මොහාන් රාජ් මඩවල
බෝදිලිමා‘ කෙටිකතාව රචනා කරමින් ලේඛන කලාවට පැමිණි ඔහු, මාගම්සෝලිය, ලොවීනා, ආදරණීය වික්ටෝරියා, රැජින, කොලොම්බො වැනි කෘති මඟින්, නවකතා කලාවේ අමුතුම හැඩයක් සොයා ගියේය. පරිකල්පනීය ඉතිහාසය තේමා කරගත් ඒ කෘතිවලට වඩා වෙනස් ආරක නවකතාවක් ලෙස, ඔහුගේ අලුත්ම නවකතාව ID පිළිබඳ සඳහන් කළ හැකිය. මේ, එම කෘතිය පිළිබඳ මොහාන් රාජ් මඩවල සමඟ කළ කතාබහකි.
මෙතෙක් ඔබ රචනා කළේ පරිකල්පනීය ඉතිහාසය පිළිබඳ කෘති. ඒත්, ID කෘතියේ තේමාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඒ හරහා ඔබ වර්තමානයට පියමං කර තිබෙනවා. ඒ පිළිබඳ කතා කළොත්?
පෙර පොත් පහේම තිබෙන්නේ පරිකල්පනීය ඉතිහාසයක්. පරිකල්පනීය ඉතිහාසය කියන්නේ, අප කවුරුත් ජීවත් වන ඉතිහාසය ගැන ලිවීමේදී, කතා කිරීමේදී දත්ත, ලේඛන ආදී සාක්ෂ්‍ය එකතු කරගෙන, අප විසින් පරිකල්පනය කර ඉතිහාසය ගොඩනැඟීමයි. ඉතිහාසඥයෙක් වුණත් කරන්නේ මීට අවුරුදු සියයකට, දෙසීයකට, පන්සියයකට එහා අතීතයක් පිළිබඳ ඔහු සතුව තිබෙන ලේඛන, දත්ත එකතු කරගෙන, මෙය මෙසේ වන්නට ඇතැයි පරිකල්පනීය ඉතිහාසයක් ගොඩනැඟීමයි. ඔහු කරන්නෙත් පරිකල්පනීය නිර්මාණයක්. පරිකල්පනය කියන්නේ, ෆැන්ටසිමය වූවක්. ඒකෙ අත දිගෑරලා පිනුම් ගහන්න පුළුවන් නිසා, මං ඒකට කැමැතියි. ඉතිහාසය ගැන කතා කරද්දි, සමහරු අතෑරලා දාපු, කාටවත් අහුවුණේ නැති ඉතිහාසයක් ගැනයි මම කතා කළේ. ඒ ඉතිහාසය තුළ කතා කළෙත් වර්තමානය ගැනම තමයි. ඊට වෙනස්ව, වර්තමානය ගැනම කතාවක් ලිවිය යුතුයි කියලා කාලයක ඉඳන්ම මම හිතාගෙන හිටියා. මේ නවකතාව ලියැවුණේ ඒ නිසයි.
මේ වගේ කතාවක් ලියන්න හිතුණෙ ඇයි?
මගේ ලියැවිල්ල ඇතුළෙ මං කැමැති යථාර්ථය ලියන්න නෙවෙයි. ඒ සඳහා ඕනෑ තරම් ලේඛකයො ඉන්නවා. මම කැමැති ෆැන්ටසිමය තත්ත්වයක් දකින්න. වර්තමානය වනවිට ෆැන්ටසිය තිබෙන්නේ කොතැනද? කියන දේ ගැන තමයි මට මුලින්ම ප්‍රශ්නය තිබුණෙ. එහෙම ෆැන්ටසි එකක් නැතිව, කවුරු හරි දෙදෙනෙක් කතා කරන දේ ගැන ලියලා වැඩක් නෑ. ඒක ඇත්ත. එතැන අලුත් දෙයක් නෑ. මට හිතුණෙම, වර්තමාන මිනිසුන්ගේ ෆැන්ටසිය ස්මාර්ට් දුරකතනය කියන එකයි. අප ගත කරන නීරස, එපාවුණු ජීවිතය අස්සේ පොඩි රහක් හොයා ගන්නේ, සතුටක් ලබන්නෙ ස්මාර්ට් දුරකතනයෙන්. ෆේස්බුක්, වට්ස්ඇප්, යූටියුබ් වැනි දේ මඟින්. අප ගත කරන ජීවිතය නීරස නිසා, අප යනවා වෙනම ෆැන්ටසියකට. අද වනවිට අප කවුරුත් මේ මඟින් ගැලවෙන්න බැරි තරමට ඇබ්බැහි වෙලා. අප අද සියලුම දේ කරන්නේ දුරකතනයෙන්. අධ්‍යාපනය, විභාග, පුවත්පත කියවීම වගේ මෙකී නොකී හැම දේම පාහේ ස්මාර්ට් දුරකතනය හරහා සිදු කර ගන්නවා. දුරකතන ඇමැතුමක් විතරක් ගත්ත කාලේ, අපට මෙහෙම වෙයි කියලා කවදාකවත් හිතුවෙ නැහැ. අද වෙනකොට මේ ෆැන්ටසිමය ලෝකය අපට, ඇත්ත වෙලා. ඒක ෆැන්ටසි කියලා කියන එකම අප අමතක කරලා. දුරකතනයෙන් මෙහෙම වෙන්නේ කොහොමද? කියලා අප හිතන්නේ නැහැ. එච්චරටම ඒක ඇත්ත වෙලා. ඕනම දෙයක් අපට හුරු වෙනකොට සහ දවසේ වැඩි කාලයක් අප දුරකතනය සමඟ ගත කරනකොට, ඒක අපට අතිශයින්ම සමීප වෙනවා. එවිට ඒක ෆැන්ටසි එකක්ද? කියන දේ පවා හිතන්න බැරිවෙලා. මේ නවකතාව ලියැවුණේ ඔය තත්ත්වය පිළිබඳ කතා කිරීමටයි.
ඒත් මේ කෘතිය මඟින් සිදු වුණේ, එදා සිට මේ දක්වා මාගම්සෝලිය, ආදරණීය වික්ටෝරියා, ලොවීනා, රැජින, කොලොම්බො වැනි ඔබගේ කෘති රසවිඳි පාඨකයාට අනපේක්ෂිත වෙනසක් නේද?
ඕනම දෙයක වෙනසක් කරනකොට, මිනිසුන්ට ඒක දැනෙනවා. ඒත් ඒ වෙනස දීර්ඝකාලීනව නැවත නැවත සිදුවෙනකොට, ඒක වෙනසක් නෙවෙයි. ජංගම දුරකතනයම ඊට උදාහරණයක්. ෆැන්ටසියක් වෙලා තිබුණු දෙයක් හැමදාම ඒ විදිහටම තියෙනකොට, ඒක ඇත්ත වෙනවා. මගේ පොත් වුණත් හැමදාම එකම අමුද්‍රව්‍ය යොදාගෙන, එකම විදිහට ලියද්දි, ඒක ඒකාකාරී වෙනවා. වෙනස නැති වෙනවා. ඒ නිසා, මම හදාගත්ත කෝවෙන් පිට පනින්න මටම අවශ්‍ය වුණා. ඒක ටිකක්, මම ම පුපුරවා හැරීමක්. එහෙම නැතිව අප ඒකෙම හිරවෙලා හිටියොත්, අපට වෙනස් ප්‍රතිඵලයක් ලැබෙන්න නැහැ. ඒ වගේම මට ඕනවුණා, වෙනස්ම පාඨක පිරිසක් එකතු කර ගන්න සහ වෙනස් තැනකට යන්න. ඒත් එක්කම මම ඇති කළ වෙනස මට කඩන්න අවශ්‍ය වුණා. ඒක කළේ නැත්නම්, මම ඒ වෙනස තුළම කොටු වෙනවා. ඒකාකාරී වෙනවා. එතකොට තව දුරටත් මගෙන් අලුත් දෙයක් වෙන්නේ නැහැ. ඒ තීරණය අමාරු වුණත්, ගතයුත්තක්. වෙනස් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ, වෙනස් දෙයක් කළොත් විතරයි.
මේ කෘතියට ID කියන නම යොදන්න විශේෂ හේතුවක් තිබුණ ද?
ID කියන්නෙ ඉංග්‍රීසි වචනයක් නෙවෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් ලැබුණු සිංහලකරණය වුණ වචනයක්. කොතැනකදි වුණත් අපෙන් අහන්නේ ID එක දෙන්න කියලයි. හැඳුනුම්පත කියන එක අද යල්පැනගිය වචනයක් බවට පත්වෙලා. මිනිසුන්ට අනන්‍යතාවක් තියෙනවා. ඒත් ඩිජිටල් ලෝකයේ අතරමං වුණාට පස්සේ, මිනිසුන්ගේ ID එක නැති වෙනවා. සම්පත් නමැති චරිතය කවීෂ වෙලා, දහම්වෙලා එයාටම එයා සොයා ගන්න බැරිව අතරමං වෙනවා. ඒ නිසා අප දන්නෙම නැතිව ID එක අහෝසිවෙලා යනවා. මං මේ කතාව මඟින් නිර්මාණය කළේ, ඩිජිටල්කරණය වුණ ලෝකය තුළ මිනිසුන්ගේ අනන්‍යතාව ක්‍රම ක්‍රමයෙන් නැතිවෙලා යන ආකාරය ගැනයි.
