“අප්පෝ එයා නම් කෝච්චියක් වගේ කියවනවා කියවනවා ඉවරයක් නෑ. කට රිදෙන්නේ නැද්ද දන්නේ නෑ. හුස්මක්වත් ගන්නේ නැතුව එකදිගට කියවන විදිහ. එයා එක්ක නම් කතා කරලා වැඩක් නෑ. අපි වචන 10 ක් කිව්වොත් එයා වචන 100 කියවනවා. අප්පෝ එයා එක්ක නම් කතා කරන එකේ තේරුමක් නැහැ. හැමවෙලේම එයා තමයි හරි. ඕන දෙයක් ඉවසන්න පුළුවන් මිනිහගේ කියවිල්ල තමයි ඉවසන්න අමාරු.”
මේ වචන ඔයාට වරක් හෝ කොහේ කොතනකදි හරි ඇහිලා ඇති. සමහරවිට ඔයාටත් එහෙම යාළුවෝ හිතවතුන් නෑදෑයෝ ඇති. ජීවිතේ ඔනෑතරම් එවැනි මිනිසුන් මුණගැසී ඇත. පාසලේදී විශ්වවිද්‍යාලයේදි රැකියා ස්ථානයේදි නැත් නම් මඟ තොටේදි පොදු ප්‍රවාහන සේවය තුළ ඔබට ඔනෑතරම් මෙකී අත්දැකීමට මුහුණ දීලා ඇති.
ගොඩක් වෙලාවට තවකෙනෙක් කතා කරන දෙයක් සාවදානව අහන් ඉන්නවා වෙනුවට ගොඩක් අය තමන්ගේ මතය තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න තමයි උත්සහ කරන්නේ. හැම මොහොතෙම තමන් නිවැරදි තමන්ගේ මතය නිවැරදි කියලා වචන හරඹ කරන අවස්ථාවල අවසානය මහා ඛේදවාචකයන්ගෙන් අවසන්වනවා අහන්න දකින්නට ලැබිලා ඇති. පවුලක් තුළ නැත්තම් රැකියා ස්ථානයේ තමන්ගේ මිත්‍ර සමාගම තුළ කොතනක වුවත් පාලනයක් නොමැති කට නිසා වගේම තවකෙකුට සාවදානව ඇහුම්කන් දෙන්න බැරිකම නිසා බරපතළ පාඩු තමන්ට වගේම අන්‍යන්ටත් උරුම කරලා දෙනවා. කට නිසා මාළුවා නහින්නේ කියන අපේ පැරණි කියමන ඒ දේ සනාථ කරනවා.
තමන්ගේ මතය ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනතුරු ඉවසන එක සැබවින්ම පුද්ගලයකුගේ පෞර්ෂය වඩාත් ඉහළින් දිදුලන්න හේතුවක් වනවා කිව්වොත් නිවැරදියි අඩුවෙන් කතා කරලා වැඩියෙන් ඇහුම්කන් දෙන්න කියන දේ පිළිපදින්නේ කීයෙන් කීදෙනාද? අපි තව කෙනෙක් කතා කර කර ඉද්දි මැදින් ඒ කතාවට බාධාවක් කරමින් තමන්ගේ අදහස වෙනුවෙන්ම පෙනී ඉන්න එක, නොනවත්වාම කතා කරමින් අනෙක් කොනාට අවස්ථාවක් නොදෙන එක, තමන්ට මෙන්ම අනුන්ටත් කිසිම ඵල ප්‍රයෝජනයක් නැති දේවල් නිතර කතා කරන එක නිසාම සමාජයෙන් අපිව ප්රතික්ෂේපවන්න උනත් හේතුවක් වෙන්න පුළුවන්. අපි වැඩිපුර සැලකිල්ලක් නොදැක්වුවාට හැමවෙලේම අනවශ්‍ය ලෙස කියවන කෙනෙක් දිහා ටිකක් බලන් ඉන්න. ඒක එච්චරම ප්‍රියජනක දෙයක් නම් නෙමෙයි. නමුත් වර්තමාන සමාජයේ ඇතැම් විට තොරතෝංචියක් නැතිව කියවන කෙනෙක්ට යාළුවන් අතර ටිකක් වැඩි ආකර්ෂණයක් දිනා ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම අය අනික් අය අතරේ ප්‍රතික්ෂේප වෙන්න වගේම විවිධ ලේබල් වැදෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. විහිළුවක් තහළුවක් කරලා සුහදව ඉන්න එකේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි සීමාව ඉක්මවා පාලනයෙන් තොරව වචන හරඹය කරන එක නම් එච්චරම සුදුසු දෙයක් නොවෙන බවත් මතක තියා ගත යුතු දෙයක්.
අපි හොඳට ඇහුම්කම් දෙනවා නම් අපිට උපයාගත හැකි දේ බෝහෝය. නොදන්න යමක් ඉගෙන ගන්න වගේම දන්න යමක් වුවද වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට වගේම අන්යන් අතර විශ්වසනීය පුද්ගලයකු බවට පත් වෙන්නත් ඇහුම්කම් දීම කියන්නේ හරිම වටින දෙයක්. ඇතැම් අවස්ථාවලදී කුමන හෝ මානසික හෝ කායික ගැටලුවකින් පෙළෙන කෙනෙකුට හොඳින් ඇහුම්කන් දීම තරම් ඖෂධයක් නොමැති තරම්.
