ලෝක බලවතුන්ගේ පිළිකන්නක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කිරීම නිසා එදාටත් වඩා අද ගැටලුව සංකීර්ණ වී තිබේ. ඒ් සඳහා සෘජු නායකත්වයක් අවශ්‍යමය. ලක්ෂ 69ක ජනතාවක් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කරගත්තේ ඒ සඳහාය.
මෙරට මානව හිමිකම් කඩවිම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ ත්‍රිපුද්ගල පරීකෂණ කොමිෂන් සභාවක් පත්කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ්. එච්. එම්. ඩී නවාස්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමලත් දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි පත්ව සිටිති. පසුගිය 21 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ස්ථාපිත කරන ලද මෙම පරීක්ෂණ කොමිෂන් සභාවේ කාර්යයන් මෙසේ දක්වා තිබුණි.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය පිණිස කලින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් බරපතළ ගණයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, බරපතළ ගණයේ අන්තර්ජාතික මානුෂීය නීති කඩකිරීම් සහ වෙනත් එවැනි බරපතළ වැරැදි අනාවරණය කරගෙන තිබේදැයි සොයා බැලීම පළමු කාර්යය ලෙස දැක්වේ. එකී පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු අනාවරණය කරගත් මානව හිමිකම් සහ මානුෂීය නීති කඩකිරීම් සහ වෙනත් ඒවැනි වැරැදි සම්බන්ධ තොරතුරු කවරේදැයි හඳුනා ගැනීම සහ ඒ මත පදනම්ව ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කොට තිබේදැයි සොයා බැලීම දෙවැනි කාර්යය වේ. එකී නිර්දේශ අරභයා පවත්නා නීතිය ප්‍රකාරව මෙතෙක් ක්‍රියාකර ඇති ආකාරය සහ වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ගත යුතු පියවර නිශ්චය කිරීම තෙවැනි කාර්ය ලෙස දක්වා ඇති අතර පළමුවැනි සහ දෙවැනි ඡේදවලට අනුකූලව අවශ්‍ය පියවර ගනිමින් තිබේදැයි අධීක්ෂණයද කොමිෂන් සභාව වෙත පැවරී තිබේ.
අවසන් වාර්තාව කොමිසම පත් කළ දින සිට මාස 06ක් ඇතුළත ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතු අතර අතුරු වාර්තා ඉදිරිපත් කිරීමටත් කොමිෂන් සභාව වෙත බලය පවරා ඇත. ජනාධිපති රාජපක්ෂ මෙම කොමිෂන් සභාව පත් කරනුයේ නැවත වරක් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා එළැඹෙන මාර්තු මාසයේදී ජිනීවාහිදී රැස්වන මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කර ගැනීමට පිඹුරුපත් සැකසෙන වාතාවරණයකය. දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් එම සැසිවාරයට රටට එරෙහි යෝජනා වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මේ වන විටත් පවසා තිබේ.
ශ්‍රී ලංකාව එරෙහිව මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නට පටන් ගත්තේ 2009 වසරේදී එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟය. සදාකාලික යුද අරගලයක ශ්‍රී ලංකාව පැටලී සිටිනු දකිනු රිසි වූ බටහිර ජාතීන් ත්‍රස්තවාදය නිමා කිරීමට ගත් පියවර මුල සිට අනුමත නොකළ බව නොරහසකි. මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමඟ ආරම්භවූ මානුෂීය මෙහෙයුමේ විවිධ අවස්ථාවල බටහිර ජාතීන්ගෙන් එල්ල වූ බලපෑම්වලට යට නොවී කටයුතු කිරීම යුද්ධය අවසන් කිරීමේ තීරණාත්මක සාධකයක් විය.
බටහිර බලවතුන්ගේ තීරණයට පිටුපා ප්රභාකරන් ඇතුළු කොටි නඩය පරාජය කළ ශ්‍රී ලංකාව මර්දනය කිරීමේ මෙවලම ලෙස යුද සමයේ මානව හිමිකම් කඩවීම භාවිත කිරීම ආරම්භ වනුයේ ත්‍රස්තවාදය අවසන් කළ 2009 වසරේ සිටමය. එල්. ටී. ටී. සංවිධානයට හිතවත් උතුරේ මෙන්ම දකුණේ දේශපාලන පක්ෂත් ත්රස්තවාදයට අරමුදල් සැපයූ දෙමළ ඩයස්පෝරාවත් එහිලා ප්‍රධාන භූමිකාවක් ඉටු කළහ. 2010 වසරේ සිට එල්ල වූ මෙම පීඩනය හමුවේ උගත් පාඩම් සහ පරණගම කොමිෂන් සභා හරහා මානව හිමිකම් කඩවීමේ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට එවකට පැවැති මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළේය.
