ගුණාත්මක ඖෂධ අඩු මිලට දෙන්න ඖෂධ නියාමනයක් කළේ වත්මන් ආණ්ඩුවයි | දිනමිණ

ගුණාත්මක ඖෂධ අඩු මිලට දෙන්න ඖෂධ නියාමනයක් කළේ වත්මන් ආණ්ඩුවයි

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න

ගුණාත්මක ඖෂධ අඩුම මිලට ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඖෂධ නියාමනයක් සිදුකළේ වත්මන් ආණ්ඩුව බවත් ඒ නිසාම ඖෂධ මිලදී ගැනීමේදී ජනතාවට රුපියල් බිලියන 4.4 ක මුදලක් ඉතිරි වී ඇති බවත් සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (21) රැස්විය. වාර්තා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ මහජන පෙත්සම්, පෙත්සම්කාරක සභාවට යොමුකෙරිණි.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට ඊට අදාළ ඇමැතිවරු පිළිතුරු ලබාදුන්හ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ නියෝග විවාදයට ගැනිණි.

සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න මහතා - ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සංශෝධනයක් ගෙන එනු ලබනවා. 2016 වසරේ අවසානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඖෂධ මිල නියාමනය කළා. පසුකලට ඔවුන්ගේ ඉල්ලීමක් කළා සියයට 10 ක් නැවත වැඩි කරන්න කියලා. අපි එයට ඉඩ දුන්නේ නැහැ. නමුත් මේ වනවිට නැවත සියයට 23 කින් මිල වැඩි කරන්න කියා ඉල්ලා තිබෙනවා. ඒ නිසා ඩොලර්යේ අගය සලකා බලා අපි සියයට 14 කින් වැඩි කිරීමට අනුමැතිය ලබාදීමට තීරණය කළා. එය අද පාර්ලිමේන්තුවට දැනුවත් කරනවා. මේ වැඩි කළත් ඖෂධ මිල 2015 වට තිබුණාට වඩා වැඩිවෙලා නැහැ. ස්ටෙන්ට් එකේ මිල තවමත් තිබුණු මිලෙන් භාගෙකට ඇවිත් නැහැ. බොහොමයක් ඖෂධ මිල සියයට 50 ක් ම අඩුයි. පිළිකා ඖෂධ මිල තවමත් ඉතාම අඩු මට්ටමක තිබෙන්නේ. අපි මිල පාලනය කළා. මේ සියයට 14 ක වැඩි කිරීම පිළිකා ඖෂධවලට ලබාදී නැහැ.

රජය ටෙන්ඩර් කරන විට ටෙන්ඩර් මිල පාලනය කිරීමට අප කටයුතු කළා. අනෙකුත් ඖෂධ ප්‍රතිජීවක ඖෂධ රු.1500 තිබුණු එක තවමත් රු.757 යි. එන්නත් පවා පෙර තිබුණු මිලට වඩා වැඩි වෙලා නැහැ.

නියෝජ්‍ය කාරක සභාපති සෙල්වම් ආඩක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

සේනාරත්න මහතා - ඖෂධ මිල අඩු කිරීමත් සමඟ අපට සී.අයි.එස්. ලැබුණා. ඒ සඳහා රජයට රුපියල් මිලියන 9000 ක ආදායමක් ලැබුණා. ඒ වගේම ඖෂධ මිල අඩු කළ නිසා පාරිභෝගිකයාට රුපියල් බිලියන 4.4 ක සහනත් ලැබී තිබෙනවා. මේ ඖෂධ මිල අඩු කිරීම නිසා එකම ඖෂධයක්වත් නතර වුණේ නැහැ. ප්‍රභූ පංතිය භාවිතා කරන ඖෂධ වර්ග තුනක් වෙළෙඳ පොළෙන් ඉවත් කළා. එසේ වූ විට අපි එයට අභියෝග කළාම ඔවුන් හදන්න හැදු ඖෂධ හිඟය නැතිවෙලා ගියා.