ඇහුම්කම් දීමේ ගුණය ඔයාට නැත්නම් සමාජය ඉස්සරහා අපහසුතාවට පත්නොවී ඒ ගුණය එකතු කරගන්න. තව කෙනෙක් කතා කරන එකට අපි හොඳින් ඇහුම්කම් දෙනවා කියන්නේ අපි ඒ කෙනාට ගෞරවයක් දක්වනවා කියන දේත් ඒ තුළින් ප්‍රකට කරනු ලබනවා. ඕන දේටත් එපා දේටත් තැනක් නොතනක් නොබලා අපේ භාෂාවෙන් කිව්වොත් කෝච්චියක් වගේ කියවන කෙනෙක් නොවී සාවදානව ඇහුම්කම් දෙන කෙනෙක් වෙන්න. තැනක් නොතනක් නොබලා අනවශ්‍ය ලෙස තවකෙනෙක්ගේ කාලය මෙන්ම තමන්ගේ කාලයත් විනාශ කරමින් කතා කරන අප්‍රසන්න පුරුද්ද ඔබටත් තිබෙනවා නම් ඔබගේ සමීප බැඳීම් සබඳතාවලින් ඔබ ප්‍රතික්ෂේප වීමටත් ඒක හේතුවක් වෙන්න පුලුවන්. සරලම උදාහරණයක් ගත්තොත් ස්වාමිපුරුෂයා භාර්යාව අතර ඇති වෙන අඩදබරවලදී තමන් සාධාරණීකරණය කරන්න දෙදෙනාම උත්සහ කරනවා හැරෙන්න අනෙකාට සාවදානව සවන් නොදෙන අවස්ථාවල අවසානය ඇතැම්විට දික්කසාදයකින් අවසන් වෙන්න පුළුවන්. බොහෝ ගැටලු විසඳා ගැනීමට සාවදානව ඇහුම්කම් දීම කියන්නේ වටිනා ගුණාංගයක්. සමාජයේ ජීවත්වන සෑම මනුෂ්‍යයකු තුළම පැවතිය යුතු පවත්වා ගත යුතු ගුණාංගයක්.
මිල අධික ඇඳුම් පැළඳුම් ඇන්දට ඉහළ අවන්හළකින් ආහාර ගත්තාට සමාජයේ ඉහළ පෙළැන්තිය ඇසුරු කළාට ඔබට තව කෙනෙක්ට සාවදානව ඇහුම්කම් දෙන්න නොහැකි නම් තැනක් නොතනක් නොමැතිව අනවශ්‍ය ලෙස නුසුදුසු දේ කතා කරනවා නම් එය ඔබගේ පෞර්ෂය තුළ ඇති සාදා ගත යුතුම අඩුපාඩුවක්.
බොහෝ වෙලාවට අන් අයගේ අවධානය තමන් වෙතට ගැනීමට නැත්නම් පිරිසක් අතර කැපී පෙනෙන්නට තොරතෝංචියක් නැතිව කියවන අය දකින්න පුළුවන්. නමුත් අපිට සමාජයේ කැපී පෙනෙන කෙනෙක් වෙන්න ඕන නම් අනවශ්‍ය විදිහට වචන හරය කරන්නම ඕන නෑ. කතා කරන කෙනා මොන මට්ටමක කෙනෙක් වුණත් වටිනා යමක් උපයා ගන්න පුළුවන් කියලා හිතනවා නම් සාවදානව ඇහුම්කන්දෙන එක වටිනවා. පුංචි දියපහරවල් කිහිපයක් එකතුවෙලා මහා ගංගාවක් හැදෙනවා වගේ පුංචි පුංචි වටිනාකම් එකතුවෙලා අපි අවට මිනිසුන් අතර වටිනාම කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ වටිනාකම් ගොන්නේ කෙනෙක්ට සාවදානව ඇහුම්කන් දෙන්න පුළුවන් ගුණය ඔබ ළඟ තියෙනවාද කියලා ටිකක් හිතලා බලන්න. සමාජය ඉදිරියේ කැපී පේන්න අමුතුවෙන් දේවල් කරන්න ඕන නෑ. මේ වගේ ගුණාංග ඔයා තුළ වගා කරගන්න. පෙනිලා කැපෙන්නේ නැතිව සියදහසක් පිරිසක් ඉදිරියේ වුවද කැපිලා පෙන්න නම් ඔයත් හොඳ සාවදානව ඇහුම්කන් දෙන කෙනෙක් වෙන්න. නිකන් තියෙන වචන කියලා කටට එන හැමදේම කියන්න යන්නේ නැතුව හරවත් යමක් කතා කරන්න නැති නම් නිහඬව ඉන්න. එක ඔයාට වගේම ඔයා අවට ඉන්න අයට පහසුවක් වේවි.
නදිෂා හේරත්
නව අදහස දක්වන්න