ගෝලීය වසංගත තත්ත්වයකදී ඇඳිරි නීතිය පැනවීමෙන් ඇතිවන සමාජ දුරස්ථභාවය මෙන්ම පාසල් හා ළමා සාමූහික එකතුවීම්වලට බාධා මතුවීම හේතුවෙන් ඇතිවන සම්බන්ධතා දුරස්ථභාවය ළමයින්ගේ පැවැත්ම වර්ධනය කරන සමාජානුයෝජනය සඳහා එල්ල කර තිබෙන්නේ දැඩි බලපෑමකි. මේ හේතුවෙන් මානසිකව දුබල වන දරුවන් කෙරෙහි නිවාස සහ සියලු රැක බලා ගැනීමේ ආයතන තුළින් දැඩි අවධානයක්, සෙනෙහසක්, දයාවක් සහ මඟ පෙන්වීමක් අවශ්‍ය වේ.
දරුවන් යනු මිනිසාට ලැබිය හැකි විශිෂ්ටතම සම්පතකි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් 1989 නොවැම්බර් 20 වැනි දා අනුමත කරගත් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියට අනුව 'අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් නීත්‍යානුකූලව සැලකෙන්නේ ළමයින් වශයෙනි.' එසේම 'මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය', 'අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය', 'විශ්වයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය' යන අර්ථ දැක්වීම් මානවයාගේ මූලික හා වැදගත්ම ජීවන කොටස නිරූපණය කරන ‘ළමයා‘ යනු කවරෙක් ද යන්න වටහා දීමට සමත්ය.
දියුණු වන ලෝකයේ දරුවන් ආශ්‍රිතව ඇති වූ යහපත් මෙන්ම අයහපත් සිදුවීම් හේතුවෙන් ළමා අයිතීන් හා නිදහස වෙනුවෙන් විවිධ අණ පනත් හා ප්රඥප්ති ලෝකයේ නිර්මාණය වූයේ ළමයින් සැබැවින්ම සුරක්ෂිත විය යුතු වීම හේතුවෙනි. එම සුරක්ෂිතතාවය සැබෑවට සහතික වී තිබේ ද? පිළිතුර අවිවාදාත්මකය. මානව හා ස්වාභාවික ක්‍රියාකාරකම් හේතුවෙන් වන සියලුම ව්‍යසනයන්හිදී ළමයින් යන අනාගත ලෝක ප්‍රජාව අතිශය අනාරක්ෂිතය. කොවිඩ්-19 ලෝක වසංගතය එයට කදිම උදාහරණයකි. පාසල් වසා දැමීම, සමාජ දුරස්ථභාවය, දුර්වල පෝෂණය, අන්තර්ජාල භාවිතය වැඩි වීම, සයිබර් හිරිහැර වැනි කාරණා දරුවන්ගේ ජීවිත ශීඝ්‍ර අවදානමකට ලක් කර තිබේ. කොවිඩ්-19 වසංගතයේ සමස්ත බලපෑම හේතුවෙන් අතිරේක ළමා විවාහ මිලියන 13ක් වනු ඇතැයි ද අනාවැකි පළ වී තිබේ.
වසංගතයේ බලපෑම
වෛද්‍ය දෘෂ්ටි කෝණයෙන් බලන කල ළමයින් ගෝලීය වසංගතවල අවදානමට ලක්වන කාණ්ඩ අතර පසු පෙළක සිටින බව වාර්තා වේ. එනමුත් දරිද්‍රතාවයෙන් ජීවත් වන, ආබාධ සහිත, නිවෙසින් බැහැර රැකවරණය ලබන, රැඳවුම් භාරයේ සිටින, සරණාගත දරුවන් සහ ළමා ශ්‍රමිකයන් සිටින්නේ අවදානමේ මුල් පෙළේය. ළමයින් සැලකිය යුතු සංඛ්‍යාවක් පීඩාවට පත් වූ විට දරුණු රෝග ලක්ෂණ නොපෙන්වන බව අධ්‍යයනවලින් සොයාගෙන ඇත. වැඩිහිටියන්ට වඩා දරුවන්ගේ සෛලයක් තුළට වසංගතය ඇතුළු වී මරණීය ගැටලු ඇති කිරීමට ඇති අවස්ථාව අවමය. තරුණයන්ට හා වැඩිහිටියන්ට වඩා, දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වසංගතය පාලනය කිරීමට, වෙනත් ගැටලු ඇති නොකර වසංගතය තුරන් කිරීමට යම් හැකියාවක් ඇති බව ද සොයාගෙන තිබේ. මීට අමතරව චීනයේ ළමා රෝග පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ළමයින් හට නිදන්ගත හෘද හා ශ්වසන රෝග තත්ත්ව අඩු බැවින් වැඩිහිටියන්ට සාපේක්ෂව කොරෝනා වැනි වසංගත ආසාදනවලට දරුවන් ප්‍රතිරෝධී බවයි. නමුදු, ක්‍රියාකාරීත්වය අතින් තවමත් කොවිඩ්-19 වසංගතය පිළිබඳ ස්ථිරසාර ඖෂධ හා තතු නොමැති බැවින් ළමයින් ඉන් ප්‍රවේසම් කර ගත යුතුය.
