අන්තර්ජාල ඔස්සේ සිදුවන වංචාවන් කිහිපයක් ගැන පොලීසියෙන් දැනුම්දීමක් | දිනමිණ

අන්තර්ජාල ඔස්සේ සිදුවන වංචාවන් කිහිපයක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

අන්තර් ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය ජාල භාවිත කරමින් දැන්වීම් පලකර මුදල් වංචා කරන සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
 
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශණ අංශය වෙත මේ සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.
 
තායිලන්තයේ රැකියා ඇබෑර්තු ඇති බවට සමාජ ජාල භාවිත කරමින් දැන්වීම් පලකර මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් මීට උදාහරණ ලෙස පොලිසිය පෙන්වා දෙයි.
 
එම සංවිධානාත්මක කණ්ඩායම පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලෙස බැංකොක් හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.
 
මෝටර් රථ දිනුම් ඇදීමක් ලැබී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පණිවිඩයක් ලබා දී විවිධ බැංකු ගිණුම් වෙත මුදල් බැරකරවා ගැනීමේ වංචාවක් පිළිබඳවද පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබේ.
 
එසේම ෆේස්බුක් වැනි මිතුරු ඇරයුම් හරහා සම්බන්ධ නාඳුනන පුද්ගලයින් විසින් එවනු ලබන ත්‍යාග රේගුවෙන් නිදහස් කර ගැනිමට බැංකු ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනිම පිළිබඳව සහ ෆේස්බුක් මිතුරු ඇරයුම් හරහා සිදුකරන විවාහ යෝජනාවලට හසුවී මුදල් වංචා කිරිම් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව පොලීසිය සඳහන් කළේය.
 
සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරන මෙවැනි මුදල් වංචා කිරිමේ සිද්ධීන්වලට හසුවිමෙන් වලකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

නව අදහස දක්වන්න