හැත්තෑව දශකයේ ජනප්‍රිය වුණු ‘විජය - මාලනී‘ චරිත, මේ කතාව තුළට ඔබ එකතු කරගෙන තිබෙනවා. ඒ ගැළපුම ඔබ අර්ථ දක්වන්නෙ කොහොම ද?
මිනිසුන්ගේ ෆැන්ටසි, කාලෙන් කාලෙට වෙනස් වෙනවා. 70 දසකයේ කළු සුදු චිත්‍රපට එක්ක විජය - මාලනී ජනප්‍රිය වෙලා හිටියා. ඒ අය දැවැන්ත සිහින තරු බවට පත් වුණා. කළු සුදු රූපවාහිනිය, වර්ණ රූපවාහිනිය, ජංගම දුරකතනය, ෆේස්බුක්, වට්ස්ඇප් වගේ එක එක කාලෙට එක එක ෆැන්ටසි හැදෙනවා. ඒ කාලෙ විජය - මාලනී ඉන්න චිත්‍රපට බලලා මිනිස්සු ඒ චරිත බවට පත් වුණා. ඒ කියන්නේ ඒ ෆැන්ටසි එක ඇතුළෙ ඇත්ත වුණා. ඒකම තමයි අද වෙන්නේ. එදා චිත්‍රපට බලලා ඒ අයගේ අනන්‍යතාව නැතිකර ගත්තා වගේ, ඊට වසර 40කට විතර පස්සේ විජය - මාලනීගේ දරුවා වුණ සම්පත්, ස්මාර්ට් දුරකතනය නිසා තමන්ගේ අනන්‍යතාව නැතිකර ගන්නා බව, මේ කතාව මඟින් මම නිරූපණය කළා.
අද්‍යතන සමාජයේ අපේ අනන්‍යතාව නැතිකර ගනිමින්, ඇත්ත ලෝකය තුළ මියයන චරිත විනිවිද දැකීමට ඔබ මේ කෘතිය තුළ උත්සාහ කර තිබෙනවා. ඒත්, අප අත්දකින මේ සමාජය පිළිබඳ ලියැවුණු මේ කෘතිය තුළ, පාඨකයාට අපූර්වත්වයක් විඳින්න බැහැ කියා කිවුවොත්, ඔබ ඊට
එකඟ ද?
මං මේ කතාවට වුරුදු 50ක පමණ කාලයක් පාදක කර ගත්තේ, මේ දේ සමාජ විකාශනයක් බව පෙන්වීමටයි. ඒ දේ කාලෙන් කාලෙට සංවිධානාත්මකව සිදුවන දෙයක්. අපූරුව කියන එකත් අපට මඟහැරිලා තියෙන්නෙ. මේ තුළම සිටින නිසා, අපට අපූරුව පේන්නෙ නැහැ.
එහෙම නොදකින්න හේතුව, මෙහි එන සියලු චරිත මඟින් ප්‍රතිනිර්මාණය කරන්නේ, අද්‍යතන සමාජය අත්විඳින පොදු අත්දැකීම් සමුදායක්, මේ කතාවේ තේමාව බවට පත්වීම ම නේද?
ෆැන්ටසිය දැක දැක අප හීන ලෝකවල ජීවත්වෙලා මිසක්, පොළොවෙ පය ගහලා ජීවත් නොවීම, එසේ වීමට හේතුවක් කියලයි මා දකින්නේ.
ඉතිහාසය තේමාවුණු නවකතාවක් ලියද්දි, ඊට අදාළ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික සමාජය විනිවිඳ දැකීමට නවකතාකරුවාට සිදු වෙනවා. ඒ වගේම, යම්කිසි ආකාරයකට පර්යේෂණ අත්දැකීමක් ලබන්න වෙනවා. එවැනි කතාවක් ලියනවාට වඩා, මේ වගේ කෘතියක් රචනා කිරීමේදී ඔබට එය පහසු වුණා ද?