මේ පිළිබඳ කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙවැනි වෛරස් තත්ත්වවලදී දරුවන්ගේ උප්පත්තිය සමඟ ශරීරය තුළ නිපදවෙන ප්‍රතිදේහ හේතුවෙන් වෛරසයේ මරණීය හෝ අසාධ්‍ය තත්ත්වයන් ඇති වීමේ අවදානම විරල බවයි. උප්පතියෙන් විවිධ රෝගාබාධයන්ට මුහුණ දී ඇති දරුවන්ට විනා එවැනි මරණීය තත්ත්වයන් ලෝකයේ දරුවන්ගෙන් වාර්තා නොවන බවත් වැඩිහිටියන්ගේ ප්‍රතිශක්තිය අවම වීමත් දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතය, දියවැඩියාව, අධික රුධිර පීඩනය හා ඇදුම වැනි බෝ නොවන රෝගවලින් පීඩා විඳීමත් හේතුවෙන් මරණීය හෝ අසාධ්‍ය තත්ත්වයන් වාර්තා වන බවත් අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේ ය. කෙසේ වුවද මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම හා වසා දැමීම සම්බන්ධයෙන් විවිධ මතවාද පැතිර ගිය ද දරුවන් මේ වයිරස තත්ත්වයට සෞඛ්‍යාරක්ෂිතව මුහුණ දීම සඳහා පුරුදු පුහුණු කළ යුතු බවත් විජේසූරිය මහතාගේ අදහසයි.
නීතිය ගැන දැනුවත් ද?
කොරෝනා වසංගත ව්‍යාප්තියෙන් නිවාස තුළ සිර වූ ළමයින්ගේ ආරක්ෂාවට වෙනත් තර්ජන එල්ල විය. ඒ ගෘහස්ථ හිංසනය, නොසලකා හැරීම සහ ප්රචණ්ඩත්වය යනාදියයි. ළමා අපයෝජන ද වාර්තා වූ අතර වාර්තා නොවී සැඟ වී ගිය අවාසනාවන්ත පුවත් ද ඒ අතර තිබේ. ලෝකයේ විවිධ රටවලින් අඩු වැඩි වශයෙන් එවැනි සිදුවීම් වාර්තා වී තිබේ. මෙරට 2005 අංක 34 දරන ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත අනුව ළමයින්ට, කාන්තාවන්ට හා හිංසනයට ලක්වන ඕනෑම පාර්ශ්වයකට එරෙහි ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියාවකටම විරුද්ධව පියවර ගැනීමට විධිවිධාන සලසා තිබේ. එවැනි සිදුවීම් වාර්තා වීම වැඩි අගයක් ගැනීම සහ ළමයින් ඇතුළු විවිධ පුද්ගලයන් ගෘහස්ථ හිංසනයෙන් පීඩාවට පත්ව අසරණව සිටීමට මූලික හේතුවක් වී ඇත්තේ ඒ පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් හා අවබෝධයක් නොමැති වීමයි.
