නලින් ඉන්ද්‍රසේන ගේ තෙවැනි සිතුවම් එකතුව 'Luminous Emptiness' පසුගියදා බෙයාර්ෆුට් කලාගාරයේදී ප්‍රදර්ශනය කෙරිණි. 1996 දී ක්‍රොඒෂියාවේදී 'EXPRESSIONS' නමින් ප්‍රදර්ශනයක්ද, 1998 දී 'ABSTRACTIONS OF TOPOGRAPHY'නමින් ප්‍රදර්ශනයක් ඉරාකයේ බැග්ඩෑඩ් නුවරදී ද පැවැත් වුණි. තෙවැන්න, 'Luminous Emptiness'වෙනත් පැහැයක් සහ හැඩයක් සමඟ පෙනී සිටිනු දක්නට ලැබුණි.
මද වැසි සමඟ බෙයාර්ෆුට් කලාගාරය මද අඳුරකට හැරී තිබුණි. නිශ්චල සුදු බිත්ති ස්ව කැමැත්තෙන් සිතුවම් රාශියක් බෙදාගෙන තම ශරීරය මත රදවාගෙන සිටින්නාක් මෙනි. දීප්තිමත් තැඹිලි වර්ණ හා සමෝසමේ අඳුරු වර්ණ ද සපිරි බොහෝ සිතුවම් ඒ ඇතුළට කිඳී යන්නට ආරාධනා කළ හෙයින් දෙවරක් නොසිතා නයිල් ගංගාවේ ගිලී ගියෙමි. පළමු සිතුවමින් ගිලී දෙවැනි සිතුවමින් මතුවීමේ ආහ්ලාදය විඳිමින් හුන් අතරේ 36 වැනි සිතුවමේ තිබුණු මද තැඹිලි පැහැය මුසු කොළ-කහ මිශ්‍ර ඇස පිනවන සනීපයට වහ වැටුණෙන් ඇඟ තැවරුණු දිය පිටින්ම එතැන ඇන තියා ගතිමි.
ශිෂ්ටාචාරය කොතරම් සිහින අපෙන් උදුරාගෙන ඇත්දැයි අමනාපයෙන් මද වෙලාවක් තාවර වීමි. නයිල් ගංගාධාරයෙන් ශේෂ වුණු ගස් කඳන් අතරටත්, එතැනින් කළු වනාන්තරයේ සරත් සෘතුවටත් පිවිසීමට සිත්තරා රහසිගත උමගක් කපා ඇති සැටියකි. ඒ අසල ගැඹුරු දොරු ද වෙනත් ආකාරයකින් අරුත් ගන්වා ඇති ආකාරය ඇතුළත් ඇත්තේ අලංකාරයට වඩා වෙනත් ගැඹුරු කැපීමකි. අමූර්ත සිතුවම් තේරුම් ගැනීම හෝ කියවා ගැනීම ගෙදර වැඩ සපිරි ව්‍යාපෘතියකි. නලින් ඉන්ද්‍රසේන තම සිතුවම් ගැන කියන්නේ මෙවැන්නකි.
"මම චිත්‍ර අඳින මීඩියම් එක තමයි කෝල්ඩ් වැක්ස්. කෝල්ඩ් වැක්ස් සහ ඔයිල් පේන්ට් කලවම් කරලා ගත්තම ඒකට තමයි මික්ස් මීඩියා කියන්නේ. ඔයිල් පිග්මන්ටික්ස් කියලා තියෙනවා. ඒක හරියට නිකං ක්‍රෙයෝන්ස් වගෙයි. හැබැයි ක්‍රෙයෝන්ස් නෙවෙයි, ඕයිල් පිග්මන්ටික්. ඒවත් එක්ක පාවිච්චි කරලා මේ චිත්‍ර අඳින්නේ. මෙතනදී මම පේන්ට් බ්‍රෂ් පාවිච්චි කරන්නෑ. ඒකට රෝලර්ස්, පැලට් නයිෆ්, ඔරලෝසු හදන්න පාවිච්චි කරන උපකරණ මාක් මේකින්වලට පාවිච්චි කරනවා. මම ස්විස්ටර්ලන්තෙ ජීවත් වෙන්නේ. එහේදී මේ උපකරණ හොයාගන්නත් ලේසියි. ඒවායින් වැඩ කරන එකත් ලේසියි. මම පාවිච්චි කරන මාධ්‍ය එක්ක මෙන්න මේ උපකරණ තමයි පාවිච්චියට ගැනෙන්නේ. මම ඉස්සර ඇක්‍රලික්වලින් ඇන්දා. ඊට පස්සෙ ඔයිල් පේන්ටින් කළා. ඊටත් පස්සේ තමයි මික්ස් මීඩියා අදින්න පටන් ගත්තේ."
ඔහු ඇඳි අතොරක් චිත්‍ර අතර ජිග්සෝ පස්ල් සහ චිත්‍රවල දිගු ද පෙනුණෙන් ඒ ගැන නො අසා සිටීමට නොහැකි විය.
