සයිබර් යක්කු හැදූ ‘මැත් මාස්ටර්’ | දිනමිණ

සයිබර් යක්කු හැදූ ‘මැත් මාස්ටර්’

 

කොරෝනා වසංගතය අධ්‍යාපනය ලබන සිසුසිසුවින්ට දී ඇත්තේ පිරිමසාගත නොහැකි දඬුවමකි. එහෙත් එම කඩා වැටීම යම්තම් හෝ යම් පිරිසකට විවිධාකාර ගැටලු මධ්‍යයේ පාලනය කර ගත හැකි වූයේ ඔන්ලයින් අධ්‍යාපනය හේතුවෙනි. නි‍ෙවසේ සිට අධ්‍යාපනය ලබන සිසුසිසුවියන්ගේ අධ්‍යාපනය පසුබෑමට පිළිතුරක් සපයමින් තරුණ  කණ්ඩායමක් විසින් ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කර ඇත. ඒ ‘මැත් මාස්ටර්’ (SL Math Master) නමිනි. එක වසරේ සිට 12 වසර දක්වා ගණිත විෂය නිර්දේශය ආවරණය කරමින් තැනුණු මෙම වැඩසටහන දරුවන් ආකර්ෂණීය කර ගනිමින් විනෝදයත් සමඟ ගණිත දැනුම උකහා ගත හැක්කකි. මෙම වැඩසටහනට අමතරව තවත් එදිනෙදා ජීවිතය පහසු කරවන මෘදුකාංග රැසක් මෙම තරුණ පිරිස නිර්මාණය කර තිබේ.

මෙම පරිගණක වැඩසහටනේ නිර්මාපකයන් වන්නේ රවිඳු දිල්ශාන් සහ ළහිරු සඳරුවන් යන තරුණයන් දෙදෙනායි. මොනරාගල මො/මඩුල්ල ජාතික පාසලේ ඉගෙනුම ලැබූ රවිඳු සහ ළහිරු පරිගණක වැඩසටහන නිර්මාණකරුවන් ලෙස කටයුතු කරමින් සිටිති. ඔවුන් විසින් නිර්මාණයන කර ඇති මෙම වැඩසටහන්වල මෘදුකාංග සංවර්ධන කටයුතු රවිඳු ද Website,UI/UX නිර්මාණය ළහිරු විසින් සිදු කර තිබේ. එමෙන්ම මෙම යෙදුම්වලට අමතරව මොවුන් විසින් ‘සයිබර් යක්කු’ (Cyber Yakku) නමින් අන්තර්ජාල ගැටලු සහ ජංගම දුරකතන තාක්ෂණික ගැටලු සාකච්ඡා කෙරෙන ෆේස්බුක් පිටුවක් සහ ෆේස්බුක් සමූහයක් (FB Group) පවත්වාගෙන යයි. ඉතා විශාල පිරිසක් එකව සිටින මෙම ෆේස්බුක් සමූහය මඟින් කෙනකුට අවශ්‍ය ඕනෑම අන්තර්ජාල සහ දුරකතන තාක්ෂණික ගැටලුවකදි වහා සහායට පැමිණෙයි.

ශ්‍රී ලංකාවේ දැනට වැඩිම පිරිත් සහ බෝධි පූජා වන්දනා ගාථා ඉතා විශාල සංඛ්‍යාවක් සහිත ලොකුම එකතුව ඇතුළත් පිරිත් පොත (Pirith Potha) රවිඳු සහ ළහිරුගේ නිර්මාණයකි. මෙම යෙදුම මඟින් දැනට පිරිත් කියැවීමට මෙන්ම ශ්‍රවණය සදහා පිරිත්, බෝධි පූජා, කවි බණ, විරිදු, සෙත් පිරිත් රැය පහන් වන තුරු ඇසීමට හැකි අයුරින් නිර්මාණය කර තිබේ. එමෙන්ම මෙමඟින් විවිධ පොහොය දිනයන්හි ඇති වැදගත්කම්, අදාළ පොහොය දිනවලදී ස්වයංක්‍රීයව දැන ගැනීමට ද හැකිය.

කොවිඩ් වසංගතයත් සමඟ පාසල් අධ්‍යාපනයෙන් දුරස් වී සිටින සිසුන්ට සේම ගණිතය කිසිම කම්මැළිකමකින් තොරව ඉගෙන ගන්න 01 වසරේ සිට 12 වසර දක්වා ගණිත දැනුම වර්ධනය කර ගන්නා ක්‍රීඩාවක් ලෙස රවිදු සහ ළහිරු මැත් මාස්ටර් ජංගම දුරකතන වැඩසටහන නිර්මාණය කර තිබේ. මෙම ඇප් එක ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයකට ඉතා පහසුවෙන් ප්ලේ ස්ටෝර් හරහා නොමිලේ බාගත කර ගත හැකිය. මෙම වැඩසහටනේ තාක්ෂණික විශේෂත්වයක් වන්නේ අඩු මෙමරි ප්‍රමාණයක් යටතේ ස්ථාපනය කර ගැනීමට හැකි වීමය. එසේම අන්තර්ජාල පහසුකමක් නැති අවස්ථාවක (Offline) වුව ද භාවිත කිරිමට ඇති හැකියාවත්ය. දැනට සිංහල සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළු ලොව පුරා ඇති භාෂා අටක් සමඟ භාවිත කිරීමට හැකියාව තිබීම ද තවත් විශේෂත්වයකි.