ළමා උපකාරක සේවාවේ පිහිට
ශ්‍රී ලංකාවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පසුගිය කොරෝනා ඇඳිරි නීතිය සමයේ කළ අනාවරණවලින් පෙනී ගියේ ලෝකයේ දරුවන් මුහුණ පා සිටින අනාරක්ෂිත තත්ත්වයට මෙරට ළමයින් ද මුහුණ පා ඇති බවකි. විශේෂයෙන් ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක සේවාව ශ්‍රී ලාංකීය දරු දැරියන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් වෙන් කරන ලද හදිසි දුරකතන ඇමතුම් සේවාවට රැසක් ලැබී තිබුණි. ඒවා අතර ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය, අපයෝජනය, සූරා කෑම සම්බන්ධයෙන් ලැබුණු ඇමතුම් ප්‍රධානය. කොවිඩ්-19 ඇඳිරි නීතිය පනවා තිබූ 2020 මාර්තු 16 සිට අප්‍රේල් 7 දක්වා වූ සති තුනක කාලයේ වාර්තා වී ඇති ළමා හිංසනය පිළිබඳ පැමිණිලි අනුපාතය 10% සිට 40% දක්වා ඉහළ ගොස් තිබේ. මේ පුවත සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලාංකීය නියෝජිතයකු අදහස් දක්වා තිබුණේ මෙසේය. “කොඩිඩ් ඇඳිරි නීති සමය තුළ පාසල් වසා දමා ඇති අතර, දවස පුරා දරුවන් නිවසේ සිටීමෙන් බොහෝ මවුපියන්ට වැඩ කටයුතු කිරීමට නොහැකි වී තිබේ. මානසික ආතතිය, හුදකලාව සහ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ගෘහස්ථ හිංසනය, ළමා හිංසනය සහ අපයෝජන වීමේ අවදානම වැඩි කරයි. පළමුවෙන්ම, මවුපියන් ඇතුළු පවුලේ සාමාජිකයන් සිය දරුවන් සමඟ ගුණාත්මක කාලයක් ගත කළ යුතුව තිබේ. මානසික ආතතිය හමුවේ ශාරීරික හානියක් නොවන ‘ධනාත්මක විනයක්’ පුහුණු කර ගත යුතුය. අනතුරේ සිටින දරුවකු ගැන පුවතක් අනාවරණය වුවහොත් වහාම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA)1929 උපකාරක දුරකතන අංකයට අමතන ලෙසත් එම ආයතනය ජනතාව දැනුවත් කරයි.
සතියේ සත් දින පුරාවටම පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම දුරකතන සේවාව ශ්‍රී ලාංකීය දරුවන් වෙනුවෙන් ආරම්භ කර ඇති අතර එය පැමිණිලිකරුවාගේ සිට විත්තිකරුවා ද අදාළ සිදුවීමට සම්බන්ධ ළමයා හෝ ළමයින් ඇතුළු සියලුම සාමාජිකයන්ගේ රහස්‍යභාවය සුරකින්නකි. එම රහස්‍ය සේවාව නොමිලේ සැපයෙන අතර, ජාතියේ යුතුකමක් ලෙස සලකා මෙරට දරුවන්ගේ කායික හා මානසික සුරක්ෂිතතාව වෙනුවෙන් කැපවීමට සියලුම ශ්‍රී ලාංකිකයන් එම සේවාව හා එක් විය යුතුව තිබේ.
ළමා අයිතිවාසිකම් ප්රඥප්තිය
ඉතිහාසයේ ශ්‍රී ලංකාව දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත දේශයක් වුව ද ආක්රමණික විදේශීය බලවේග සහ වෙනත් සාධක නිසා ඇති වූ සදාචාරාත්මක පිරිහීම් ගෝලීයකරණය සමඟ දෙගුණ තෙගුණ වන්නට පටන් ගත්තේය. එවන් සමාජ තත්ත්වයක් මත ළමා අපයෝජන, සියවස් ගණනාවක් පුරා රහසේ ව්‍යාප්ත වෙමින් පැවති උවදුරක් බවට පත් විය. 80 දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ ළමා කායික දණ්ඩනය වරදක් බව හඳුනා ගැනිණ. 90 දශකයේ මුල් භාගයේ ළමා ලිංගික අපයෝජනය බරපතළ වරදක් බව හඳුනා ගැනුණු අතර, ළමා අපයෝජනයන්හි කෙටි කාලීන මෙන්ම දිගු කාලීන අයහපත් බලපෑම් වෙනුවෙන් ක්‍රියාත්මක වීමටත් ළමයින්ට එරෙහි විවිධ ප්රචණ්ඩ ක්‍රියා මෙන්ම කෲරත්වයන්ට එරෙහිව පියවර ගැනීම සඳහාත් අපේ රට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්රඥප්තිය සමඟ එක් විය.
සංවර්ධනාත්මක අවධියක් ලෙස ළමා විය අන්තර්ජාතික වශයෙන් පිළිගැනීම සඳහා ද ළමයින්ට හිමි මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ නීතිමය රාමුවක් සලසා දීමේ අරමුණින් වර්ෂ 1989 නොවැම්බර් මස 20 දින දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳව ප්රඥප්තිය (CRC)සම්මත කර ගන්නා ලදී. මෙම ප්රඥප්තිය වගන්ති 54කින් සමන්විත වන අතර, මුල් වගන්ති 42 මඟින් ළමයා පිළිබඳව නිර්වචනය, ළමයින්ගේ අයිතිවාසිකම්, ළමයින්ගේ ආරක්ෂාව, සම්බන්ධව මාපියන් ඇතුළු වැඩිහිටියන් වෙත පවත්නා වගකීම විස්තර කර ඇත.