"මම අඳින සමහර චිත්‍රවලට ඩිප්ටික් කියලා කියනවා. පින්තූර දෙකක් එකට එක යන විදිහටයි ඩිප්ටික් අඳින්නේ. සමහර චිත්‍ර තියෙනවා ත්‍රිප්ටික් විදිහට අඳින. ඒවාවල එකට-එක සම්බන්ධ, ඒත් වෙනම අඳින චිත්‍ර තුනක් තියෙනවා. ඩිප්ටික් චිත්‍ර එක විදිහට, එක ස්ටයිල් එකකට තමයි ඇඳලා තියෙන්නේ. තවත් සමහර චිත්‍ර ඩිප්ටික් විදිහට ඇඳලා නෑ. නමුත් ඒවා අතර සමානකම් තියෙනවා. මේ චිත්‍ර වෙන-වෙනම ඇඳලා තියෙන්නේ. නමුත් ඒ චිත්‍ර එකකට-එකක් සම්බන්ධයි. මම ඇඳපු චිත්‍රවල ඉතිහාසය කතා කළොත් මේ හැම චිත්‍රයක්ම මම සංචාරය කරපු තැන් ගැන ඇඳපුවා.
ඒ තැන්, එතැන තිබුණ දේවල් දැකලා තමයි මම චිත්‍ර ඇන්ඳේ. හැබැයි පින්තූරයක් වගේම ඇඳීමක් මම කරන්නෙ නැහැ. ඒකෙන් එන එසන්ස් එක, මම හිතන විදිහට පේන්ටින් එකකට දැමීමක් මම කරන්නේ. මේ හැම චිත්‍රයක් යටම පොඩි කතන්දරයක් තියෙනවා. ඒ කතන්දරය කිව්වම තමයි චිත්‍රය මොකක්ද කියලා හරියටම තේරෙන්නේ. ක්‍රොඒෂියාව, රුවන්ඩාව, ලෙබනන්, ඉරාකය, ජෝර්දානය වගේ රටවල් ගණනාවක ඓතිහාසික වටිනාකමක් තියෙන නටබුන් බලන්න මම ගියා. ඒ තැන්වලදී දැකපු දේවල්වලින් වැඩි හරියක් තමයි මම 'ලුමිනස් එම්ප්ටිනස්' කියන තේමාව යටතේ ඇඳලා තියෙන්නේ."
මට, ඔහු ලවාම 'ලුමින්ස් එම්ප්ටිනස්' වර නඟා ගැනීමට ඇවැසි විය. මද දීප්තිමත් බැල්මකින් හුන් හෙතම නැවතිල්ලේ තේමාව විස්තර කරන්නට විය.
"මගේ චිත්‍ර ප්‍රදර්ශනයේ තේමාව ගැන යමක් කිව්වොත් ලුමිනස් කියන්නේ ලොකු එළියක් තියෙන දෙයක්. එම්ප්ටිනස් කියන්නේ ශුන්‍යත්වයක්, හිස්කමක්. ලුමිනාසිටි එකෙන් සංකේතවත් වෙන්නේ මේ ස්ථානවල කලින් තිබ්බ සංස්කෘතියට, ගොඩනැගිලිවලට, මිනිස්සුන්ට අයිති වෙලා තිබුණ විශාල දීප්තියට කියන්න පුළුවන්. එතකොට ශූන්‍යත්වය කියන එකෙන් මම අර්ථ ගන්වන්නේ කලින් තිබ්බ සියල්ලම දැන් නෑ කියන එකයි.
ගොඩක් ඒවා කැඩිලා-බිදිලා ගිහිල්ලා තියෙන්නේ. උදාහරණයක් විදිහට බැබිලෝන්වල 'හැන්ගින් ගාර්ඩ්න්ස්' ගත්තොත් අද එතැන එහෙම මොකුත් නෑ. කලින් තිබිලා කැඩිලා බිදිලා ගිහිල්ලා. දැන් එතන තියෙන වතුර ටිකක් තියෙන මඩ වලක්. එතැන දැන් පොඩි තියටර් එකක් වගේ තියෙනවා. එච්චරමයි තියෙන්නේ. ඒ වුණාට සමහර තැන්වල ශේෂ තියෙනවා. එතකොට පේනවා ඒ කාලෙ මේ ගොඩනැගිල්ල හරි ස්ථානය හරි කොහොම තියෙන්න ඇතිද කියලා. අන්න ඒක තමයි ලුමිනෝසිටි එක."
පටන් ගත් තැනම නයිල් ගංගාවේ කිමිඳුණු හෙයින් තරමක වරදකාරී හැඟීමකින්, තෙත්බත් වුණු ගතින් ගංගාවල සම්බන්ධය විමසීම යුතු බව හැඟුණි. ඇත්තට මොකක්ද මේ ගංගා ගැන තියෙන ලාලසාව?
