එදිනෙදා ජීවිතයේදී නොයෙක් අයගේ හයිරම්වලට ඔබ ඕනෑ තරම් ලක් වී තිබෙන බව නොඅනුමානය. එහෙත් මෙය සාමාන්‍ය ජීවිතයට පමණක් සීමා නොවේ. අන්තර්ජාලය ඔස්සේ ද තවත් කෙනකුගේ හිත රිදෙන අයුරින් පණිවිඩ යැවීම, ප්‍රතිචාර යෙදීම, අසත්‍ය හෝ අතිපෞද්ගලික තොරතුරු, ඡායාරූප හෝ වීඩියෝ පතුරුවා ලීම වැනි ආකාරවලින් මානසික පීඩා ඇති කිරීම සිදු වේ. මේවාට 'සයිබර් හිරිහැර' හෙවත් 'සයිබර් බුලීං' යැයි කියනු ලැබේ. නිසි ක්‍රියාමාර්ග නොගත හොත්, අඛණ්ඩව එල්ල වන මේ මානසික පීඩා නිසා ජීවිත හානි පවා විය හැකි ය.
සාමාන්‍ය ජීවිතයේ වන හිරිහැරවලට වඩා මානසික වශයෙන් වන සයිබර් හිරිහැර භයානක වීමට ඇති ඉඩකඩ වැඩිය. මුහුණට මුහුණ හමු වී කරන බැණවැදීමකදී එතැනින් ඉවත්ව යෑම, කල් ගත වත්ම අමතක කරදැමීම වැනි දෑ කළ හැකි වන අතර, එම සිදුවීම ගැන දැන ගන්නේ ද අවට සිටින සුළු පිරිසක් පමණි. එනමුත් අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියේ (කමෙන්ට්, ට්වීට් හරහා) කරන පරිභව කිරීමකදී එය ස්ථාවරව අන්තර්ජාලයේ සටහන් වේ. මේ නිසා වින්දිතයාට එය නැවත නැවත කියවන්නට ලැබීමෙන් හේ තව තවත් මානසික පීඩාවට ලක් වෙයි. තවත් අයට ද එම අවස්ථාවේදී පමණක් නොව තවත් අවුරුදු ගණනාවකට පසුව හෝ මේ සංවාදය කියවීමට හැකි වේ. එබැවින් මේවා වින්දිතයාට පමණක් නොව, පරිභව කරන්නාගේ ප්‍රතිරූපයට ද දිගු කාලීන කැළැල් ඇති කරන්නකි.
විනීත හැසිරීම
නූතන බොහෝ රැකියා ආයතන යමකු බඳවාගැනීමට පෙර ඔවුන්ගේ සමාජ ජාල පැතිකඩ පරීක්ෂා කරන්නද පෙලඹේ. පුද්ගල ස්වභාවය පහසුවෙන්ම හඳුනාගැනීමට ඇති හැකියාව නිසා ලොව පුරා ආයතන මේ ක්‍රමවේදය අනුගමනය කරන අතර, ප්‍රචණ්ඩකාරි පුද්ගලයන් මේ මඟින් නිතැතින්ම හඳුනාගත හැකි වේ. සමාජ ජාල මෙන්ම සමස්ත අන්තර්ජාලය තුළම විනීත හැසිරීමක් අවශ්‍ය වන්නේ එබැවිනි. නගර මධ්‍යයකට ගොස් ප්රචණ්ඩකාරිව හැසිරෙන්නැයි කීවොත් එසේ කිරීමට මැළි වන බොහෝ දෙනකු අන්තර්ජාලයේ රිසි සේ හැසිරෙන්නේ සයිබර් ලෝකය සහ සත්‍ය සමාජය යනු දෙකක්ය යන ගූඪ හැඟීම නිසාය.
මේ හිරිහැර කිරීම් පළි ගැනීමේ චේතනා, තමන්ගේ අදහස්/ මතවාදය සැම විටම නිවැරදි යැයි සිතීමෙන්, නොසැලකිලිමත්ව අදහස් ප්‍රකාශ කිරීමෙන්, මෙන්ම තමන්ගේ ආධිපත්‍යය පෙන්වීමේ අරමුණින් විය හැකිය. තවත් විටෙක වෙනත් ගිණුම් නාමයකින් පෙනී සිටිමින් හොඳ මිතුරන් දෙදෙනකු තරහ කර වීමට හෝ ප්‍රේම සබඳතාවක් කඩා දැමීම සඳහා වූ වංචනික හැසිරීමක විලාශයෙන් පැමිණිය හැකි ය. එසේ වූ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ මෙරටින්ම දකින්නට ලැබිණි.