මේ නවකතාව, නිකං ඔළුවට ආව කතාවක් ඔහේ ලියාගෙන ගිය එකක් නෙවෙයි. මේ සඳහාත් අධ්‍යයනය කරන්න සිදු වුණා. සමාජ මාධ්‍ය හරහා අප අපටම නැතිවීම පිළිබඳ සමාජ විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක පර්යේෂණ සිදුකර තිබෙනවා. අපේ රටේ විශ්වවිද්‍යාලවල පවා මෙබඳු පර්යේෂණ කෙරෙනවා. සිදුව ඇති මේ විපර්යාසය, අපේ අනන්‍යතාව පිළිබඳ කතා කිරීම, අධ්‍යයනය කරන්නෙ නැතිව ලියන්න බැහැ. මෙය, දුරකතනය සම්බන්ධ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. සමාජීය විකාශනයත් එක්ක අප ෆැන්ටසි කියලා එහි නතරවෙලා. ඒ තුළ අප අතරමං වෙලා. අද සමාජයේ කතාබහ වන මාතෘකාව නෙවෙයි හෙට තිබෙන්නේ. ඒ මාතෘකාව දවසින් අමතක වෙනවා. නූතන වෙළෙඳ ආර්ථිකය තුළ, ලිබරල් ධනවාදය තුළ මෙය සංවිධානාත්මක මාෆියාවක්. ඒ මඟින් මිනිසුන් කරන්නෙ හම්බ කර ගන්න එක. අපට හීන දීලා, ඒ අය ඒ අයගෙ වැඩේ කර ගන්නවා. මේ දේ අප දකිනවාට වඩා ගැඹුරු දෙයක්. සමාජ මාධ්‍ය සමඟ මිනිසුන්ගේ ජීවිත වෙනස්වීම, හැඟීම් දැනීම් පිළිබඳ මා අධ්‍යයනය කළා. එසේ ලබාගත් අත්දැකීම්, මේ නවකතාව රචනයට බෙහෙවින් උපකාරී වුණා.
මේ නවකතාව මඟින් ඔබ නිරූපණය කරන්නේ, නූතන පරම්පරාවේ හිස් ජීවිතද?
මේ ඩිජිටල් ලෝකය තුළ අපේ ගමනාන්තය තීන්දු කරන්න අපට බැහැ. අප ඒ තුළ හුදෙකලා වෙලා වගේම, අප මොනිටර් වෙනවා. ස්මාර්ට් දුරකතනයේ විවිධ ඉසව් වෙත ගියවිට, අප නතර වෙන්න ඕන තැන තීරණය කරන්නෙ, ඩිජිටල් ලෝකය මෙහෙයවන අය. එතැනින් පස්සේ අපට ෆැන්ටසි ලෝකය තීරණය කරන්න බැහැ. ඒක තීරණය කරන්නෙ, ඩිජිටල් ලෝකය හසුරවන අය. එයාලට ඕන විදිහට අපට හැඩගැහෙන්න විතරයි තියෙන්නෙ. ඒ නිසා, දන්නෙම නැති ගැටයකට අප හසුවෙලා. අප අතරමං වුණු මිනිස්සු. අනන්‍යතාව නැතිවුණ මිනිස්සු බවට පත්වෙලා. එය වයස් භේදයකින් තොරව සිදුවන දෙයක්.
අප මීට පෙර ඔබේ නවකතා මඟින් දැක්කෙ අභව්‍ය ලෝකයක්. ඒත් මේ කෘතිය තථ්‍ය ලෝකය පිළිබඳ පැතිකඩක් කිවුවොත්?
මේ කෘතියෙ තිබෙන සමහර දේ මගේ අත්දැකීම්. මමත් 95 වසරෙදි වගේ නුගේගොඩ තැපැල්කන්තෝරුවේ වැඩ කළා. එදා, බොහෝ දෙනෙක් ආවෙ පිට රටවලට දුරකතන ඇමැතුමක් ගන්න. ඒ අයට ඇමතුම ගන්න කලින්, ඒ ඇමතුම වෙන්කර ගැනීමට සිදුවුණා. ඒත් අද වෙනකොට තමන්ගෙම අතේ තිබෙන ස්මාර්ට් දුරකතනයෙන් පිටරටවලට වෙසෙන අයට ඇමතුමක් ගන්න පුළුවන් වෙලා. මමම විඳි ඒ අත්දැකීම ගැන අද හිතනකොට, ඒක මට ෆැන්ටසියක්. ඒ අත්දැකීම් මා කම්පනයට පත් කළා. ඒ අත්දැකීම් මට පුදුමයි. කෙසේ වුවත් අද වනවිට අප මේ හීනෙට අහුවෙලා තියෙන්නෙ. ඒ හීනෙන් එළියට පැනලා බැලුවොත් තමයි අපට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා වැටහෙන්නෙ.
ඉරෝෂිණී දීපිකා
නව අදහස දක්වන්න