"ගංගා, දිය පහර තියෙන චිත්‍ර වෙනම සෙට් එකක්. ඒකට තියෙන්නේ ඓතිහාසික වටිනාකමක්. හරියට නිකං පරිණාමයේ එක කොටසක් වගෙයි. ගංගා, ෆොසිල ආදිය මම ඇඳලා තියෙනවා. අවුරුදු දහස් ගණනක් පරණ ගස් කපපුවා මම දැක්කා. ඒවත් මම ඇඳලා තියෙනවා. ඒ ගස් කපපුවා කාලයත් එක්ක හයි වෙලා, නොයෙක් පාට ඇවිල්ලා තියෙනවා. ඒකත් පරිණාමයේම ලක්ෂණයක් විදිහටයි මම සලකන්නේ. අන්තිමට මේවා සේරම 'ලුමින්ස් එම්ප්ටිනස්' කියන තේමාවට හා වෙනවා. මොකද මේ ඔක්කොම කාලෙකට කලින් බොහොම පෞඩ විදහට තිබ්බ ඒවා, නමුත් අද වෙද්දි නටබුන් වෙලා. ක්ෂය වෙලා, කැඩිලා-බිඳිලා ගිහිල්ලා."
"මට මේ චිත්‍ර ඔක්කොම අඳින්න අවුරුදු දෙකක් වගේ ගියා. මේ චිත්‍ර ප්‍රදර්ශනෙන් පස්සෙ මීට ටිකක් වෙනස් චිත්‍ර ටිකක් අඳින්න මම හිතාගෙන ඉන්නවා. ඒත් මොන වගේද කියලා තාම තීරණය කරලා නෑ. එහා පැත්තේ තව වෙනම සීරීස් එකක් කරලා තියෙනවා 'වෝල්ස් ඔෆ් නෙනවා' කියලා. ඉරාකයේ අවුරුදු 5000ක විතර පරණ ඉතිහාසයක් තියෙන තැනක් මේ නෙනවා කියලා කියන්නේ. ලස්සන තැනක්, හැබැයි නටබුන් වෙලා. එතන තිබ්බ බිත්ති මම ඇන්දා. ඒ මුළු සීරීස් එකම වෝල්ස් ඔෆ් නෙනවා එක්කයි සම්බන්ධය තිබ්බේ."
ඇබ්ස්ට්‍රැක් ආශ්‍රිතව අපේ කොදෙව්වේ හැසිරීම තරමක් පැටලිලි සහගතය. ඒ පැටලුම් ලිහා ගැනීමට යාමේදී නූල් බෝලයක පැටලෙන්නාක් මෙනි. එහෙත් යම්-යම් ලෙහුම් යම්-යම් පුද්ගලයන් අත තිබිය හැකිය.
"ලංකාවෙ වැඩිපුර තියෙන සාම්ප්‍රදායික චිත්‍ර. ඇබ්ස්ට්‍රැක් ආර්ට් තියෙනවා. ඇබ්ස්ට්‍රැක් අඳිනවා අඩු ගතියකුත් පේන්න තියෙනවා. සමහර විට ඒකට තමන්ගේ කම්ෆර්ට් ලෙවල් එකත් බලපානවා ඇති. මම අඳින චිත්‍ර ප්‍රවර්ගය කරන්න මට කම්ෆර්ට් එකක් තියෙනවා. මම තෝරගත්ත මාර්ගයේ යනවා. මේ වර්ගයේ චිත්‍රවලට කියන්නේ ඇබ්ස්ට්‍රැක්, එක්ස්ප්‍රේෂන් ආර්ට් කියලා. මම මුලින්ම පටන් ගත්තේ ක්ලැසිකල් ස්ටයිල් එකෙන්. ඊට පස්සෙ ඉම්ප්‍රෙෂන්ස් අඳින්න ගත්තා. මොඩර්න් ආර්ට් ඇන්ඳා. මොන ජාතියෙන් හරි තමන්ට කම්ෆර්ට් වර්ගය තෝරගෙන කරන එකයි කරන්න ඕනා."
වැසි නතරව ඇති හෙයින් යළිත් නයිල් ගංගාධාරය දිහා නොබලා වසර සිය ගණන් පැරැණි ගස් කදන් මතින් නොපනින්නට ප්‍රවේසම් වෙමින් බෙයාර්ෆුට් කලාගාරයේ තිබූ අරලිය ගස යටින් සැබෑ ලෝකයට පිවිසුණෙමි. අරලියා ගස යට පොකුණ අසබඩ තාවර වන බළලෙකි. ඉල්ලීම සාධාරණය. 'පොකුණෙන් මාළුවෙක් අල්ලලා දෙනවද?' 'මට බෑ. පේනවා නේද!! මම නයිල් ගඟේ බැහැලා, පරණ ගස් කොට නොපාගා ඇවිල්ලා ඉන්නේ.'
සටහන සහ ඡායාරූප
කාංචනා අමිලානි
නව අදහස දක්වන්න