කොළඹ සිට මාගම්පුරය තෙක් දිවෙන අධිවේගී මාර්ගය පෙරේදා ජනතා අයිතියට පැවැරිණි. එය හැඳින්විය හැක්කේ ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනයේ ශක්තිමත් ද්වාරයක් හැටියට ය. අන්තර්ජාතික වරායවල් දෙකක් හා අන්තර්ජාතික ගුවන් තොටුපොළවල් දෙකක් එකට යා කෙරෙන අග්නිදිග ආසියාවේ එකම අධිවේගී මාර්ගය ලෙස ද එය ඉතිහාසගත වනු ඇත. ඒ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන යුගය දින සියය සම්පූර්ණ කර තිබේ. එම දින සියය තුළ ඉහත සඳහන් රන්මාවත විවෘත කැරුණු අතර තවත් සුවිශාල සමාජ - ආර්ථික ක්‍රියාවලියක් ඉටුකර තිබේ. එහෙත් ජනාධිපතිවරයාගේ දැක්මට හා පැවැත්මට අනුව ඒ සම්බන්ධයෙන් නාස්තිකාර ප්රචාරක උත්සව පැවැත්වෙන්නේ නැත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය නිරීක්ෂණය කරන කෙනකුට ගෙවී ගිය දින සියය අතිශයින්ම වැදගත් වනු ඇත. ඊට හේතුව මෙතෙක් ඉතිහාසයේ ඉටු නොවුනු දැවැන්ත රැකියා සම්පාදනයක් හා ව්‍යාපාර දියුණුවක් ඇතිවීමට පියවර ගෙන ඇති බැවිනි. එකවර රැකියා ලක්ෂයක් සපයන වැඩසටහනක් මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වී නැත. දින සියය තුළ එය ඉටු වී ඇත. උපාධිධාරීන් පනස් හතරදහසකට රාජ්‍ය අංශයේ රැකියා සපයන වැඩසටහනක් ද මෙතෙක් ක්‍රියාත්මක වී නැත. එය ද දින සියය තුළ ඉටු වී ඇත. රටේ මහාමාර්ගවලින් කි.මී. ලක්ෂයක් ප්‍රතිසංස්කරණය කරන දැවැන්ත වැඩසටහනක් ද මෙතෙක් ක්‍රියාත්මක වී නැත. එය ද දින සියය තුළ ආරම්භ වී ඇත.
දිළිඳුකම පිටු දැකීම, ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරක්ෂිත කිරීම හා රටේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම යන ක්ෂේත්‍ර නිරීක්ෂණය කරන දේශපාලන විද්‍යාර්ථියකුට ද ගෙවී ගිය දින සියය අමතක කළ නොහැකිය. රැකියා ලක්ෂයක් සම්පාදනය කිරීමේ වැඩසටහන කෙළින් ම ඉලක්ක කර ඇත්තේ රටේ දිළිඳු ප්රජාවය. ඉහළ අධ්‍යාපන සුදුසුකම් නැති තරුණ - තරුණියෝ රැකියා ලක්ෂයක් සඳහා තෝරා ගනිති. එම පිරිසට පුහුණුව ලබා දෙන කාලය තුළ පවා රුපියල් විසි දහසකට වැඩි ගෙවිමක් කිරීමට නියමිත ය. රටේ ශිෂ්‍ය ප්‍රජාවගේ මෙන්ම කම්කරු ප්රජාවගේද, වෘත්තීය සමිතිවල ද අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා රජය පියවර ගෙන ඇත. එකී පිරිසට රජයට එරෙහිව විරෝධතා දැක්වීමට නිල ස්ථානයක් පවා වෙන් කර ඇත. ආර්ථිකය හා දේශපාලන නිදහස එකට ගමන් කරයි. එය ජනාධිපතිවරයා වටහාගෙන ඇත.
ලෝකයේ කිසිදු රාජ්‍යයක් මානව හිමිකම්වලට මුවා වී එන බලවත් රටවල බලපෑම්වලට හිතාමතාම යටත් වන්නේ නැත. එහෙත් යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසමේ සියලු බලපෑම්වලට කොන්දේසි විරහිතව යටත් වී තිබිණි. එය සැලැකිය හැක්කේ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට යටත්වීමක් ලෙසය. 2015 දී හා ඊට පසුව යහපාලන රජයේ ප්‍රතිපත්තිය වූයේ මානව හිමිකම් කොමිසමේ සියලු යෝජනාවලට සම අනුග්‍රාහකත්වය දැක්වීමය. එයින් රටේ ස්වාධීනත්වය කෙලෙසිණි. ඉන් නොනැවතී ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් එයින් බිල්ලට දී තිබිණි. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පියවර ගෙන තිබේ. සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට රජය පියවර ගෙන ඇත්තේ එහි පළමු පියවර හැටියට ය.
රාජ්‍ය නායකයකු සැබෑ නම්; ඔහු රටේ අනාගතය ගැනද රටේ ස්වාධීනත්වය හා ආරක්ෂාව ගැන ද ගැඹුරු හැඟීමකින් ක්‍රියා කළ යුතුය. ඊට අදාළ සැලැසුම් හා ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුය. රටේ සියලු අර්බුදවලට විසැඳුම් සැපයිය යුතුය. අප ඉදිරියෙහි ඇති මූලික අර්බුදය හා අභියෝගය වන්නේ ආර්ථිකය ගොඩනැඟීම ය. යහපාලන ආණ්ඩුව සැලකෙන්නේ ආර්ථිකය කම්බස් කළ ආණ්ඩුවක් හැටියට ය. නිදසුනක් ගතහොත් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ රටේ වාර්ෂික ආර්ථික වෘද්ධිය 7.4% ක් වූ අතර යහපාලනයේ අවසන් කාර්තුවේ රටේ වාර්ෂික ආර්ථික වෘද්ධිය 1.9% දක්වා පහත වැටිණි. එය සමාන වන්නේ ඇෆ්ඝනිස්ථානයේ ආර්ථික වර්ධනයටය. අපේ අපනයන ක්ෂේත්රය කඩා වැටී ඇත. සංචාරක කර්මාන්තය දුර්වල වී ඇත. ඉදිකිරීම් ක්ෂේත්රය බිඳ වැටී ඇත. මධ්‍යම හා සුළු පරිමාණ කර්මාන්ත රාශියක් වැසී ගොසිනි. ආර්ථිකයේ කඩා වැටීමට තවත් නිදසුන් අවශ්‍ය නොවේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අවධානය මේ සෑම ක්ෂේත්රයක් කෙරෙහි ම යොමු වී ඇත.
යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික සාධකය බවට පත් වැ තිබුණේ ඉන්දියන් උප සාගර කලාපයේ ‘ආර්ථික හබ්’ එක යන්න ය. එය මුල්‍ය කේන්ද්‍රයක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ය. සාගර ආර්ථිකය හා අපනයන ගම්මාන ගැන ද සංවාද පැවැත්විණි. එහෙත් මේ එකක්වත් මහ පොළොවේ යථාර්ථයන් බවට පත්වූයේ නැත. ඒවා වික්‍රමසිංහ මහතාගේ සුන්දර සිහින ලෙස ම පැවැතිණි.
යහ පාලන ආණ්ඩුව අධිවේගී මාර්ගවලට කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන්ගේ එක විවේචනයක් වූයේ අධිවේගී මාර්ගවලින් දුප්පතාට සෙතක් නැත යන්න ය. එහෙත් අධිවේගී මාර්ග නොවන්නට රටේ වැඩකිරීම වේගවත් වන්නේ නැත. සුළු ව්‍යාපාරිකයන්, රාජ්‍ය සේවකයන් පමණක් නොව විදේශීය සංචාරකයන් ද අධිවේගී මාර්ගවලින් ලබන පහසුව අද දැකගත හැකි ය. අධිවේගී මාර්ග පද්ධතියේ සම්පූර්ණ සැලැසුම ක්‍රියාත්මක වන විට අපේ රටේ ආර්ථික වර්ධනය වේගයෙන් ඉදිරියට යනු ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පැවැරීම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දින සියයට අයත් ඉතා වැදගත් ජයග්‍රහණයක් වන්නේය. ශ්‍රී ලංකාවේ දිගම අධිවේගී මාර්ගය හැටියට ද, රටේ දිගම ගුවන් පාලම සහිත අධිවේගී මාර්ගය හැටියට ද තවදුරටත් එය හඳුන්වනු ලැබේ. මාගම්පුර ජනී - ජනයා ඒ කෙරෙහි දක්වන ප්‍රතිචාරය කෙබඳු ද යත්; ඈත තණ බිස්සක වැතිරී තම බිළිදාට කිරි පොවන තරුණ මවක්, අධිවේගී මාර්ගයේ ගමන් කරන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රථය දැක නොනවත්වා අත වනන්නට වූවා ය.
නව අදහස දක්වන්න