දුරු කතර මඟ ගෙවා එන විහඟ මිතුරෝ | දිනමිණ

දුරු කතර මඟ ගෙවා එන විහඟ මිතුරෝ

නේක විද වර්ණ සුසංයෝජනයෙන් ඔපවත් වු පිහාටු ගොමුවෙන් නිබඳවම පවන් සලමින් මිහි මත සොඳුරු බවින් පුරවාලන සුවිශේෂී සත්ව ඛාණ්ඩය වන්නේ විහඟුන්ය. පර්යටනික පක්ෂීන් නැතිනම් සංක්‍රමණික කුරුල්ලන් යන සිංහල නමින් ද මොවුන් හැඳින්වේ. වසරේ අග භාගයේදී අපේ රටට ඇතුළු වී එළැඹෙන වසරේ මැද දක්වාම රැඳී සිටිමින් සොබා සුන්දරත්වයට අලුත් මුහුණුවරක් එක් කරන සංචාරක

විහඟ මිතුරන් පිළිබඳ තොරතුරු කථා කරන්නේ මේ වන විටදීත් ඔවුන් අපේ රටට පිවිසීම ආරම්භ කර ඇති නිසාවෙනි.

ඊසාන දිග මෝසම් සුළං ප්‍රවාහයේ ඇරැඹුමත් සමඟම සංචාරක කුරුලු අමුත්තන් බොහොමයක් අප රට සොයා පැමිණීම ආරම්භ කරයි. එය ද තනි තනිව හොර රහසේ හැංගිමුත්තන් කෙළිමින් නම් නොවේ. තම නිජබිමෙන් පිටත්වී විසා නැතිවම ඕනෑම රටක් තුළට ඇතුළු වීමට අවසරය ඇත්තේ සංචාරක පක්ෂීන්ටම පමණි. ඔවුන් දුරකතර ගෙවා ගෙන එන මේ ගමනේදී ශ්‍රී ලංකාවට ප්‍රවිශ්ඨ වීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතයට ගන්නා පිවිසුම් මාර්ග දෙකකි. එනම් නැඟෙනහිර පක්ෂී පියාසර මාර්ගය සහ බටහිර පක්ෂී පියාසර මාර්ගය වේ. එම පක්ෂී පියාසර මාර්ගයන් දෙක ඔස්සේ පැමිණෙන සංචාරක පක්ෂීන් විසින් අප රට තුළට ඇතුළුවීම සදහා බහුල වශයෙන්ම භාවිතයට ගනු ලබන්නේ ඉන්දියවේ ධනුස්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරම අතර දිවෙන ස්වාභාවික පාලමක් හා සම වූ පිහිටීමක් සහිත ආදම්ගේ පාලම දූපත් සමූහයයි.

බටහිර සයිබීරියාවේ, හිමාලය කඳු වැටියට බටහිරින් සහ වයඹ දෙසින් පැමිණෙන පක්ෂීන් ඉන්දියාවේ මහා ගිරිදුර්ග සහ ගංගා නිම්න ඔස්සේ බටහිර වෙරළ තීරය දීගේ පහළ දකුණු දිග අන්තයට වන්නට පිහිටා ඇති කොමරින් තුඩුව කරා පියඹා විත්

ශ්‍රී ලංකාවේ ගල්කිස්ස සහ මන්නාරම අතර ප්‍රදේශයෙන් අප රටේ අභ්‍යන්තරයට පිවිසේ. තවත් සංචාරකයින් පිරිසක් හිමාලය කඳු වැටියට ඔබ්බට වන්නට ව්‍යාප්තව ඇති තිබ්බතය, නැඟෙනහිර සයිබීරියාව සහ මොංගෝලියාව ආදි වූ ප්‍රදේශවල සිට කඳු බාධක පසු කරමින් ගංගා නිම්න හරහා නැඟෙනහිර වෙරළ තීරයේ දකුණු දෙසට පියාසර කර පෝක් සමුද්‍ර සන්ධිය හරහා යාපනය අර්ධද්වීපයෙන් ඇතුළු වන අතර, සමහර කණ්ඩායම් තවත් ඉදිරියට නැඟෙනහිර ඉන්දියානු වෙරළ තීරය දිගේ විත් ධනුස්කොඩිය සහ මන්නාරම අතරින් ආදම්ගේ පාලම වැලි පර දූපත් ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවට පිවිස, රට අභ්‍යන්තරයේ කඳුකරයටත් - දකුණු ලක සොඳුරු කුරුලු නැවතුම වන බූන්දල තෙත් බිම බලාත් පියාසර කර සිය දිගු වෙහෙස කර වු ගමනේ විඩාව සංසිඳවා ගනී. මෙසේ පැමිණෙන විදේශීය කුරුලු අමුත්තන් අතරට නැඟෙනහිර යුරෝපීය සහ බටහිර ආසියාතික කුරුලු විශේෂ බොහොමයක් ඇතුළත් වේ. මේ අය සුලභ පර්යටනිකයින්ය.

