ගෙවුණු දහඅටවැනිදා අලුත් පාසල් වාරයක් ආරම්භ වූයේය. සාමාන්‍යයෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ගෙවී යෑමෙන් ඉක්බිති ආරම්භ වන්නේ දෙවැනි පාසල් වාරයයි. එහෙත් මේ අවුරුද්දේ අවුරුදු සමයෙන් පසු ආරම්භ වන්නේ පළමු පාසල් වාරයයි. 'විපරිත කාලේන කජ්ජේන පුහුලන්' කිවේලු.
පාසල් වාරයේ මේ විපරිතබව උදා වූයේ කොරෝනා වසංගතයත් සමඟය. කොරෝනාවේ බිහිසුණුබව හමුවේ පාසල් වසා තබන්නට සිදුවිය. අවුරුද්දට සරිලන සේ සාමාන්‍ය පෙළ, ශිෂ්‍යත්ව, උසස් පෙළ විභාග ගැළපිය යුතු බැවින් පාසල් වාර වෙනස් විය. එවිට ගෙවුණු පාසල් වාරය පසුගිය අවුරුද්දේ තුන්වැනි වාරය බවටත්, අලුත් වාරය අවුරුද්දේ පළමු වාරය බවටත් පත්ව තිබේ.
කනිෂ්ඨ විද්‍යාලයකට අල්ලපු ඉඩමේ ජීවත් වන මට පාසලේ සිදු වන දෑ ඇසෙයි. දැනෙයි. ජනවාරියේ සිදු වන නව වසරට ළමයි භාර ගැනීම සිදු වූයේ පාසල් වාරය ආරම්භ වූ දාට පසුදාය. පාසල් පිට්ටනියෙන් බෑන්ඩ් කණ්ඩායමේ නාදය ද ඇසිණි. එදා මෙන් නොවේ. අද කුඩා පාසල්වලද තූර්ය වාදන කණ්ඩායම් තිබේ. ඒ හඬ සමඟ මගේ සිත ද අතීතයේ විවිධ ඉසව් සොයා ගියේය.
මා පාසල් ගුරුවරයකු වශයෙන් හා පුරා කියා පත්වීම් ලද්දේ පොළොන්නරුව දිස්ත්‍රික්කයටය. පොළොන්නරුවේ ජයන්තිපුර තඹලවැව කණිටු විදුහලටය. තෙත් කලාපීය පරිසරයේ ජීවන හුරුපුරුදුකම් තිබූ මා වියළි කලාපීය පරිසරයට හුරුවන්නට පටන් ගන්නා විටම පාසල 'නිවාසන්තර ක්‍රීඩා උලෙළ' පවත් වන්නට තීරණය කළේය.
මගේ මුල් පාසල එදවස තරුණ ආචාර්ය මණ්ඩලකින් හෙබියේ විය. අවුරුදු 35න් ඉහළ අය පස් දෙනකුට වඩා වැඩි නොවීය. තරුණ ප්‍රජාව විවිධ පළාත්වලින් විවිධ පාසල්වල උගෙන පැමිණියවුන්ය. ඔවුනට අවැසි වූයේ සන්දර්ශනාත්මක ක්‍රීඩා උලෙළක් සංවිධානය කරන්නටය. මීටර් දෙසීයේ අපූරු ධාවන පථයක් ක්‍රීඩා පිටියේ සකසන්නට හැකිය. දර්ශනිය ආචාර පෙළපාළියක් සමඟ සරඹ සංදර්ශනයක් කෙසේ හෝ කළ යුතුය.
ආචාර පෙළපාළිය නිවැරදි රිද්මයට ගමනේ යෑම හුරු කරන්නට තාලය සැපයීමට 'බේස් ඩ්‍රම්' පාසල සතුව නැත. අවුරුද්දට රබන් ගසන්නට ගන්නා රබානක් මේ සඳහා තෝරාගත යුතු යැයි අදහසක් ඉදිරිපත් විය. ගමේ ගෙවල්වල රබන් පිරික්සා හොඳම රබානක් මේ සඳහා තෝරා ගැනිණි. ආචාර පෙළපාළිය පුහුණු කරන්නට පෙර උදෙන්ම රබානක් රත් කළ යුතුය. නැතහොත් හඬ නිවැරදිව නූපදියි.
ටෙනිස් බෝලයක් පලා එයට මිටක් යොදා වාදනය කරන උපකරණය සැකසිණි. ගමේ ගිය විට මා ගෙනා ඔට්ටපාලු හීනියට කපා බෝලයක් සේ සාදා ගෙන රබන් ඩ්‍රමය වාදනය කරන තවත් උපකරණයක් සකස් කරන්නට තවත් ගුරුවරයෙක් සමත් විය.
කෙසේ හෝ වෙහෙස නොබලා වැර වෑයමින් පුරුදු පුහුණු කළ සරඹ සංදර්ශනය හා ආචාර පෙළපාළිය සකසන්නට අමුත්තන් ද නිලධාරීහු ද, ප්‍රදේශවාසීහු ද අමතක නොකළහ. රබන් බේස් ඩ්‍රාමයෙන් තාලය සැපයෙන සන්දර්ශන සිය වයලිනයේ හඬින් ඔපවත් කරන්නට 'චාමරගෙදර' නම් අපේ සංගීත ගුරුවරයා ඉදිරිපත් විය. දෑස් අන්ධ ගුරුවරයකු වුවද දෑස් පෙනෙන්නන්ට වඩා ඉදිරියෙන් වැඩ කරන චාමර මට මගේ ගුරු ජීවිතයේ දී හමුවූ අපූරු චරිතයකි.