පහසුවෙන් දරුවන් ආකර්ෂණය වන ආකාරයෙන් විවිධ සරල ගණිත ක්‍රමවල සිට ලකුණු ලබා ගැනීමේ පිළිවෙළ අනුව අසීරු ගණිත කර්ම දක්වා දිවෙන ගණිත ගැටලු රාශියක් මෙයට ඇතුළත් කර තිබේ. තවද මෙම ගණිත ගැටලු දෙදෙනකු එක්ව සිදු කරන ක්‍රීඩාවක් ලෙස දෙකට බෙදී විනෝදාස්වාදය ලබමින් විසඳීමට ද හැකිය. මෙම ක්‍රීඩා කිරීමේදී එයට ලකුණු ලෙස තරු (points) එකතු වේ. ඉදිරියේදී මෙම වැඩසටහනේ යාවත්කාලීන කිරීම් සමඟ ඇප් එකෙන් දෙනු ලබන පොයින්ට්ස් භාවිත කර නොමිලේ අන්තර්ජාලය ඔස්සේ ඔබට අවශ්‍ය පෙළ පොත්, කතන්දර පොත් (PDF මාදිලියෙන්) මිල දී ගැනීමට ක්‍රමවේදයක් සකස් කරමින් පවතී.

ඉතා විශාල ගණිත ගැටලු සංචිතයක් සහිත මෙම වැඩසටහනෙහි මුලින්ම ගණිතය ඉගෙනීම උදාහරණ මඟින් පැහැදිලි කර දී එම ලබා දුන් දැනුමින් ගනිත ගැටලුවලින් ප්‍රශ්න අසා පුරුදු වීමට ද කොටසක් සාදා ඇත. එම පුරුදු වූ ගණිත ගැටලු ක්‍රීඩාවක් සේ සෑදීමට, වැ‍රැදි නිවැ‍රැදි තේරීමට හා හිස්තැන් පිරවීම යන අංගවලින් සමන්විත වේ. එසේම ගණිත ගැටලු තරගයකට සහභාගී වන ආකාරයෙන් මෙම ඇප් එකෙහි ගැටලු විසඳීමට හැකිය. එම ගැටලු විසඳීමට නිශ්චිත කාලයක් ලබා දෙන අතර, ලයිෆ් ලයින් ලබා ගැනීමට ද අවස්ථාවක් සලසා ඇත. ක්‍රීඩාවේ සංකීර්ණ ගැටලු තිබේ නම් සිසුවාට ලයිෆ් ලයින් තුනක් භාවිත කිරීමට අවස්ථාව සලසා දී ඇත.

මෙම ඇප් එක භාවිත කිරීමට කාලයක් සකසා ගැනීම සඳහා ඇප් එක තුළ එලාමයක්ද ඇත. එසේම සිසුන්ට, ගුරුවරුන් නිර්දේශ කරන ලද ප්‍රශ්න පත්‍ර මෙම ඇප් එක හරහාම ලබා දීමේ ක්‍රමවේදයක් ද සකසා තිබේ. මෙරට ශිෂ්‍ය ප්‍රජාවට අන්තර්ජාලය හරහා නොමිලේ අධ්‍යපානය ලබා දෙන ගුරු භවතුන්ගේ එම දැන්වීම් නොමිලේ මෙම ජංගම දුරකතන වැඩසටහන හරහා ප්‍රචාරය කිරීමට ද රවිඳු සහ ළහිරු කටයුතු කර ඇත්තේ තවත් ජාතික වගකීමක් ඉටු කරලමිනි.

රවිඳු සහ ළහිරු එක්ව තැනූ මෙම ජංගම දුරකතන යෙදවුම, 2021 වසරේ ජාතික තරුණ  සේවා සභාව මඟින් පැවැත්වූ ‘ස්ටර්ටප් ශ්‍රී ලංකා’ නව නිර්මාණ තරගාවලියේදී දෙවන ස්ථානය හිමි කර ගැනීමටද සමත් විය.

ගූගල් ප්ලේහි සහ හුවාවි ඇප් ගැලරිහි cyber yakku ලෙස සර්ච් කර රවිඳු සහ ළහිරු නිමැවූ සියලුම ජංගම දුරකතන ඇප් බාගත කර ගත හැකිය. එහිදී Cyber Yakku කණ්ඩායම විසින් සාදන ලද පහළොවකට අධික ඇප් සියල්ල ඔබට ලබා ගත හැකිය.

මෙරට බහුතරයක් දුප්පත් අහිංසක සිසු, සිසුවියන්ගේ යහපත් අනාගත බලාපොරොත්තු ඉටු කර ගැනීමට සහායක් වීමේ අරමුණින් තැනූ මෙම වැඩසටහනෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස රවිඳු සහ ළහිරු මෙරට ශිෂ්‍ය ප්‍රජාවගෙන් ආයාචනා කරන අතරම, මෙම වැඩසටහනට නොමිලේ අනුමාන ප්‍රශ්න පත්‍ර සැපයිය හැකි ගුරුභවතුන්ට ද මෙහි නිර්මාපකයන් කාරුණික ආරාධනා කරන්නේ මෙම යහකාර්යයට හැකි අයුරින් දායක වීමටය.

 

පී.කේ. බණ්ඩාර 

නව අදහස දක්වන්න