සංක්‍රමණික පක්ෂීන් යැයි සඳහන් කළ විගස අපේ මතකයට එන පක්ෂීන් කිහිප දෙනා අතර අවිච්යාට සහ සුදු රෙදි හොරාට පළමු තැන හිමි වේ.

ශ්‍රී ලංකාව තුළ ආසියානු රැහැන් මාරාවන්ට අයත් (Asian paradise Flycatcher) උපවිශේෂ 02 ක් වාර්තා වේ. ඒ ඉන්දියාවේ හිමාලය කිට්ටුව සිට අපේ රටට එන සුදු රෙදි හොරා නැතිනම් විද්‍යාත්මකව හඳුන්වන ටර්ප්සි‍පෝන් ෆැරඩීසී (Terpsiphone paradisi paradisi/Indian Paradise - flycatcher ) සහ අපේ රට තුළ ජීවත් වන සිවුරු හොරා, ගිනි හොරා ලෙස ප්‍රකට විද්‍යාත්මකව ටර්ප්සිපෝන් ෆැරඩීසී සිලෝනෙන්සීස් වශයෙන් හඳුන්වන (Terpsiphone paradisi ceylonensis/Brown Paradise – Flycatcher) පක්ෂි විශේෂයන් දෙකය. මොවුන් ශරීරයේ වර්ණය අනුව පැහැදිලි ලෙසම වෙන් කර හඳුනාගත හැකිය.

සුදුරෙදි හොරා අප රට තුළ සුලභව දැක ගත හැකි වන්නේ සංචාරක පක්ෂීන්ගේ පැමීණීමට සමගාමීවය. එනම් ඊශාන දිග මෝසම් සක්‍රිය වත්ම අප රටට සමීප ඉන්දියාවේ හිමාලය ආසන්නයේ සිට පැමිණේ. ශ්‍රී ලංකාව තුළ නිවැසිව වසන ගහණයක්ද සිටී. මෙම උප විශේෂයේ වයස අවුරුදු තුනට අඩු පිරීමි පක්ෂීන් නිවැසි සිවුරුහොරාගේ පැහැයෙනුත්, අවුරුදු තුන සපිරෙත්ම සුදු රෙදි හොරාගේ පැහැයෙනුත් දැක ගත හැකිය. ගැහැනු පක්ෂීයාගේ වර්ණය සිවුරු හොරාගේ කිරිල්ලියගේ වර්ණය හා සමානය. වලිගයේ දිගු රැහැන් නොපිහිටයි.

ගිනිහොරා නැතිනම් සිව්රු හොරාගේ කුරුල්ලාගේ පමණක් පෙඳ, පිහාටු අගිස්සි රැහැන් හා සමැව දිගට පිහිටයි. එනම් ලිංගික ද්විරූපතාවයක් සහිත වේ. සුදුරෙදි හොරාගේ වයස අවුරුදු තුනට අඩු පිරිමි පක්ෂීන්ගේ පෙනුමට සමානය.

අභිජනනය අප්‍රේල් - ජුලි වේ. විවෘත කූඩුවකි. කෝප්පාකාර කැදැල්ල තැනීමට මකුළු දැල්, රොඩු, කෙඳි වර්ග භාවිතයට ගනී. රතුවන් දුඹුරු තිත් රටාවැති රෝසවන් බිත්තර 01-03 ත් අතර සංඛ්‍යාවක් දමයි. පහත රට වියළි කලාපයේ සහ කඳුකරයේ ව්‍යාප්ත වූ සුලබ නේවාසික පක්ෂියෙකි.