ළමා අයිතිවාසිකම් පිළිබඳ මෙරට 1883 දී මුල් වරට සංග්‍රහ කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රතිපාදන දැක්වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 75 සහ 76 වගන්ති අනුව වයස අවුරුදු 8ට අඩු දරුවකු විසින් කරනු ලබන ඕනෑම ක්‍රියාවක් හෝ ප්‍රමාණවත් ලෙස පැසුණු බුද්ධියක් නොලත් වයස අවුරුදු 8ට වැඩි එහෙත් 12ට අඩු දරුවකු විසින් කරනු ලබන කිසිදු ක්‍රියාවක් නීතිය අනුව අපරාධයක් ලෙස නොසැලකේ. එමෙන්ම වයස අවුරුදු 12ට අඩු දරුවකු මාපියන්ගෙන් කෙනකු හෝ භාරකරුවකු විසින් අතහැර දැමීම දඬුවම් ලැබිය හැකි වරදකි. ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන තරුණයන් පිළිබඳ ආඥා පනත, ස්ත්‍රීන්, තරුණ හා ළමයින්ගේ ශ්‍රමය අයථා ලෙස ගැනීම වැළැක්වීම සඳහා වන පනත වැනි තවත් පනත් කිහිපයක් ද ඇත.
1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනතට අනුව,
*ළමයින් කෲර වධහිංසාවලට භාජනය කිරීම
*ළමයින්ගේ අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම
*ලිංගික අපචාරයන් සඳහා ළමයින් සැපයීම
*අසත්‍ය හෝ අශ්ලීල දර්ශනයකට හෝ ප්රකාශනයකට ළමයකු යොදා ගැනීම හෝ ඒ සදහා අනුබල ලබා දීම
* එවැනි ප්රකාශනයක් සන්තකයේ තබා ගැනීම, විකිණීම බෙදා හැරීම හෝ ඒ සඳහා අනුබල දීම
යන ළමා අපචාර පිළිබද වැරදි සම්බන්ධයෙන් පැනවිය හැකි උපරිම දඬුවම පමණක් නොව අවම දඬුවම ද නියම කිරීමට හැකිය.
1998 අංක 27 දරන අධිකරණ (සංශෝධන) පනතට අනුව,
මෙම පනතෙන් ව්‍යවස්ථාපිත, ස්ත්‍රී දුෂණය හෙවත් වයස අවු 16ට අඩු ළමයකු දුෂණය කිරීම සම්බන්ධ නඩු කටයුතුවලදී මූලික සාක්ෂි විභාගය යන අවශ්‍යතාවය ඉවත් කොට ඇත. මෙමගින් ළමා අතවර පිළිබඳ නඩු කඩිනම් කිරීමටත්, අතවරයකට ලක් වූ ළමයාට නැවත නැවත ස්වකීය සාක්ෂිය ඉදිරිපත් කිරීමේ කටුක අත්දැකීම් අවම කිරීමටත් හැකියාව ලැබී ඇත.
1998 අංක 29 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනතට අනුව,
මෙම පනතෙන් පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් වයස අවුරුදු 18ට අඩු ළමයින් යොදවා ගැනීම ඉතා බරපතළ අපරාධයක් ලෙස නිර්වචනය කර, දඬුවම් ද නියම කොට ඇත. එහිදී ළමයින් සිඟා කෑම සඳහා යෙදවීම, ලිංගික සංසර්ගය සඳහා ළමයින් කුලියට ගැනීම, සේවයේ යෙදවීම, සීමිත භාණ්ඩ, එනම් විෂ ද්‍රව්‍ය, අබිං හා වෙනත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමයින් යොදවා ගැනීම බරපතළ අපරාධ වේ.
ළමා ආරක්ෂක අධිකාරිය
අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතට අනුව ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කරනු ලබන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අරමුණ වන්නේ,
*ළමා අපචාර වැළැක්වීම
*අපයෝජනයට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම
*ළමා අපයෝජනය පිටු දැකීම සඳහා වන ප්‍රතිපත්ති හා ක්‍රියා මාර්ග සකස් කිරීම
*සම්බන්ධීකරණය හා කළමනාකාරිත්වය යන සේවාවන් ඉටු කිරීමයි.