ග්‍රැස්ට්‍රයිටිස්වලට එන පෙත්ත මිල අඩු කිරීමත් සමඟ විකිණීම ඉහළ ගිහින් තිබෙනවා. මේවා තමයි වෙළෙඳ පොළෙන් ඉවත් කිරීමට උත්සාහ කළේ. සියලුම ගුණාත්මක ඖෂධ මිල පස් ගුණයකින්, දහ ගුණයකින් වැඩිවුණා. දැන් වෛද්‍යවරු කියනවා චැනල් ප්‍රැක්ටිස් එක ආශාවෙන් කරනවා කියා. ගුණාත්මක ඖෂධ සාමාන්‍ය තත්ත්වයෙන් අද වෙළෙඳ පොළේ තිබෙනවා. පැනඩෝල් රු.1.57 කට ගන්න පුළුවන්. සාමාන්‍ය ජනතාවට මේ ඖෂධ ලබාගැනීමේ පහසුව ලැබී තිබෙනවා. ස්ටෙන්ත් මිල අඩු කිරීම නිසා හෘද සැත්කම් මිල ඉතාම අඩුවෙලා තිබෙනවා. තවත් ඖෂධ 27 ක මිල ඉදිරියේදී අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම නියාමනය යටතේ ඩොලරයේ මිල අඩු වනවිට ඖෂධ මිල අඩු කිරීමටද අප කටයුතු කරනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස) - ඖෂධ නියාමන අධිකාරියේ පනත ගෙන එන දවසේ අප ඉතා සතුටු වුණා. නමුත් ඩොලරයේ මිල වැඩිවීමත් එක්ක අද නැවත සියයට 14 ක් ඖෂධ මිල වැඩිවෙනවා. දැන් හෙට සිට වෙනත් වර්ගයක ඖෂධයක් ගන්න අයට මේ මිල දැනෙනවා. ඔබතුමා කිව්වා ඖෂධ භාවිතය වැඩිවෙලා කියලා. මේ සියලු දෙනාට සියයට 14 ක වැඩිවීම බලපානවා. පොදු ජීවන මට්ටම අනුව මිනිසුන්ගේ ආදායම වැඩිවීමක් නැහැ. මෘත ආදාය‍ෙම් අඩුවීමක් තිබෙන බව මහ බැංකුව කියනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය මහතා මුලසුනට පැමිණියේය.

නානායක්කාර මහතා - ඖෂධ ගෙන්වීමට රජයෙන් විශාල මුදලක් වැ‍යවෙනවා. රජයේ රෝහල්වලට එන පිරිස අද වැඩිවෙලා තිබෙනවා. රජයේ වෛද්‍ය සංගමය බරපතළ ලෙස කියනවා එවන ඖෂධ අතර බාල ඖෂධ තිබෙන බව. නමුත් ඔබතුමා කියනවා ඖෂධ හිඟයක් නැහැ කියා. ඔබතුමා කියන එකේ ඇත්තක් තිබෙනවා. මොකද රෝහල් අධ්‍යක්ෂවරු කියනවා තමන්ගේ රෝහල්වල ඖෂධයක් නැහැ කියලා. එවැනි ප්‍රශ්නයක් තිබෙනවා නම් අපි ප්‍රශ්නයක් හැටියට සාකච්ඡා කළ යුතුයි.

ඔබතුමාට විවිධ දූෂණ චෝදනා එල්ල කර තිබෙනවා. ඔබතුමා ඒ සම්බන්ධව නීතිමය කටයුත්තකට ගිහින් නැහැ. එතකොට ජනතාව කුමන නිගමනයකට එයිද? ඒ නිසා ඒ ගැන ඔබේ අවධානයට යොමුකරනවා.

සමහර රෝහල්වල ඖෂධ තියාගෙන ‍රෝගීන්ට පිටින් බෙහෙත් ගන්න කියනවා. ඒ සම්බන්ධව විගණනයක් කළ යුතුයි.

සේනාරත්න මහතා - අපි මේ ගැන විමර්ශනයක් සිදුකරනවා.