එවැනිම වු සුලබ සංක්‍රමණික පක්ෂි ගණයට නිල් පෙඳ බිඟුහරයා ද අයත් වේ. ඊශාන දිග මෝසමට සමගාමිව අප රටට පැමිණේ. කොළඹ අවටින් වාර්තා වන නිල් පෙඳ බිඟුහරයා රාත්‍රියේ ලැගීම සඳහා කැලණි ගං මිටියාවතට ඒකරාශී වන බවට වාර්තා වී ඇත. නිල් පෙඳ බිඟුහරයින්ගේ අභිජනන සමය මාර්තු - ජුලි දක්වා ව්‍යාප්ත වේ.

දුලබ සහ අයාල ගණයට අයත් වූ විහඟ විශේෂයන් දෙකක් ගෙවී ගිය පර්යටනික පක්ෂි සමයන් තුළ දී වාර්තා විය. ඒ අතරට හිස කළු පිළිහුඬුවා ද අයත්ය. පොදු කඳුකර තිරාසිකයෝ ද අයාලයන් වශයෙන් හැදින් වීමට හේතුව වී ඇත්තේ තම සුපුරුදු ගමන් මාර්ගයෙන් වෙන් වී වෙනත් රටකට සේන්දු වීමට සිදු වීමය. මොවුන්ගේ ව්‍යාප්තිය දකුණු යුරෝපය, මධ්‍යම ආසියාව හා උතුරු චීනය ආශ්‍රිතව වාර්තා වේ.

තවත් ආගන්තුක විහඟ මිතුරන් කිහිපදෙනකුම ඉකුත්ව ගිය පර්යටනික සමයන් තුළදී දකුණු වනජීවී කලාපය ආශ්‍රිතව වාර්තා විය. රෙඩ් හෙඩඩ් බන්ටින් (Red Headed Bunting) සහ රයිනෙක් වුඩ්පෙකර් (Wryneck Woodpeckers) නම් වූ සංක්‍රමණික කුරුල්ලන් උඩවලව ජාතික උද්‍යානය ආශ්‍රිතව හමු විය. පර්යටනික පක්ෂි සමය තුළ බූන්දල, කුමන බදු වනජීවී රක්ෂිත ආශ්‍රිතව බොහෝ පර්යටනික පක්ෂීන් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී.

බොහෝ විටදී තමන් පැමිණි ස්ථානය යළිත් මතකයේ තබා ගෙන පැමිණීමේ හැකියාව පර්යටනික විහඟුන් සතු අපූර්ව වූ හැකියාවක් ලෙස හැඳින්විය හැකියි. එය ඔවුන්ට හිමි වන්නේ ජන්මයෙන්මය.

තම නිජබිම් වලින් නික්මී පර්යටනික බිම් වෙත පියාසරන විහඟුන් දිවා සමයේ දී මෙන්ම රාත්‍රි කාලයේදීත් ගමන් කරයි. දිවා සමයේ පියාසරන්නන් පියාසර මග සොයා ගැනීම සඳහා භාවිතයට ගන්නේ පෘථිවියට සාපේක්ෂව සූර්යයාගේ පිහිටිමය. ඒ අය රාත්‍රියට විවේක ගනියි. රාත්‍රියට පියාසරන විහඟුන් (බොහෝ විට දී කුඩා පක්ෂීන්) ගමන් මඟ හොයා ගන්නේ තරු රටා සහ සඳෙහි පිහිටීම සැලකීමට ගෙනය. ඔවුන් සූර්යයා උදා වෙත්ම ආහාර බුදිමින් විවේක ගනියි. තාරාවන්, පාත්තයන්, හංසයන් වැනි විසල් පක්ෂීන් පියාසරන්නේ රැලේ සියල්ලන්ම සියලු දෙනාටම පෙනෙන සේ විවිධ හැඩයන් අනුගමනය කරමිනි. ඒ සියල්ලන්ගේම පහසුව පිණිසය. ඉංග්‍රීසි හෝඩියේ වී (V) අක්ෂරය, ඩබ්ලිව් (W) අක්ෂරය ආදි වු හැඩයන් මෙහිදී දැක ගත හැකිය. මුල් පෙළ නියෝජනය කරන්නේ රැලේ අත්දැකීම් බහුලම පක්ෂියාය.

 සඳමල් රශ්මී. ශ්‍රී. බුද්ධික

නව අදහස දක්වන්න