2005 අංක 34 දරන ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත
මෙම පනත පැනවීමේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ගෘහස්ථ ප්රචණ්ඩත්වය පිටු දැකීමයි. ශාරීරික හෝ මානසිකව සිදුවන හෝ වීමට ඉඩ ඇති ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියාවකටම එරෙහිව පියවර ගැනීමට මින් හැකියාව ලබා දී තිබේ. පනතට අනුව අයදුම් පත්‍රයක් පුරවා අදාළ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප්‍රචණ්ඩත්වයට එරෙහිව තහනම් නියෝගයක් අයැද සිටිය හැකිය. ළමයින්ට, කාන්තාවන්ට පමණක් නොව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් වන ඕනෑම පාර්ශ්වයකට මින් සහනයක් අයැද සිටිය හැකි අතර 'ආරක්ෂක ආඥාවක්' ලෙස හඳුන්වන ඉහත කී තහනම් බන්ධනය කඩකිරීම නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.
මෙම අණ පනත් පිළිබඳ සරල දැනුමකින් යුතු වීම අවශ්‍යතාවයකි. එසේ නොමැතිවීම නිසා ළමා හිංසනයන්ට, අපචාරයන්ට, අපයෝජනයන්ට හා නොසලකා හැරීම්වලට අපේ රටේ අනාගත පරපුර නිරන්තරයෙන් මුහුණ පානු ඇත.
ශ්‍රී ලංකාවේ ළමා අපචාර හෝ අපයෝජන සම්බන්ධ ඕනෑම පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා වන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය,
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යන ආයතන ප්‍රධාන වශයෙන් කටයුතු කරන අතර, කම්කරු කොමසාරිස්, පරිවාස කොමසාරිස් ඇතුළු බලධාරීන්ගේ අවධානය ද ඒ සඳහා යොමු කරවිය හැකිය.
අපගේ වගකීම වන්නේ දරුවන්ගේ ධනාත්මක චින්තනය වර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් කුඩා කල සිටම පුරුදු පුහුණු කිරීමයි. ගෝලීය වසංගත තත්ත්වයකදී ඇඳිරි නීතිය පැනවීමෙන් ඇතිවන සමාජ දුරස්ථභාවය මෙන්ම පාසල් හා ළමා සාමූහික එකතුවීම්වලට බාධා මතුවීම හේතුවෙන් ඇතිවන සම්බන්ධතා දුරස්ථභාවය ළමයින්ගේ පැවැත්ම වර්ධනය කරන සමාජානුයෝජනය සඳහා එල්ල කර තිබෙන්නේ දැඩි බලපෑමකි. මේ හේතුවෙන් මානසිකව දුබල වන දරුවන් කෙරෙහි නිවාස සහ සියලු රැක බලා ගැනීමේ ආයතන තුළින් දැඩි අවධානයක්, සෙනෙහසක්, දයාවක් සහ මඟ පෙන්වීමක් අවශ්‍ය වේ. වැඩිහිටි පීඩනය දරුවන්ගේ මනසට දැඩි ලෙස බලපෑ හැකි අතර, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මාපියන්ගේ මැදිහත් වීම පෙරට වඩා සිය දහස් ගුණයෙන් අවශ්‍ය වේ. එමෙන්ම දරුවන්ගේ සෞඛ්‍ය පුරුදු සකස් කිරීම සහමුලින්ම වෙනස් වී ඇති සමාජ වටාපිටාවට අලුතින් දරුවන් හුරු කරවීම ඇතුළුව අනාගතයේ පැමිණිය හැකි ඕනෑම අභියෝගයකට දරුවන් හුරු කිරීමේ භාරධූර කර්තව්‍ය මූලිකව පැවරී ඇත්තේ මාපියන් හා වැඩිහිටියන්ටය. දෙවනුව අධ්‍යාපන ක්රමයේ නව ප්රවණතාවන්ට දරුවන් හුරු කිරීමේ වගකීම අධ්‍යාපන බලධාරින්ට හා ගුරුවරුන්ටත් පැවරෙන අතර, ඉදිරි ලෝකයේ අයිතිකරුවන් වන ළමා ප්‍රජාව කායික හා මානසිකව ශක්තිමත් සහ සුරක්ෂිත පිරිසක් බවට පත් කිරීමේ වෑයම වෙනුවෙන් පෙරට පැමිණිය යුතුමය.
අන්තර්ජාලය ඇසුරිණි
චින්තා රණසිංහ
නව අදහස දක්වන්න