ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මූලික කර ගනිමින් විවිධ ස්වේච්ඡා සංවිධාන, පාරිසරික කණ්ඩායම්, පර්යේෂකයන්, පාරිසරික ක්‍රියාකාරීන්, සිසුන් සහ තවත් බොහෝ පාර්ශ්වයන් එක් කර ගනිමින් සාගර ආරක්ෂණය සහ ඒ ආශ්‍රිතව සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන ව්‍යාපෘතියක් ලෙස 'Project Blue Next Generation' හඳුන්වා දිය හැකිය.
මේ ව්‍යාපෘතිය 'COP26 අභියෝගතා අරමුදලේ' සහ 'දේශගුණික සබඳතා' පිළිබඳ වැඩසටහනේම කොටසක් වන අතර, එමඟින් දේශගුණික විපර්යාසයන් ආශ්රිත අභියෝගවලට මුහුණ දීම සඳහා ලොව පුරා ජනතාව බලගන්වයි. British Council ආයතනය මඟින් කලාව, සංස්කෘතිය, අධ්‍යාපනය සහ ඉංග්‍රීසි භාෂාව යන අංශ හරහා සුවිශේෂ මෙහෙවරක් ඉටු කරන අතර, මේ ව්‍යාපෘතිය ඊට හාත්පසින්ම වෙනස් අංශයක් ආවරණය කරයි.
බොහෝ විද්වතුන් සහ නායකයන් පවසන අන්දමට වර්තමානයේ මානව වර්ගයා මුහුණ දෙන ප්‍රබලම ගැටලුව වන්නේ දේශගුණික විපර්යාසයි. දේශගුණික විපර්යාස නිසා ඇති වන අහිත කර බලපෑම් වළක්වා ගැනීම සඳහා පරිසරය ආරක්ෂා කිරීම ඉතා වැදගත්ය. එමෙන්ම බොහෝ පරිසර පද්ධති සහ වන ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින නිසා සමුද්‍රීය සහ වෙරළබඩ පරිසරය විශේෂිතය.
එනිසාම සමුද්‍රීය පරිසර ආරක්ෂණය, වෙරළ සංරක්ෂණය සහ දේශගුණික විපර්යාස ආශ්රිත ක්‍රියාකාරකම්වල නිරත වීමට තරුණ පරම්පරාවේ දැනුම වර්ධනය කිරීම සහ ඒ සඳහා ඔවුන් පෙළඹවීම 'Project Blue Next Generation' ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණයි.
මේ ව්‍යාපෘතියට සමගාමීව ප්‍රධාන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වූ අතර, එම වැඩසටහන් දෙකම අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි. මෙහි පළමු වැඩසටහන ලෙස විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන්, ‘සාගරය සුරැකීම නිවෙසින් පටන් ගනිමු’ යන තේමාව යටතේ වැඩමුළු මාලාවක් රට පුරා පැවැත්වුණු අතර, Project Blue Next Generation, කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව හා එක්ව මේ වැඩසටහන සංවිධාන කෙරිණි.
නව අදහස දක්වන්න