තාලයේ ජයග්‍රහණයක් සේ සලකන අය ද සිටිති. එහෙත් සිදු වී ඇත්තේ රටේ නීතිය හා බලය හර්තාල්කරුවන් අතට පත් වී රට භයානක තැනක් කරා තල්ලු වීමය. මහජන නියෝජිතයන්ට බාධාවකින් තොරව පාර්ලිමේන්තුවට යෑමට ඒමට අවස්ථාව තිබිය යුතුය. එය අහිමි වන තැනකට රට තල්ලු වී ඇත්නම් සාමාන්‍ය ජනතාවගේ තත්ත්වය කුමක් විය හැකි ද?

එක්තරා ප්‍රදේශයක දානමය පින්කමකට වැඩම කළ සංඝයා වහන්සේට අරගලකරුවෝ බාධා කළහ. මඟ හරස ්කොට වෙනත් මාර්ගයකින් වැඩම කරන්නට උපදෙස් දුන්හ. රෝහලේ ප්‍රතිකාර ලබන සිය දියණියගේ සුව දුක් විමසීමට ගිය මවකගේ ගමන වැළැක්වූ අරගලකරුවන් ඇය ආපසු හරවා ගෙදර යැවූහ. ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට යන රෝගීන් ගැන තැකීමක් අරගලකරුවන් ළඟ නැත. මළ ගෙදරකට, පින්කමකට, මඟුල් ගෙදරකට යන කිසිවකුට සමාවක් නැත. ඔවුන් එක්කො අරගලයට එක් විය යුතුය. නැත හොත් ආපසු ගෙදර යා යුතුය. හර්තාලයේ ප්‍රතිඵලය වන්නේ කැලෑ නීතිය රට තුළ ස්ථාපනය වීම ද? අරගලය ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයට නම් එය තනිකර ත්‍රස්තවාදයකි.

රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වීමට ද, රාජ්‍ය පාලනය ශක්තිමත් වීමට ද අවශ්‍ය පළමු කොන්දේසිය වන්නේ නීතියේ ආධිපත්‍යයයි. හර්තාලයෙන් බිඳී යන්නේ නීතියේ ආධිපත්‍යය නොවේ ද? රජය හදිසි නීතිය පනවා ඇතත් එය නිසි අයුරින් ක්‍රියාත්මක වේ ද යනු ගැටලුවකි. මීට පෙර ද හදිසි නීතිය කඩාගෙන පෙළපාළි යන ආකාරය අපි දැක ඇත්තෙමු. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ප්‍රචණ්ඩත්වයයි. රඹුක්කන සිද්ධියේ දී අරගලකරුවෝ රේල් පාරේ ගල් රැගෙන පොලිසියට පහර දුන්හ. රථවාහනවලටත් පහර දුන්හ. වැඩිදෙනකුගේ කතාබහට ලක් වූයේ එහිදී සිදු වූ වෙඩි තැබීම ගැන පමණි. කැරලිකරුවන්ගේ හැසිරීම හා නීතියේ බිඳ වැටීම ගැන කිසිවෙක් කතා නොකරති.

1953 මහජන හර්තාලය පැවතියේ ඩඩ්ලි සේනානායක ආණ්ඩුවට එරෙහිවය. එම කාලය තුළ ද විදේශ විනිමය පිළිබඳ ගැටලුවක් පැවතිණි. ආර්ථිකය බිඳ වැටී තිබිණි. බඩු මිල ශීඝ්‍ර‍ෙයන් ඉහළ ගියේය. හාල් සේරුව ශත විසිපහේ සිට හැත්තෑපහ දක්වා තුන් ගුණයකින් ඉහළ ගියේය. රජය දුන් මහජන පොරොන්දු එකින් එක කඩ වී ගියේය. අන්තිමේ මහජනයා පාරට බැස හර්තාල් කරන්නට වූහ. ඊට නායකත්වය දුන්නේ වමේ පක්ෂ බව කවුරුත් දනිති. හර්තාලය උත්සන්න වූ අතර කැරලිකරුවන්ට වෙඩි තබන්නට රජයෙන් නියෝගයක් ලැබිණි. කැරලිකරුවෝ නම දෙනෙක් මිය ගියහ. හර්තාලය නවතා දමන්නට වමේ නායකයෝ තීන්දු කළහ. පනස්තුනේ හර්තාලයෙන් ද මහජනයාට ලැබුණු විශේෂ දෙයක් නැත.

රට නොසන්සුන් වීමට බලපෑ මූලික හේතුව ආර්ථික අර්බුදයයි. එය පහසුවෙන් එක්වර විසඳීය හැකි අර්බුදයක් නොවේ. මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට පියවරෙන් පියවර ගැටලු විසඳා ගෙන ඉදිරියට යා යුතුය. ඒ සඳහා ශක්තිමත් ආණ්ඩුවක්, රටේ සාමකාමී තත්ත්වයක් හා පොදු එකඟතාවක් ද පැවැතීම අත්‍යවශ්‍ය වෙයි. ආණ්ඩුවට එරෙහිව විරෝධතා පැවැත්වීම පහසුය. එය දේශපාලන ආස්වාදයක් වන්නටත් පුළුවන. එහෙත් ඒ කිසිවකින් ආර්ථික අර්බුදයට විසඳුම් ලැබෙන්නේ නැත. හර්තාලයෙන් කරුණු දෙකක් සිදු විය හැකිය. පළමුවැන්න ආර්ථිකය තවත් පල්ලම් බැසීමය. දෙවැන්න රටට ලැබෙන මූල්‍ය පහසුකම් තවදුරටත් ප්‍රමාද වීම ය.

හර්තාලය දිගටම පවත්වාගෙන යෑමට ඉඩ දිය නොහැකි බව රජය පැත්තෙන් ප්‍රකාශ වී ඇත. මහජනයා සඳහා වූ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමත්, නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යෑමත් රජයක මූලික වගකීමකි. ඒ අනුව එක්තරා සීමාවකින් පසුව අරගල විසුරුවා හැරීමට රජයකට සිදු වෙයි. දැනට පවතින හර්තාලය අහිංසක එකක් යැයි කිසිවකුටත් කිව නොහැකිය. එයින් සිදුවන මහජන පීඩාව මෙන්ම ආර්ථික පරිහානිය ද අපගේ අවධානයට ලක් විය යුතු කාරණා වෙයි. රජයට මේ පිළිබඳ ඉක්මන් තීරණයක් ගැනීමට සිදු වනු ඇත. අරගලයට රටේ සියලුම ජනතාවගේ සහයෝගය නොලැබෙන බව ද සිහිපත් කළ යුතුය. සාමකාමී විරෝධතාවලට ඉඩ දිය යුතු වුව ප්‍රචණ්ඩකාරී හර්තාල්වලට ඉඩ දිය යුතු නැත.

රටේ පවතින අර්බුදයේ යථා ස්වරූපය වටහා ගැනීමේ හැකියාවක් අප කාටත් තිබිය යුතුය. අර්බුද හැඟුම්බරව විසඳා ගත නොහැකි බව ද අප තේරුම් ගත යුතුය. 1950 ගණන්වලදී යුද්ධයක පැටලී බිංදුවටම ඇද වැටුණු දකුණු කොරියාව අද සිටින්නේ කොතැනකදැයි විමසා බැලීම වටී. ඒ රටේ ජනතාවගේ ඉවසීම හා කැප වීම අපට හොඳ පාඩමක් කියා දෙයි.

නව අදහස දක්වන්න