නානායක්කාර මහතා - රජයේ රෝහල් මතින්ම පමණක් යැපෙන අයට දිගු කාලයක් ඉන්නවීම ගැන සැලකිලිමත් වෙනවා. මේ පිළිබඳ සොයා බැලිය යුතුයි. අපේ සෞඛ්‍ය සේවය ලෝකයට ආදර්ශයක් සපයනවා. පහළ මැදි ආදායම් රටක මෙවැනි හොඳ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම ඉතාම වැදගත්. නමුත් තවත් රජයේ රෝහල්වල පිළියම් ක්‍රමයක් තවත් කල්පනා කළ යුතු වෙනවා.

සේනාරත්න මහතා - අපි සියලුම රෝහල් පද්ධතිය පරිගණකගත කරනවා. දැනටමත් රෝහල් 300 ක් පරිගණකගත කරලා තිබෙනවා.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා - වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා සිදුකරලා තිබෙන සේවය විනාඩි පහකින් කියන්න බැහැ. 2010 දී නිදහස් සෞඛ්‍යයට වෙන් කර තිබුණේ කෝටි 5310 ක් 2015 දී අපි වෙන් කළා කෝටි 13950 යි. 2016 වසරේ කෝටි 17400 යි. 2019 වසරේ කෝටි 19,450 ක මුදලක් වෙන්කර තිබෙනවා. ඒ කියන්නේ රාජ්‍ය ආදායමෙන් සියයට 10 ක් සෞඛ්‍ය සේවයට යොදවා තිබෙනවා. මෙවර අය වැය මඟින් සුවසැරිය සඳහා මුදල් වෙන්කර තිබෙනවා. රුධිර කාන්දු පෙරණ සඳහා රුපියල් කෝටි 50 ක් වෙන්කළා.

රෝහල් යටිතල පහසුකම් සඳහා විශාල මුදලක් වෙන්කර තිබෙනවා. ඖෂධ මිල අඩු කිරීමට ප්‍රථම වශයෙන් තීන්දු කළේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලයේයි. එදාට වඩා දෙයක් අද රාජිත සේනාරත්න මහතා සිදුකර තිබෙනවා. බිලියන 4 ක මුදලක් ජනතාවට ඉතිරි වුණා. පිළිකා රෝගීන්ට පසුගිය රජයන්වලින් වියදම් කළේ ලක්ෂ 15 යි. වත්මන් ආණ්ඩුව විසින් රෝගියාගේ ජීවිතාන්තය දක්වා වියදම් කරනවා. අද ඉන්නවා කෝටි 2 ක් වියදම් කළ පිළිකා රෝගීන්. සමහර අය හිතනවා ලාභ ඖෂධ ප්‍රමිතිය නැහැ කියා. ඖෂධ නාමය නිසයි මිල වෙනස් වෙන්නේ. මේ ක්‍රමය නැති කිරීමට අද කටයුතු කර තිබෙනවා. සේනක බිබිලේට කරන්න බැරිවුණ දේ රාජිත සේනාරත්න කර තිබෙනවා.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙ.ජා.ස.) - මන්නාරම ධීවරයන් සහිත බෝට්ටුවක් අනතුරට පත්වෙලා තිබුණා. මා යුද හමුදාපතිට, ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයාට දැනුම් දුන්නා. මේ වනවිට ඒ අය බේරාගැනීමට හැකිව තිබෙනවා.

මන්නාරම රෝහලට සී. ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට කෝටි 8 ක් ලබාදී තිබෙනවා. සී.ටී. ස්කෑන් යන්ත්‍රය ඉතාමත් ආරක්ෂිතව තබා ගැනීමට හැකි නඩත්තු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

වෘත්තීය හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා - පොදුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවක් වෙලා තිබෙනවා. ඒ අනුව ඖෂධ මිල අඩුවෙලා තිබෙනවා. නොමිලේ ගිලන් රථ සේවයක් ඇතිවෙලා. ඖෂධ ශාලා සහායකයින් නිසි පුහුණුවකට ලක් කරන්න කියා කටයුතු කරනවා.