ව්‍යාජ ගිණුම්
හිරුණි සහ මහේන්ද්‍ර කලක් ආදර සබඳතාවක් පවත්වාගෙන ගිය යුවළකි. එහෙත් මහේන්ද්‍රට තිබූ වෙනත් අනියම් සබඳතාවක් ගැන දැනගත් හිරුණි, පෙම් සබඳතාව නවතා දැම්මාය. කලකට පසු ඇය වෙනත් කෙනකු සමඟ යුග දිවියට එළඹීමට සැරසුණාය. මේ අතරේ, මහේන්ද්‍ර නැවතත් සමාව ඉල්ලමින් තමා සමඟ තිබූ පෙම් සබඳතාව යළි අරඹන ලෙස කරදර කරන්නට විය. එය ප්‍රතික්ෂේප කළ හිරුණිට පසුව දැනගන්න ලැබුණේ ඇඟ සලිත වන ආරංචියකි. ඒ, කපිල හිරුණිගේ නමින් ව්‍යාජ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් අරඹා එහි ඔවුන් දෙදෙනාම සිටින පැරැණි ඡායාරූප පළ කර, “කවුරු මොනවා කිව්වත් මම මගේ කපිලත් එක්ක සතුටින් ජීවත් වනවා” යැයි සටහන් කර ඇති බවය. මංගල ගමන අබිමුව මෙවන් සිදුවීමකට මුහුණ දීමට වූ නිසා ඇය ඉතා ලජ්ජාවට පත් වූවාය. එහෙත් වාසනාවකට මෙන් අන්‍යෝන්‍ය අබෝධය තිබූ තම අනාගත සැමියාට මේ ගැන කියා, අදාළ බලධාරීන් දැනුවත් කර, ගිණුම වාර්තා කර, සැලසුම් කර තිබූ පරිද්දෙන්ම විවාහ දිවියට එළඹෙන්නට ඇයට හැකියාව ලැබිණි.
එවන් අවස්ථාවකට මුහුණ දුන් විට ගත යුතු ක්‍රියා මාර්ග ඇතැමුන් නොදන්නා බැවින් අවසානය ශෝකාන්තයක් විය හැකිය. තමාගේ ප්‍රතිරූපයට ඇති වන කැළැල මකාගන්නට හෝ ඊට මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනඟාගැනීම සඳහා සහාය නොපතා තනිව, සමාජයෙන් කොන්ව පසුතැවිලි වෙමින්, තමා තමාටම පරිභව සහ හිරිහැර කරන්නට පෙලඹුණ හොත් ගැටලුව තවත් උග්‍ර විය හැකිය. එසේම, සාමාන්‍ය ජීවිතයේ හිරිහැරයකට වඩා සයිබර් හිරිහැරයක ඇති බරපතළකම වන්නේ වින්දිතයාගේ මානසික මට්ටම ඉවතට පිළිබිඹු නොවන බැවින් හිරිහැර කරන්නා නොනැවතීම එය කිරීමට යොමු වීමයි. එවන් සිදුවීමක් ක්ෂණිකව පාසලේ ගුරුවර, වැඩිහිටියන්, නීතිය බලාත්මක කරන්නන් දැකීමට ඇති ඉඩකඩද අඩු නිසා රිසි සේ හිරිහැර කිරීමට ඉඩ ලැබේ.
කොමික්-කොන්
2018 වසරේදී ෆාතිමා සහ තවත් පිරිමි ළමයකු තම විශ්වවිද්‍යාලයේ පැවති සාදයකදී ක්‍රීඩාවක යෙදෙන අතරතුර ඊට පැමිණ සිටි නිල ඡායාරූප ශිල්පියකු එය තම කැමරා කාචයේ සටහන් කරගත්තේය. අනෙකුත් ඡායාරූප සමඟ මෙයද අන්තර්ජාලයේ පළ කෙරුණු අතර, අන්තවාදි ආගමික හස්ත එය දැඩිව විවේචනය කරමින් කියා සිටියේ දැරියක එලෙස පිරිමි ළමයින් සමඟ ඡායාරූප නොගත යුතු බවයි. වාචික පරිභව, හිරිහැර කිරීම් මෙන්ම මරණ තර්ජනද ඇයට එල්ල වුණු නිසා නිවෙසින් බැහැරව යෑමත් ඇයට බිය දනවන්නක් විය.