අපූරු අචාර පෙළපාළියකට හා සරඹ සන්දර්ශනයකට රිද්මය සපයන්නේ රබානක් අනුසාරයෙනැයි කිසිවකුට කිසිවකුට ගණනක් නොවූවා සේය.
එදවස අපට අසල්වැසි පාසල්වල නිවාසාන්තර තරග විනිශ්චය කරන්නට යන්නට ආරාධනා ලැබිණි. එක් පාසලක ආචාර පෙළපාළිය සඳහා තාලය ලබා දෙන්නට තබා තිබුණේ බැරලයකි. බැරලයට තඩිබාන විට නැඟෙන නාදයට අනුව පා තබා ළමයි ආචාර පෙළපාළියේ ගමන් කළහ. බාරල් වාදනය දුටු පිළිගැනීමේ පුවරුවේ සිටි පළාතේ මන්ත්‍රීවරයාගේ මුහුණ ඇද වනු අපි දුර සිටම දුටුවෙමු.
"මීට වඩා හොඳයි මගෙ ඔළුවට තඩි බෑවානං" ඔහු සිය කතාවේදී කීවේය.
අද එදා මෙන් නොවේ. විශාල පාසල් මතු නොව, කුඩා පාසල් ද තූර්ය වාදන කණ්ඩායම්වලින් සජ්ජිතය. ඇතැම් පාසල්වල බටහිර තූර්ය වාදක කණ්ඩායම් මෙන්ම පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් ද දක්නට ලැබේ. සමහර පාසල් වයස් කාණ්ඩ අනුව සිය පාසලට තූර්ය වාදක කණ්ඩායම් ගණනාවක් සකසා ගෙන තිබේ. බටහිර තූර්ය වාදන කණ්ඩායම්වල බේස්ඩ්‍රම්, සයිඩ් ඩ්‍රම්, ඉයු ෆෝනියම් නම් විශාල නලා, මෙලෝඩිකා, සිම්බල්, එකෝඩියන්, ක්ලැරනට්, ට්‍රම්පට්, ත්‍රොම්බෝර්න්, සැක්සෆෝන්, ටියුබර් ආදී භාණ්ඩවලින් සමන්විතය. ඒ පාසලේ වත් පොහොසත්කම් හා ඒ හා බැඳෙන මාව්පියන් ආදී ශිෂ්‍ය ප්‍රජාවේ හැටියටය.
දේශීය තූර්ය වාදන කණ්ඩායම් සඳහා මහ දවුල, දවුල, තම්මැට්ටම්, ගැටබෙර, කොම්බුව, හක්ගෙඩිය, හොරණෑව, බටනලා, හක්පින්නම් ආදිය භාවිත වේ.
කොහොමටත් තූර්ය වාදන කණ්ඩායම සිය පාසලට තිලකයක් සේ පාසල් ප්‍රජාවේ සැලකිල්ලට බඳුන් වේ. ළමයි ද විසිතුරු ඇඳුමින් සැරසී තූර්ය වාදක කණ්ඩායමේ සාඩම්බර සාමාජිකයන් සේ ගමන් කිරීමට කැමතියහ. එපමණක් ද නාත. ආරාධිතයෝ ද නිකම්ම පැමිණෙනවාට වඩා තූර්ය වාදක කණ්ඩායම් සමඟ ආඩම්බරයෙන් සපැමිණිමට කැමැති සිත් ඇත්තෝ වෙත්.
මා සේවය කළ එක් පාසලක කෙටි මඟකින් ඉදිරිපස පිවිසුමෙන් අමුත්තා පහසුවෙන් කැඳවාගෙන පැමිණිය හැකිව තිබිය දී වඩා හුරු මඟකින් දිගු දුරක් ගමන් කොට තූර්ය වාදක කණ්ඩායමෙන් කැඳවා ගෙන ඒමට තීරණය කොට තිබිණි. මා කල්පනා කළේ වියපත්ව සිටි ඇමැතිවරයාට මෙය මහා වදයක් වන බවයි. මගේ කල්පනාව වැරදි විය. වියපත් ඇමැතිවරයා සාඩම්බරයෙන් ජනතාවට පෙනෙන සේ ඒ දිගු දුර සතුටින් ඇවිද ආවේය.
කෙසේ වෙතත් පාසල්වලට තූර්යවාදන භාණ්ඩ සැපයීම සඳහා සිය ප්‍රතිපාදන මුදල් වෙන් කිරීමට ඇමැතිවරු ද කැමැතියහ.
විටෙක සිය පාසල් තූර්ය වාදන කණ්ඩායම් පාසල් ප්‍රධානීන්ට හිසරදයක් වෙයි. ඒ අවට ප්‍රදේශයේ විවිධ උත්සව සඳහා තූර්ය වාදක කණ්ඩායම් ඉල්ලා සිටීම හේතුවෙනි. උත්සවයක් පාසා යන්නට සිදු වීමෙන් දරු දැරියන්ගේ අධ්‍යාපනයට බාධා ඇති වෙයි.
නව අදහස දක්වන්න