රටේ ඇතිවෙලා තිබෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සිදුවෙලා තිබෙන්නේ වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයාගේ කාර්යක්ෂමතාව නිසයි. අද මේ ගෙන එන සංශෝධන මඟින් ඖෂධ මිල පොඩි මිලකින් ඉහළ ගියත් 2015 ට පෙර තිබූ තත්ත්වයට වඩා ඉතා අවම මට්ටමක තිබෙන්නේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා (එජාප) - වෛද්‍ය සභාව නිශ්ඵල සභාවක්. දැන් නීතිඥ අංශයට අදාළව ක්‍රියාත්මක වන සභාව මඟින් මේ අංශයට අදාළව වෘත්තීය සුදුසුකම හා අධ්‍යාපනය බලනවා. නමුත් මේ වෛද්‍ය වෘත්තියට අදාළව අධ්‍යාපන සුදුසුකම් ‍ෙනාමැති අය ඉන්නවා.

මේ වෛද්‍යවරු ලියාපදිංචියට කලින් තීන්දුවක් ගන්න කියා ඇමැතිවරයාට ඉල්ලීමක් කරනවා. 2010 නිමල් සිරිපාල සිල්වා මහතා විසින් වෛද්‍යවරයෙක් වීමට අවම සුදුසුකම් ගැසට් කළා. එස් තුන අවම සුදුසුකම සයිටම් ප්‍රශ්නයේදී පිළිගත්තා. නමුත් මෙහි ඉන්න අයට එස් දෙක තිබෙන අයත් ඉන්නවා.

අමෙරිකාවේ තානාපතිනිය අපේ රටේ හමුදාපති ගැන අවධානයෙන් ඉන්නවලු. මෙය සාධාරණ නැහැ. මෙය රටකට බලපෑම් කරන්නක්. අපේ අමෙරිකාවේ ඉන්න තානාපතිවරයා ට්‍රම්ප් ජනාධිපතිවරයා ගන්නා තීරණවලට මෙවැනි ප්‍රකාශයක් කළා නම් මොකද වෙන්නේ? අද විදේශ අමාත්‍යාංශයේ තීන්දු තීරණ ගන්නේ මුදල් අමාත්‍යාංශයයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මුලසුනට පැමිණියේය.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා (එජාප) - සේනක බිබිලේ මහතා එදා ප්‍රතිපත්තියක් සකස් කර දුන්නට එය ක්‍රියාත්මක කළේ වත්මන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතායි. එතුමා ඖෂධ මිල ඉතා විශාල වශයෙන් අඩු කළා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රන්ජිත් සොයිසා මහතා (එජනිස) - ඖෂධ ප්‍රමිතියෙන් යුක්ත විය යුතුයි. නමුත් ඇතැම් ඖෂධ ප්‍රමිතියෙන් යුතු නැහැ. ගුණාත්මක බවින් තොර තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය නිසා රෝගීන් පීඩාවට පත්වෙනවා. මුදල් තිබෙන අය විදෙස් ප්‍රතිකාරවලට යොමුවෙනවා. අහිංසක ජනතාවගේ ඖෂධ වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකළ යුතුයි.

ඇමැති රාජිත සේනාරත්න මහතා - ජනාධිපති කොමිසන් සභාව වෙත ගොස් ලේකම්තුමිය ලබාදුන් සාක්ෂිය වැරැදි ලෙසයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතා (දෙ.ජා.ස.) - අපගේ පළාත්වල රෝහල්වල විවිධ අඩුපාඩු තිබෙනවා. ග්‍රාමීය ප්‍ර‍ෙද්ශවල රෝහල් අඩුපාඩු ලබාදීම කෙරෙහිත් අවධානය යොමුකරන්න. විශේෂයෙන්ම චෙන්කල්අඩි රෝහලට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න. ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ නියෝග සම්මත විය.

පාර්ලිමේන්තුව අද (22) පෙරවරු 10.30 ට යළි රැස්වේ.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර සහ චමීර ඇල්ලදෙණිය

නව අදහස දක්වන්න