2017 වසරේ 'කොමික්-කොන්' නමින් පැවැත්වෙන සිනමාවේ වීර චරිතවල විලාශයෙන් හැඩගැන්වෙන විවිධ ඇඳුම් තරගාවලියකදීත් මෙවැන්නක් සිදු විය. 'වොන්ඩර් වුමන්' ලෙස හැඳ සිටි අමායා සහ ශෙහානිගේ ඡායාරූප ෆේස්බුක්හි පළ වූ පසු වෙනත් පිටුවලින් ඒවා උපුටාගෙන ඔවුන්ගේ ශාරීරික පෙනුම හාස්‍යයට ලක් කරන්න පටන් ගති. පසුව අමායා එය SLCERT වෙත ද වාර්තා කළත්, එම කමෙන්ට්වල තිබුණු නිෂ්ඵලත්වය පිළිබඳ අවබෝධ කරගෙන ඒ පැමිණිල්ල ඉවත් කර ගත්තාය. ඔවුන්ට එල්ල වූ හිංසනවලට එරෙහිව වොන්ඩර් වුමන් චරිතය රඟපෑ Gal Gadot නිළියද තම ට්විටර් ගිණුම ඔස්සේ මුළු ලොවම ඉදිරියේ අමායා සහ ශෙහානිව ප්‍රශංසාවට ලක් කළාය.
සාමකාමි අවකාශයක්
ඔබත් කිසියම් අයකුගේ පරිභවයකට, අපහාස කිරීමකට නිරන්තරයෙන් ලක් වනවා නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ එම ගිණුම බ්ලොක් කිරීම සහ ඡායාරූප වාර්තා (report) කිරීම යි. එය ග්රූප් එකක හෝ ෆෝරම් එකක සිදු වුණා නම්, එහි ඇඩ්මින්වරුන්ට ඒ සම්බන්ධව දැනුම් දෙන්න. එසේම, තමන්ගේ සමාජ ජාල ගිණුමට මිතුරන් ලෙස එකතු කරගනිද්දී ඔවුන් කවුරුන්දැයි හොඳින් සොයා එක් කරගන්න. එසේම, තමාට ගර්හා කිරීමක් හෝ තමා පිළිබඳ අසත්‍ය ප්‍රචාරයක්, ඡායාරූප, වීඩියෝ පළ වනවා නම් නිහඬව නොසිට නෛතික ක්‍රියා මාර්ග ගන්න. අදාළ අවස්ථාවේ තිර දසුන් (Screenshot) සමඟ telligp.police.lk වෙබ් පිටුවෙන් පොලීසියට වාර්තා කළ හැකි අතර, ව්‍යාජ ගිණුම් ඇත් නම් ඒවා [email protected] යන ඊමේල් ලිපිනයට දැනුම් දිය හැකිය. මේ සියල්ල සඳහා සහාය වීමට 'හිතවතී ව්‍යාපෘතිය' (011-421-6062), TechCERT (techcert.lk) ආයතනය යනාදිය ද සක්‍රියව ඉදිරිපත්ව සිටියි.
සයිබර් හිරිහැරයකදී එය ලෝකයේ අවසානයැයි නොසිතා, අවස්ථානුකූලව, බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් ඔබේ ජීවිතය නිදහසේ ගෙවන්නට පහසුවෙන්ම හැකියාව ලැබේ. අනුන් තළාපෙළා විනෝද වන්නන්ට වැට බඳිමින්, සාමකාමි අන්තර්ජාල අවකාශයක් බිහි කිරීමේ මහඟු වගකීම අප සැමට පැවරී තිබේ.
(මෙහි එන නම්-ගම් මනඃකල්පිතයි.)
තඹරු විජේසේකර
නව අදහස දක්වන්න