ගෑස් අවුලට වගකියන්නේ කවුද? | දිනමිණ

ගෑස් අවුලට වගකියන්නේ කවුද?

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පුපුරා යන්නේ යැයි භීතිකාවක් රට තුළ පැතිර යයි. දවසින් - දවස ඊට පොහොර වැටෙන අතර, අදත් දහයක් පිපිරිලා ආදී වශයෙන් ආරංචි පැතිර යන්නට ද පටන්ගෙන තිබේ. ගෑස් සිලින්ඩර් පුපුරා යන්නේ ද? ඒවායින් ගෑස් කාන්දු වන්නේ ද නැතහොත් ගිනි ගන්නේ ද යන්න නිශ්චය කර නැත. ගෑස් සිලින්ඩරයක් පුපුරා ගියහොත් සැලකිය යුතු විනාශයක් සිදු වන බව කවුරුත් දනිති. එහෙත් එබඳු බරපතළ අවස්ථාවක් ගැන වාර්තා වී නැත. පොලොන්නරුවේදී ගෑස් ටැංකියක් පිපිරී කාන්තාවක මරණයට පත් වූයේ යැයි සජිත් පිලේ මන්ත්‍රීවරයකු කියා සිටියද පොලිස් වාර්තාවල සඳහන් වන්නේ ඇය භූමිතෙල් සිරුරට වත්කරගෙන ගිනි තබාගෙන ඇති බවය.

රටේ පවතින ආරංචි, ප්‍රචාර හා චෝදනා කුමන තත්ත්වයක පැවතිය ද ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් කුමක් හෝ අවුලක් ඇති බව පිළිගත යුතුය. භීතිකාව පැතිර යෑමට ද, අසත්‍ය තොරතුරු සමාජගත වීමට ද බලපාන ප්‍රධාන හේතුව එම අවුල යැයි කිව හැකිය. ගෑස් සමාගම් පෙන්වා දෙන්නේ ගෑස්වල සංයුතියේ කිසියම් වෙනසක් සිදුකර ඇතත්, එය සිලින්ඩරයක් පුපුරා යෑමට හේතු - සාධක වන්නේ නැති බවය. සමාගම් කියන දේවල් ගෙඩිය පිටින් පිළිගැනීමට අවශ්‍ය නැත. මන්දයත් සෑම ව්‍යාපාරයකම ඉලක්කය අධික ලාභයක් ලැබීමය.

සමාගම් අධික ලාභ ලැබීම සඳහා විවිධාකාර උපායමාර්ග යොදයි. ඒ සෑම උපායමාර්ගයක්ම පාරිභෝගිකයාට හිතකර දේවල් නොවේ. ගෑස් යනු ද ව්‍යාපාරයකි. එතැන් සිට ගැටලුව ලිහාගන්නට උත්සාහ කිරීම බුද්ධිමත්ය.

ශ්‍රී ලංකාවට ගෑස් ආනයනය කොට ව්‍යාපාරයක් හැටියට ඒවා බෙදා හැරීමට පටන් ගෙන ඇත්තේ 1960 සිට බව සඳහන්ය. එතැන් සිට මේ දක්වා ගෘහස්ථ ගෑස් පරිභෝජනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ වන විට රටේ මුළු ජනගහනයෙන් 40%ක් පමණ ගෑස් පරිභෝජනයට හුරුවී සිටින බව ද කියති. දිනෙන් දින ගෑස්වලට ඇති ඉල්ලුම ඉහළ යන බව ද සත්‍යයකි. මේ අනුව ගෑස්වල ඇති වන අවුලක් ජාතික ගැටලුවක් බවට පරිවර්තනය වීම නොවැළැක්විය හැකි කාරණයකි. මෙහිදී මතු වන වැදගත්ම සාධකය වන්නේ ගෑස් අත්‍යවශය භාණ්ඩයක් වී තිබුණ ද එය නියාමනය සඳහා ආයතනයක් නොතිබීමය. සමාගම් ගෑස් ආනයනය කොට බෙදාහැරීමේ වගකීම පමණක් භාරගෙන සිටී. මෙය හොඳ තත්ත්වයක් නොවේ.