2015 වසරේදී යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ මෙම තත්ත්වය උඩුයටිකුරු විය. 2015 ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්ද ලබාගැනීමේ අරමුණ ඇතිව යුද සමයේ කටයුතු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිස ජනතාව හමුවේ ප්‍රතිඥා දුන්හ. ඊට ප්‍රතිචාර වශයෙන් උතුරේ ජනතාව පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය ඡන්ද භාවිත කළහ. මානව හිමිකම කඩවීම සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිපත්තිය හේතුවෙන් බටහිර ජාතීන්ගේ නිල නොලත් ආශිර්වාදයත් යහපාලන ආණ්ඩුව බලයට පත් වීමේදී හිමි වූ බව නොරහසකි.
වසර 30ක ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ප්රමුඛ කණ්ඩායම විදෙස් අධිකරණය හමුවට ගෙනයාමේ ප්රයත්නය 2015 ජනවාරි මස 09 වැනිදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව වහාම ක්‍රියාවට නැංවිණි. යහපාලන ආණ්ඩුවට අවශ්‍ය වී තිබුණේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීම කෙසේවෙතත් සිය දේශපාලන ප්‍රතිවාදියා අඩපණ කරලීම බව එම ක්‍රියාවලිය සියුම්ව නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වේ. මහින්ද සහ ගෝඨාභය ඉලක්ක කරගත් එම මෙහෙයුමට දෙමළ ඩයස්පෝරාවේ සහ බටහිර රටවලද සහය ලැබුණු අතර යුද සමයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමත් එමගින් නඩු අසා යුද නායකත්වය අන්තර්ජාතික අධිකරණය වෙත ගෙනගොස් දඬුවම් කිරීමත් එම ක්‍රියාවලියේ අරමුණ වී තිබුණේය.
ඒ අනුව ලෝක ඉතිහාසයේ පළමු වතාවට තම රටට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කෙරුණු යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දැක්වීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 ඔක්තෝබර් මස සම්මත කළ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ 30/1 සහ ඒ හා බැඳුණු 34/1 සහ 40/1 යෝජනාවලට සම අනුග්‍රාහකත්වය දැක්වීමට යහපාලන කටයුතු කළෙය. ඒ හැරුණු කොට එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ හමුදා ප්‍රධානීන් හට විවිධ චෝදනා එල්ල කරමින් අධිකරණ හමුවට කැඳවීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේ කිසිදු වගවිභාගයකින් තොරවය. යුද සමයේ සිදුවූ අතුරුදන්වීම්වලට රණවිරුවන් පැටලවීමට කටයුතු කෙරුණේ දෙමළ දේශපාලන පක්ෂ සහ ඩයස්පෝරාවේද සහාය ඇතිවය.
ඊට අමතරව අතුරුදන් වූවන්ගේ කාර්යාලයක් ස්ථාපිත කොට යුද සමයේ අතුරුදන් වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පවුල්වලට වන්දි ලබාදීමේ උත්සාහයකද යහපාලන ආණ්ඩුව නිරත විය. එවැනි දේශද්‍රෝහී ක්‍රියාවලට ඇතුළු යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙනගිය අනවරත අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 2019 නොවැම්බර් මස 16 වැනිදින පැවැති ජනාධිපතිවරණයේදී යහපාලන ආණ්ඩුවේ අවසානය සනිටුහන් විය. යුද සමයේ ආරක්ෂක ලේකම් ධුරය දරමින් ත්‍රස්තවාදය පරාජය කිරීමට තීරණාත්මක දායකත්වයක් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.
අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණේ විධායක ජනාධිපති ධුරය දරමින් යුද්ධයට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂය. ප්රභාකරන්ට එරෙහිව අවසන් සටන මෙහෙයවූ එවකට මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ධුරයට පත් විය. යුද බිමේ විරුවකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ශවේන්ද්‍ර සිල්වා ඒ වන විටත් යුද හමුදාපති ධුරයට පත්ව සිටියේය. ජනාධිපති රාජපක්ෂ සිය මංගල කතාවේදී ස්ථිරව කියා සිටියේ නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය. එසේම ජනාධිපතිවරණ සමයේ ප්‍රතිඥා දුන් ආකාරයටම ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව තිබූ 30/1 ඇතුළු සෙසු යෝජනාවලට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වන බවත් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
එසේ වුවද තිරසාර සාමය සහ සංහිඳියාව දිනාගනු වස් වගවීමත් මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීම සඳහා එක්සත් ජාතීන් සහ එහි නියෝජිතායතන සමග සහයෝගයෙන් වැඩ කිරීමත් රජයේ ප්‍රතිපත්තිය වී ඇති බවක් පෙනෙන්නට තිබේ. විසඳීමට ඇති සෙසු ගැටලු සඳහා ප්‍රජාතාන්ත්‍රික සහ නීතිමය ක්‍රියාවලිය තුළ විසඳුම් දීමටත් අවශ්‍ය පරිදි ආයතනික සංශෝධන කරමින් යුක්තිය හා සංහිඳියාව තහවුරු කිරීමටත් රජය කැපවී සිටින බව මෙකී පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරමින් ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට දැන් වසරකුත් මාස දෙකක පමණ කාලයක් ගෙවී තිබේ. ඉන් වසරක පමණ කාලයක් ගත වූයේ කොවිඩ් වසංගතයත් සමඟය. කොවිඩ් වසංගතය මැද වුවත් ජනාධිපතිවරණයේදී ජනතාව හමුවේ තැබූ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව උත්සාහ කරන ආකාරය පැහැදිලිව පෙනෙන්නට ඇත. රටේත් ජනතාවගේත් උන්නතිය උදෙසා එසේ කටයුතු කරමින් සිටින අතරතුරේ ලෝක බලවතුන්ගේ බලපෑම්වලට මුහුණපෑමටත් අප වැනි රටවලට සිදුවීම සාමාන්‍ය දෙයකි.
යුද සමයේ අවසාන භාගයේදී යුද්ධය නතර කරලීමට බලපෑම් කිරීමට මෙරටට පැමිණි කුෂ්නර්, මිලිබෑන් ප්රමුඛ බටහිර නියෝජිත පිරිස ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව ඉස්මත්තට ගෙන ගොස් කරුණු කාරණා වටහා දීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කළ ආකාරය තවමත් ජනතාවට අමතක නැත. එහෙත් යහපාලන ආණ්ඩු සමයෙන් පසු තත්ත්වය වෙනස් වී තිබේ. ලෝක බලවතුන්ගේ පිළිකන්නක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කිරීම නිසා එදාටත් වඩා අද ගැටලුව සංකීර්ණ වී තිබේ. ඒ් සඳහා සෘජු නායකත්වයක් අවශ්‍යමය. ලක්ෂ 69ක ජනතාවක් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කරගත්තේ ඒ සඳහාය.
ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් ත්‍රස්තවාදය පරාජය කරමින් ලෝකය හමුවේ පෙන්වන ලද නිර්භීතභාවය පිළිගැනීමට බටහිර බලවතුන් සූදානම් නැත. එබැවින් දිගින් දිගටම ශ්‍රී ලංකාවට එරෙහි නොයෙකුත් බලපෑම් එල්ල කිරීමට ඔවුහු කටයුතු කරති. වඩා වැදගත් වන්නේ එවැනි බලපෑම්වලට රජයක් ලෙසින් මුහුණදෙන ආකාරයයි. නොබැඳි ප්‍රතිපත්තිය අනුගමනය කළ ද ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කරන බව ජනාධිපති රාජපක්ෂ පැහැදිලිව කියා තිබේ. ඉදිරියේදී එල්ල විය හැකි අන්තර්ජාතික බලපෑම්හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ආණ්ඩුව මෙරට ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ආකාරය දෙස රටේම අවධානය යොමුව තිබෙන බව අමතක කළ යුතු නැත.
නව අදහස දක්වන්න