ඉපදුණු රටට අදහන ආගමට සෙට
මොන මොන අන්දමින් මුත් මෙහෙයක් නොකොට
පැටවුණු බරක් මෙන් ලංකා පොළොව පිට
පසු වන එක හොඳද සිංහල පුතෙකු හට?
අප බාල වියේ කට පාඩමින් ගායනා කළ ඒ දේශාභිමානී කවි අදත් අපගේ මතකයේ කොනක රැවු පිළිරැව් නඟමින් තිබේ. ඒ අවදියේ දී පාසලේ පාඩම් පොත් මෙන්ම අපේ ජීවිතද හැඩ කළ දේශානුරාගය වඩවන එවන් කවි පසු කලෙක දරුවන්ගේ සිංහල පාඩම් පොත්වලින් කෙමෙන් ගිලිහී ගොස් තිබුණේ ය.
දෙස, බස, රැස කෙරෙහි ඇති ඇල්මෙන් උදම්ව එබඳු කවි ලියූ ඇස්. මහින්ද හාමුදුරුවෝ පිළිබඳ අප උද්දාමයෙන් සිහිපත් කළේ පාසලේ දෙවැනි තුන්වැනි පන්තිවල පටන්මය.
ටිබෙට් ජාතික ඇස්. මහින්ද හාමුදුරුවෝ නැතහොත් සිකිම් මහින්ද හාමුදුරුවෝ උපතින් ලාංකිකයකු නොවුණද අපේ රටේ නිදහස වෙනුවෙන් පෑනෙන් සටන් කළ හැටි එකල අපේ ගුරුවරුන් ඉගැන්වූ අපූරුව තවමත් මතකයේ ඇත.
“සිකිම් දේශයෙන් ආ නිසා තමයි උන්වහන්සේට සිකිම් මහින්ද යන නම වැටුණේ. 1901 දී ඉපදී වයස අවුරුදු 12 දී ලංකාවට ආ මේ දරුවා පොල්ගස්දූවේ ආරාමයක හැදී වැඩුණා. පසු කලෙක කොළඹ විද්‍යෝදය පිරිවෙනෙන් ප්‍රාචීන භාෂා ඉගෙන ගත්තා. සිකිම් දරුවා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ මරදානෙ මහා බෝධි විද්‍යාලයෙන්. ඉන්පස්සේ මහණකමට ඇතුළත් වෙලා තවදුරටත් අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන ගියා.
1934 -1936 කාල සීමාවෙදි උන්වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලෙ සිංහල, පාලි, බුද්ධ ධර්මය ඉගැන්නුවා.
භාෂාවෙන් විතරක් නෙමෙයි සිතින්, ගතිනුත් සිංහලයෙක් වුණු ඇස්. මහින්ද හාමුදුරුවෝ ලංකාවට අසීමිතව ආදරය කළා. ඒ තරම් ලංකාවට ආදරය කළ වෙනත් විදේශිකයකු නැති තරම්.”
ප්‍රාථමික පන්තිවලදී අපට සිංහල ඉගැන්වූ තිසේරා ගුරුතුමිය පොල්ගහ යට පුංචි පිට්ටනියේදී පැවසූ ඒ කතා කිසිදාක අමතක නොවන තරම් ය.
“ක්‍රියාකාරී ලෙස ආගමික, සමාජ සහ සාහිත්‍ය කටයුතුවල යෙදෙමින් සිටි උන්වහන්සේ 1951 මාර්තු 16 වෙනිදා හදිසියේම අපවත්වුණා.”
ඉතා අගනා ළමා කවි රාශියක් ජාතියට දායාද කළ ඇස්. මහින්ද හිමිපාණෝ කාව්‍ය කෘති ගණනාවක් රචනා කළෝය. ඒ අතර ජාතිකාභිමානී කාව්‍ය සංග්‍රහ සතරකි. ලංකා මාතා, නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය සහ දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල ඒ ග්‍රන්ථ සතර වේ.
වර්තමානයෙහිදි රට තුළ පවත්නා දේශපාලන අස්ථාවරත්වය යටතේ අපි නැවතත් නිරන්තරවම ඇස්. මහින්ද හාමුදුරුවන්ගේ කවි සිහි කැඳවමින් සිටිමු.
ඒ අතුරින් “ලංකා මාතා” කාව්‍ය සංග්‍රහයේ එන මේ කව අදට කොතරම් ගැළපේද ?
බෑ ඉවසන්නට, බෑ ඉවසන්නට
අම්මෙනි පෙම්බර ලංකා...
මා සිත ගින්නෙහි ලූ ලුණු සේ
පුපුරන්නෙය කෝප විකාරෙන්....
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ...
දැන් උපදින්නෙම නැද්ද, උපුල්වන්
දෙවු රජුනේ ලක රක්නා......?
එහෙත් උන්වහන්සේ එම කවි පබැඳූයේ එක්දහස් නවසිය තිස් ගණන්වලදී ය. ඒ ඉංග්‍රීසි පාලනයෙන් රට මුදාගැනීම සඳහා දියත් කෙරුණු නිදහස් අරගලය වෙනුවෙනි. එදා මෙදාතුර වසර අනූ ගණනක් ම ගෙවී ගොසිනි.
කවිය යනු කොතරම් ප්‍රබල අවියක්දැයි ඒ ආශ්‍රයෙන් සිහිපත් කිරීම සැබෑ සතුටකි. එසේ වෙතත් බ්‍රිතාන්‍ය කිරීටයෙන් රට මුදාගෙන වසර 74 ක් ගතවූ පසුත් නිදහස් අරගලයක් වෙනුවෙන් යැයි නැවත ඒ කවි ගායනා කරන්නට සිදු වීම කෙතරම් ඛේදයක් ද?
නව අදහස දක්වන්න