ආනයනය කරන ගෑස්වල තත්ත්වය, එහි සංයුතිය, සිලින්ඩර්වල තත්ත්වය, ඊට අදාළ උපාංගවල ප්‍රමිතිය ආදිය සම්බන්ධයෙන් සොයා බලන විධිමත් ක්‍රියාදාමයක් තිබිය යුතු අතර, ඒ සම්බන්ධයෙන් වගකියන ආයතනයක් ද පවත්වාගෙන යා යුතුය. එහෙත් දැනට එවැන්නක් නැත. 1960 සිට රාජ්‍ය පාලනය කරගත් කිසිවකු ඒ සම්බන්ධයෙන් සොයා බලා නැත. ඉතා ඉක්මනින් එබඳු ආයතනයක් පිහිටුවා ගෑස් ව්‍යාපාරය නියාමනයට ලක් කිරීම කළ යුතුය. ගෑස් අවුල පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති අතර, එහි අධීක්ෂණය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට පවරා ඇත.

ගෑස් සමාගම් සමඟ රජය මීට පෙර සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ගෑස්වල සංයුතිය හා සිලින්ඩරවල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ විද්වත් කමිටුවක් ද පත්කර ඇත. ගෑස් පිළිබඳ අවුල විසඳාගැනීමට නම් ඊට අදාළ විද්‍යාත්මක සත්‍යය සොයා ගත යුතුය. එය විද්වතුන්ට භාර කළ යුතු අතර, දේශපාලකයන් ඒ පිළිබඳ මත දැක්වීමෙන් ඉවත්වී සිටීම වැදගත්ය. මහජනයා පීඩාවට පත් වන ගැටලුවකදී දේශපාලකයා ඉදිරිපත් විය යුතු බව පිළිගත යුතු කාරණයකි. එහෙත් එය සිදු විය යුත්තේ හරිහැටි කරුණු ගවේෂණය කිරීමෙන් පසුවය. දැන් බොහෝ දේවල් පිළිබඳ අදහස් ඉදිරිපත් වන්නේ දේශපාලන ප්‍රහාර හැටියටය.

කල් ගත වූ ප්‍රශ්න ද, ජාත්‍යන්තරයේ ප්‍රශ්න ද, ලෝක වසංගතයේ ගැටලු ද වත්මන් ආණ්ඩුවේ ගිණුමට වැටී ඇති බව පෙනෙයි. ගුරු විදුහල්පති වැටුප් විසමතා පිළිබඳ ගැටලුව අවුරුදු විසිහතරක් තිස්සේ යට යමින් හා නැවත උඩ එමින් පැවැති අර්බුදයකි. ඊට පෙර පැවැති ආණ්ඩු ගැටලුව ගැන සාකච්ඡා කළා මිස විසඳුමක් දුන්නේ නැත. අවසන් ලෙස රට බලවත් ආර්ථික පීඩනයක පවතින අවස්ථාවක එය විසඳන්නට වත්මන් ආණ්ඩුවට සිදු විය. ගෑස් ගැටලුව ගත්ත ද, බඩු මිල ගත්ත ද, විදේශ විනිමය හිඟය ගත්ත ද ඒවා අර්බුද බවට පත්වී ඇත්තේ මීට පෙර පැවැති ආණ්ඩු හරි ප්‍රතිපත්තියක් අනුව ක්‍රියා කර නැති නිසා යැයි කිව හැකිය. ආණ්ඩුව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිය ද ජනතා ගැටලු විසඳීම සඳහා උපරිමයෙන් ක්‍රියා කරයි. එය සාධනීය ලක්ෂණයකි.

ගෑස් පිළිබඳ අවුල නිරාකරණය කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක් ඊයේ පවත්වා ඇත. ඒ හැරෙන්නට ප්‍රදේශ දොළහකින් ලබාගත් ගෑස් සිලින්ඩර් පරීක්ෂාවට ලක් කරමින් ඒ පිළිබඳ නියැදි වාර්තාවක් දීමට මොරටුව විශ්වවිද්‍යාලය ක්‍රියා කර ඇත. ගෑස් සංයුතිය වෙනස් කිරීම නිසා මේ අවුල මතුවී ඇති බව බොහෝ දෙනා කියති. එය විද්‍යාත්මකව තහවුරු කර ගත යුතු කාරණයකි. කෙසේ වුව ගෑස් සමාගම්වලට මෙහි වගකීමෙන් බැහැර විය නොහැකිය. ජීවිත හානියක් හෝ දේපොළ හානියක් හෝ මේ ඔස්සේ සිදු වන්නේ නම් ගෑස් සමාගම් ඊට වගකිව යුතුය.

 

නව අදහස දක්වන්න